gossip lanka

'ආදරණීය නළුවාට' හිමි සම්මානය මට ලැබුණා


නිරූපණය ක්ෂේත්‍රයට දිනෙන් දින නවකයන් බොහෝ දෙනෙක් එක්වෙති. මේ අතරින් තමන්ගේ හීනයට යාමට වෙර දරණ පුද්ලයන් සිටින්නේ ඉතාමත් අල්ප වශයෙනි. අධ්‍යාපනය ලබමින් කලාව තුළ ඉදිරිගමනක් සඳහා වෙර දරමින් පුද්ගලයන් අතරේ කැපී පෙනෙනෙ අයෙකු ලෙස ප්‍රසන්න විතානගේ හැඳින්විය හැකිය. ‘සිරස’ නාළිකාවේ ‘ෆිල්ම් ස්ටාර්’ තුළින් කලාවට අවතීර්ණ වූ ප්‍රසන්න ඔහුගේ කලා කටයුතු සහ ඉදිරි බලාපොරොත්තු ගැන
කතාබහ කිරීමට ඔහු අප සමග මෙලෙස එක්විය.

ඔබව මුලින්ම හඳුන්වා දුන්නොත්?
මගේ නම ප්‍රසන්න විතානගේ. වයස අවුරුදු 23. ගල්කිස්ස සාන්ත තෝමස් විද්‍යාලයේ තමයි ඉගෙනුම ලැබුවේ. දැනට NIBM එකේ Business Management Degree එක හදාරනවා. රැකියාවක් කරන්නේ නැහැ.

ක්ෂේත්‍රයට එන්නේ කොහොමද?

මගේ ඉගෙනීම් කටයුතු අතරේ තමයි ‘සිරස ෆිල්ම් ස්ටාර්’ තරගයට දායක වුණේ. ‘සිරස ෆිල්ම් ස්ටාර්’ අවසන් පස්දෙනා අතරට ආවා. එතනින් මට ‘ආදරණීය නළුවාට’ හිමි සම්මානය ලබාගත්තා. එහිදී මට ලොකු අත්දැකීමක් ලබාගන්න හැකියාව ලැබුණා. නර්තනය, ගායනය, වාදනය සහ රංගනය හදාගන්න ලොකු අවස්ථාවක් ලැබුණා. ඉතිං ‘ෆිල්ම් ස්ටාර්’ එකෙන් පස්සේ ‘නීල පබලු’ ටෙලි නාට්‍යයේ රඟපාන්න මට ආරාධනාවක් ආවා. ලලිත් වසන්ත මහත්මයාගේ සහ සඳුන් රාජකරුණා මහත්මයාගේ නිර්මාණයක්. දැනට සිරස නාළිකාවේ විකාශය වෙනවා. ඒ ‘නියොමාල්’ චරිතය තමයි මම කරන්නේ. දැනට ඒ කටයුත්තට තමයි දායක වෙලා ඉන්නේ. සිරසෙන් පටන් ගන්න යන තවත් ටෙලි නාට්‍යයක් සඳහා දැනට ආරාධනා ලැබිලා තියෙනවා.

නිරූපණ කටයුතු ගැන කිව්වොත්?

මම මෝස්තර නිරූපණ ක්ෂේත්‍රයේ කටයුතු කරනවා. මියුසික් වීඩියෝ තුනකට දායක වෙලා තියෙනවා. අවසානයේ දී මම දායක වුණේ ශානිකා මදුමාලිගේ ‘ආනන්ද රැය’ කියලා මියුසික් වීඩියෝවකටයි. මට ලොකු බලාපොරොත්තුවක් තියෙන්නේ විවිධ අධ්‍යක්ෂකවරුන් යටතේ මගේ තරුණ කාලේ උපරිමයෙන්ම මගේ නර්තන, රංගන, සටන් හැකියාවන් පෙන්වන්න පුළුවන් සිනමා නිර්මාණයකට දායක වෙන්න සහ සිනමාවේ වීරයෙක් වෙන්නයි. ඉතිං ඒ වගේම තමයි හොඳ අධ්‍යක්ෂකයෙක් යටතේ හොඳ විදිහට වැඩක් කරන්න තමයි මගේ ලොකු බලාපොරොත්තුවක් තියෙන්නේ. මම කැමති සිනමාවේ රැඳෙන්න. බොහෝ වැඩ එනවා. හැබැයි ඒ හැමදේම මම බාරගන්නෙත් නැහැ. තෝරාබේරා ගෙන හොඳ දෙයක් පමණයි බාර ගන්නේ.

කලාව කියන දේ තෝරගන්නේ ඇයි?

