gossip lanka

"උපාධිය ගත්තා, හැබැයි රස්සාවක් ඉල්ලලා උද්ඝෝෂණය කරලා රටට බරක් වුනේ නෑ" තනියම වැවක් හදා මහ ගොවිපළක් වවන තරුණ ගොවි රජෙකුගේ කතාව!

තනිව වැවක් සාදා ගොවිතැනේ නිරත වන සැවොටම ආදර්ශයක් දුන් රටට ණය නැති තරුණ ගොවිමහතෙක් පිළිබද පුවතක් වාර්තා විය. උපාධිධාරි තරුණයෙක් වූ ඔහු සිය උපාධිය නිසාම රජයේ රැකියාවක් ලැබිය යුතු යැයි උද්ඝෝෂණය කරමින් රටට බරක් නොවීය. ඒ වෙනුවට රටේ ජනතාවට බත සැපයීමට ඉදිරිපත් විය. ඇඹිලිපිටිය සංඛපාල ප්‍රදේශයේ ප්‍රසාද් හරින්ද මොරගොඩගේ එම දිරිය තරුණ‍යා ය.

ඔහු පිළිබද අගනා ලිපියක් සති අන්ත පුවත්පතක පළවී තිබුනි.

එම ලිපිය පහතින්,

මා අපගේ කතා නායක ප්‍රසාද් හරින්ද මොරගොඩගේ ගොවිපොළට පැමිණෙද්දී ඉර බැස යන්නට පටන් ගෙන තිබිණි. ඔහුගේ ගොවිපොළ පල්ලේබැද්දේ සංකපාල ගමෙහි පිහිටියේය. ප්‍රසාද් මුව පුරා නැඟුණු සිනාවක් ඇතිව අප පිළිගැනීම සඳහා පෙර මඟට දිව එද්දී අප ඇඹිලිපිටියට කැඳවන ලද්දේ කෙබඳු ආකර්ෂණයක් විසින්ද යන්න පිළිබඳව කිසියම් හැඟීමක් මා තුළ ඇති විය. ප්‍රසාද්ට පසු පසින් වැඩි අෑතක නොවූ ඉසව්වෙන් වූයේ ජලාශයකි.

ඒ ප්‍රසාද් විසින් ඉදිකරන ලදුව "කොහොඹ ගස් වැව" නමින් හැඳින්වෙන වාපියයි. එය ප්‍රසාද්ගේ සය මසක ශ්‍රමයේත් විසි දෙලක්ෂයක වියදමෙත් විශිෂ්ට ප්‍රතිඵලයයි.

ප්‍රසාද් සමඟ කතාවට වැටෙන්නට මා තුළ වූ උනන්දුව යටපත් කර ගන්නට මට සිදුවූයේ අපට සංග්‍රහ කරන්නට ප්‍රසාද් දැක්වූ උනන්දුව වඩාත් තියුණු බව පෙනුණු හෙයිනි. "ඉස්සෙල්ලා තැඹිලි වතුර ටිකක් බීලා කතා කරන්න බැරියැ"යි ප්‍රසාද් කීවේ අපට එයින් සංග්‍රහ කරන අතරමය. දවසේ එම අවස්ථාවේදී එය ඇත්ත වශයෙන්ම අමෘතයක් මෙන් විය.

ප්‍රසාද් යනු අපගේ ඇස් ඉදිරිපිට සිටින පුද්ගලයාට වඩා බෙහෙවින් වැඩි මට්ටමක කෙනකු බව ඔහු සමඟ දිගින් දිගට කතා කිරීමේදී මට අවබෝධ විය. ඔහු ඔහුගේම දහදිය මහන්සියෙන් වැවක් ඉදිකර ඇත. අපි අවසානයේදී ඒ වෙත යෑමට සූදානමින් සිටියෙමු. එහෙත් ප්‍රසාද් ලබාගෙන ඇති අධ්‍යාපන සහතික පිළිබඳ විස්තර දැන ගන්නා හැම කෙනෙක්ම දැන් ප්‍රසාද් සිටින්නේ සැබැවින්ම ඔහුට හිමි තැනද යන්න ගැන විමතියට පත්වනු නිසැකය.

ප්‍රසාද් රුහුණ විශ්වවිද්‍යාලයේ කලා උපාධිධාරියෙකි. ජන සන්නිවේදනය පිළිබඳව කැලණිය විශ්වවිද්‍යාලයෙන් ලබාගත් පශ්චාත් උපාධියක් මෙන්ම පරිසර කළමනාකරණය හා වනජීවී සංරක්ෂණය පිළිබඳව ඩිප්ලෝමාවක්ද ඇත්තෙකි. එහෙත් ඔහු ගොවිකමෙහි යෙදෙන්නේ අධ්‍යාපන කටයුතු සහමුලින් අත හැර දමා නොවේ. "මම මගේ ආචාර්ය උපාධිය සඳහා අධ්‍යාපන කටයුතු ඉක්මනින්ම ආරම්භ කරමි." ප්‍රසාද් කීවේය.

ලබාගැනීම සඳහා බොහෝදෙනකු නැහී ගෙන වැර දරන රජයේ රැකියාවක් ඉතා පහසුවෙන් ලබා ගැනීමට ප්‍රසාද්ට පුළුවන්කම තිබිණි. ඔහුට සැබැවින්ම එවැනි රැකියාවක් ලැබිණි. ඒ ගොඩකවෙල ප්‍රාදේශීය සභාවේ සංවර්ධන නිලධාරි වශයෙනි. එහෙත් ඔහුගේ දවස ආරම්භ වූයේත් අවසන් වූයේත් ඔහුගේ ගොවිපොළෙනි. ප්‍රසාද් රාජ්‍ය නිලධාරියකු බවට පත් ගොවියකු වන නමුත් වඩාත්ම වැදගත් කාරණය ඔහු සොබාදහමට ආදරය කරන්න වීමය. යාල, සිංහරාජය හා උඩවලවේ යන පෙදෙස්වල නිතර සංචාරයෙහි යෙදෙන ප්‍රසාද් එහි නිසංසල පරිසරය හා වනජීවීන් පිළිබඳව පුවත්පත්වලට නිතර ලිපි සපයයි. ප්‍රසාද් වැවක් ඉදිකිරීමට පෙලඹුණේද ඔහුගේ පරිසර හිතකාමීත්වය නිසාමය.

වැවක් ඉදිකිරීම තමාට පමණක් නොව නොයෙක් වර්ගවල වන ජීවීන්ටද ඵලදායක වන බව ප්‍රසාද් දැන සිටියේය. "සීත කාලයේදී බොහෝ සංචාරක කුරුල්ලන් වැවට එනවා. හැම හවසකම මොනරුන් වතුර බොන්න එනවා. රාත්‍රි කාලයේදී වැවට එන්නේ මුවන් හා වල් උෟරන්. දවසක් නයෙකුත් වැවට ඇවිත් වතුර බීලා යනවා මම දැක්කා" ප්‍රසාද් කීවේය.

කොහොඹ ගස් වැව කැණීම සඳහා එම ස්ථානයේ භූගෝලීය පිහිටීමද බෙහෙවින් උපකාරී විය. වැව සම්පූර්ණ කිරීමට අවශ්‍ය වූ බොහෝ දේ එම භූමියේ ස්වාභාවික පිහිටීමෙන්ම නිර්මාණය වී තිබූ හෙයින් කැණීම් හා ඉදිකිරීම් සඳහා ප්‍රසාද් කළ යුතුව තිබුණේ සුළු කොටසකි. ප්‍රසාද් වැවෙන් වැඩි අෑතක නොවූ කුඹුරක වී වගා කරන අතර ඒ සඳහා අවශ්‍ය ජලය ඉතාම කෙටි මඟකින් සපයා ගැනීමටද ඔහුට හැකිවී තිබේ.