පොඩි කාලේ බලාපොරොත්තුවක් තිබුණා බොලිවුඩ් සිනමාවේ විදිහට නටන්න, රඟපාන්න. ඉතිං මම ඒකත් එක්ක මගේ ඉගෙනීමේ කටයුතු සම්පූර්ණ වෙන කොට අදහසක් ආවා නිරූපණ ක්ෂේත්‍රයට එන්න. මම හිතුවා ඒකේදි මට සාධාරණයක් කරන්න පුළුවන් වෙයි කියලා. ලංකාවේ අනිකුත් නිරූපණ ශිල්පීන් සමග උරෙන් උරට ගැටෙන්න පුළුවන් වෙයි කියලා හිතුණා. උපතින් ලැබුණ දේවල් පාවිච්චි කරලා ඉන්න කාලේ ලස්සන දෙයක් කරන්න පුළුවන් වෙයි කියලා හිතුවා. ඒ නිසයි මේ ක්ෂේත්‍රයට ආවේ. මගේ රංගන ජීවිතයේ පළමු රංගනය තිබුණේ ‘නීල පබලු’ ටෙලි නාට්‍යයේ. රංගනයේ දී මට ලොකු බාධක තිබුණා. ඒ බාධක මැද්දේ තමයි මම ආවේ. ‘ෆිල්ම් ස්ටාර්’ එකේ දහදාහක් අතරින් තේරී පත් වෙන්නත් ලැබුණු එකත් ලොකු වාසනාවක් කියලා තමයි මම හිතන්නේ.

කලාව සහ ඔබේ ඉගෙනීම යන්නේ අංශ දෙකකින් නේද?

ඔව්, මම වැඩිදුර අධ්‍යාපනය ලබන්නේ වෙනම පැත්තකින්. නමුත් කලාව කියන්නේ මගේ හැකියාවයි. කලාව වෘත්තියක් විදිහට කරන්නේ නැහැ. නමුත් මට ලැබිච්ච දේවල් තියෙනවා. මම වෘත්තිමය නළුවෙක් විදිහට වැඩ කරන්න තමයි බලාපොරොත්තු වෙන්නේ. මොකද කලාවට ගොඩක් ආදරෙයි. කලාව කියන දේ විවිධාකාරයෙන් මිනිස්සුන් දකින්න පුළුවන්. මම කැමතියි මගේ හැකියාවන් මිනිස්සුන් අතරට අරන් යන්න. රසිකයන් කැමති මොකක්ද මම ඒ දේ දෙන්න කැමතියි. කලාවට සම්බන්ධ වෙන්න ලැබුණු එක පෙර පිනක් කියලා මම හිතනවා.

ඉදිරි බලාපොරොත්තු ගැන කිව්වොත්?

මට දැනට ටෙලි නාට්‍යය තුනක විතර ආරාධනා ලැබිලා තියෙනවා. ඒ ආකාරයෙන් කර ගෙන යන්න බලාපොරොත්තු වෙනවා. අලුත් වැඩ වගයකුත් ඇවිල්ලා තියෙනවා. සිනමාව ඇතුළු වෙන්න බලාපොරොත්තු වෙනවා. චිත්‍රපට කිහිපයකටත් ආරාධනා ලැබිලා තියෙනවා. හැබැයි හොඳ නිර්මාණයකින් සිනමාවට එන්න ලොකු බලාපොරොත්තුවක් තියෙනවා.

අතහිත දුන් අය ගැන කිව්වොත්?

මගේ ගමනට සහයෝගය දුන් අය නම් ගොඩක් ඉන්නවා. මුලින්ම මගේ අම්මා මතක් කරන්න ඕනේ. ඊට පස්සේ තාත්තා, නංගිලා දෙන්නා. පවුලේ අය තමයි මට ඉස්සෙල්ලාම අත දුන්නේ. මගේ පාසල. ඊට පස්සේ සිරස ආයතනය. නම් වශයෙන් කියනවානම්, ඉනෝකා, ශෙරෝන්, ඉරූෂ අයියා, දිදුල අයියා, සුසාර දිනාල් මහත්මයා, සඳුන් රාජකරුණ මහත්මයා, ලලිත් වසන්ත මහත්මයා, කුමා හේවගේ, ඉෂාර නානයක්කාර සහ බන්දුල සර් යන නිසා තමයි මම අද තැනක ඉන්නවානම් ඉන්නේ. ඉතිං නම් නොකිව්ව ගොඩක් අය ඉන්නවා. ඒ හැමෝටම හදවතින්ම ස්තුති කරනවා

ඩිලාන් ක්‍රිෂාන්ත / ඡායාරූප - මිහිර බණ්ඩාර දිසානායක


gossip lanka