අගෝස්තු පමණ වන විට එළැඹෙන නියං කාලය තමන්ට ඉතාම නරක විදියට බලපාන අතර තම ආදායමද අඩු වන බව සඳහන් කළ ප්‍රසාද් ඒ කාලයේද තමන්ට වගා කටයුතු කරගන්නට හැකි වෙතොත් අස්වනු සඳහා ඉල්ලුමද ඉහළ යන හෙයින් තම ආදායම්ද වැඩි වන බවක් පැවැසීය. ඒ සියලු කරුණු සැලකිල්ලට ගනිමින් 2012දී වැව ඉදිකිරීමේ වැඩ ආරම්භ කළ ප්‍රසාද් ඉමහත් ධෛර්යයෙන් හා නොකඩවා ක්‍රියාත්මක වී වසර කීපයක් තුළ වැව සම්පූර්ණ කළේ ඉව වහා ගිය සතුටක් ඇතිවය. වැව අද්දරින් වැටී තිබුණු කොහොඹ ගසක් පාදක කොටගෙන හෙතෙම කොහොඹ ගස් වැව යනුවෙන් වැවට නම තැබුවේය. දැන් ඔහුට යල මහ දෙකන්නයේම සාර්ථක ලෙස වගා කටයුතු කර ගෙන යා හැකිය.

අක්කර 30ක ඉඩම විකිණීමට තම පියා අදහස් කළ නමුත් තමාගේ ඉල්ලීම මත පියා ඒ තීරණය වෙනස් කළ බවද සඳහන් කළ ප්‍රසාද් එසේම අතීතයද සිහිපත් කළේය. ඔහුගේ පියාගේ තීරණයට හේතු වන්නට ඇත්තේ ඒ වන විට ඉන් ලත් පලදාව එතරම් සරු නොවීම විය හැකිය. එහෙත් දැන් එය සහමුලින්ම වෙනස් වී ඇත්තේ හොඳ අතටය. ප්‍රසාද් දැන් එක් වගා කන්නයකදී හාල් කිලෝ 8000ක් නිපදවයි. මේ වසරේ ඔහුගේ රතු ලූනු අස්වැන්න ටොන් 10කි. අක්කරයක මඤ්‍ෙඤාක්කා පලදාවද ටොන් 10ක් පමණ විය. හැම වසරකදීම ප්‍රසාද් මඤ්ඤාක්කා ටොන් 100ක් පමණ නිපදවන අතර ඉන් වැඩි කොටසක් අපනයනය කරනු ලැබේ. එම අස්වනු රැස් කරන කාලයේදී ගැනුම්කරුවන් ගොවිපොළට පැමිණ මඤ්‍ෙඤාක්කා මිලට ගෙන එහිදීම ඇසුරුම්වල බහා මැද පෙරදිගට අපනයනය කරනු ලැබේ.

ප්‍රසාද් වී සහ මඤ්‍ෙඤාක්කාවලට අමතරව කෙසෙල්, රතු ලූනු, පිපිඤ්ඤා, කොමඩු, අඹ හා ගම්මිරිස් යනාදියද වගා කරයි. ඒ සියල්ල යථාර්ථයක් බවට පත්ව ඇත්තේ ඔහුගේම ශ්‍රමයෙන් ඉදිවුණු වැව නිසාමය.

අප ප්‍රසාද් හමුවීමට යද්දී නියඟය ඒ පෙදෙසට ඉතාම උග්‍ර ලෙස බලපා තිබිණි. වැවේ ජලයද බොහෝ දුරට අඩු වී තිබුණු නමුත් ප්‍රසාද් ඔහුගේ ගොවිපොළේ වගා ළිංවලට සවි කරන ජල ඉසින යන්ත්‍රවලින් විහිදුණු ජල ධාරාවලින් වගා බිම තෙත් වෙමින් තිබිණි. වැවේ වතුර සිඳී ගියත් වැවටම පින් සිදුවන්නට වගා ළිංවල දිය නොසිඳෙන බවත් ඒ නිසාම වගාවලට අවශ්‍ය ජලය ඉන් සැපැයෙන බවත් ප්‍රසාද් පැවැසීය. ප්‍රසාද්ගේ පොල් වගාවෙන් මුරයකට ගෙඩි 2000ක් පමණ ලැබෙන නමුත් මුලදී එම ගෙඩි ඉතා කුඩා වූ හෙයින් එය අලෙවි කර ගැනීමේ ගැටලු පැවැතියේය. නමුත් දැන් කෙමෙන් ගෙඩිවල ප්‍රමාණය වෙනස් වී ඇති හෙයින් විකුණා ගැනීම අපහසු නොවන බවත් ප්‍රසාද් ප්‍රකාශ කළේය.

මා නොයෙක් දේ වගා කරන බව දැනගත් බොහෝ දෙනා ඔවුන්ගේ මොළය මෙහෙය වන්නේ මට ලැබෙතියි ඔවුන් සිතන ලාභය ගණන් බැලීමට යැයි කී ප්‍රසාද්, එය හැම හැම විටම ලාභ දායක නොවන බවද සඳහන් කළේය. මේ අවුරුද්දේ පිපිඤ්ඤා වගාවෙන් පාඩු වූ බවත් අනෙක් වගාවලින් පාඩුව පියවා ගැනීම තම ඉලක්කය බවත් ප්‍රසාද් පැවැසීය. මුරුංගා කොළවල පෝෂ්‍යදායකත්වය පිළිබඳ ප්‍රචාරය හේතු කොට ගෙන දැන් ඒ සඳහා හොඳ ඉල්ලුමක් තිබෙන බවත් අපනයනයට සුදුසු තත්ත්වයෙන් කාබනික පොහොර යොදා මුරුංගා වගා කිරීම තම අභිමතය බවත් ඔහු සඳහන් කළේය.

ඉදිරි කාලයේදී තම වැව තරමක් ලොකු කිරීමටද සැලසුම් කරන ප්‍රසාද් වැව ඉදිකරද්දී එහි බැම්ම කල් පවත්නා පරිදි ශක්තිමත්ව තැනීමට තීරණය කළේද පසුව යම් දවසක වැව ලොකු කිරීමේ අරමුණද ඇතිව බවත් සඳහන් කළේය. වැව ගැන තවදුරටත් කරුණු දැක්වූ ප්‍රසාද් තම වැවේ බැම්ම දැන් වැවේ ප්‍රමාණය දෙගුණ වුවද ඊට ඔරොත්තු දෙන අන්දමට ශක්තිමත්ව ඉදි කළ බවය. ලංකාවේ අනෙක් වැව් බොහෝමයක බැම්ම වැව් ජලයෙන් ඛාදනය වීම වළක්වනු පිණිස ඇතුළු පැත්තට ගල් අල්ලා තිබෙන නමුත් තමා ඒ වෙනුවට වැව් බැම්මේ දෙපැත්තේම තණ වැවූ බවත් පැවැසීය. තණ පිඩැලි අල්ලන ලද වැව් බැම්මේ අලංකාරයද වැඩි බවත් ඔහු කීය.

තමා මෙම ජලාශය වෙත ආකර්ෂණය වුණාක් මෙන්ම තවත් බොහෝ දෙනකුද මෙහි සුන්දරත්වය දැක ගැනීමට කැමැති වනු ඇතැයි සඳහන් කළ ප්‍රසාද් විශේෂයෙන්ම කෘෂි වගා නැරැඹීමේ සංචාරයෙහි යෙදෙන්නන් නොයෙක් රටවල සිටින බවත් ප්‍රකාශ කළේය. කෘෂි සංචාරක ව්‍යාපාරය මෙහිද ප්‍රවර්ධනය කිරීම තමාගේ අරමුණ යැයිද කී හෙතෙම මෙම වැව ඒ සඳහා මහෝපකාරී වනු ඇතැයිද විශ්වාසය පළ කළේය. දැනටමත් තමා වැවට මුහුණලා කුටි කිහිපයක් ඉදි කිරීම අරඹා ඇතැයිද ඔහු කීය.

අන්තිමේදී ප්‍රසාද්ගේ මුවින් ගිලිහුණු වදන් වැල මෙසේය. "උපාධිධාරියෙක් ගොවියෙක් වීම පුදුමයක් සේ සමහරුන් සලකනවා. ඒත් මට ඒකේ කිසිම අමුත්තක් නැහැ. අඩුම වශයෙන් සේවකයන් තුන් දෙනකුවත් මේ ගොවිපොළේ දිනපතා වැඩ කරනවා. වැසි දිනවලදී ඒ ගණන 15 දක්වා වැඩි වෙනවා. මා ගොවියකු නොවී මේසයක් ළඟ වාඩි වී ඉන්න රස්සාවක් තෝරා ගත්තා නම් මේ මිනිසුන්ට රැකියා දෙන්නේ කවුද? මෙයින් මගේ අධ්‍යාපනය අපතේ ගියේ නැහැ. මගේ අධ්‍යාපනය ගත කළ අවුරුදු කීපයට මම ප්‍රාදේශීය සභාවක සේවය කිරීමෙන් සාධාරණය ඉටු කළා. ඒ කාලයේත් මම දිනපතා උදේ පළමුවෙන්ම ආවේ ගොවිපොළට. හවසත් කාර්යාලයේ සිට කෙළින්ම ආවේ ගොවිපොළට.

බොහෝ උපාධිධාරීන් ඔවුන්ගේ උපාධියට සුදුසු රැකියා ඉල්ලා උද්ඝෝෂණය කරනවා. අධ්‍යාපනයේ අරමුණ රටට සේවය කරන වගකියුතු පුද්ගලයන් නිර්මාණය කිරීම මිස රැකියා දෙන බවට පොරොන්දු දීම නොවේයැයි මා විශ්වාස කරනවා. රටට මගෙන් යම් දායකත්වයක් පිරිනැමෙනවා නම් ඉන් වැඩි කොටස එන්නේ මගේ ගොවිපොළෙන්. මා පරිසරයට මෙන්ම ගොවිකමටත් ආදරේ කරනවා. මිනිසුන් මා ගැන හිතන්නේ කියන්නේ මොනවද යන්න ගැන නොසලකා මා ආදරය කරන අංශය අනුව කටයුතු කරන්න හැකිවීම මගේ විශිෂ්ටම ජයග්‍රහණයයි."

ප්‍රසාද් සමඟ බොහෝ වේලාවක් බොහෝ දේ කතා කිරීමෙන් හා ඔහුගෙන් බොහෝ දේ උගෙනීමෙන් ද පසු සවස් කාලයේ මම ඔහුගෙන් සමු ගත්තෙමි. වැවක් ඉදිකළ තරුණයාගෙන් ප්‍රකාශ වුණු බොහෝ කරුණු බෙහෙවින් ප්‍රමෝදජනකය. රටේ එක් පැත්තක් කිසියම් කාලයකදී ජල ගැලීම්වලට ගොදුරු වන්නේත් තවත් පැත්තක් වෙනත් කාලයකදී දැඩි නියඟයෙන් සීමාන්ත පීඩාවට ලක්ව ජනතාව දුක් විඳින්නේත් මක් නිසාද යන්න සම්බන්ධයෙන් ප්‍රසාද්ගෙන් ප්‍රකාශ වුණේ ඉතා වැදගත් කරුණකි. අපතේ යන වැසි ජලය එක් රැස් කර ගැනීමට අපට හැකි වන්නේ නම් එය රටට කොතරම් භාග්‍යයක් විය හැකිද? ප්‍රසාද් යම් ප්‍රමාණයකින් ඉටු කර ඇත්තේ ඒ කාර්යයයි.

"අහසින් වැටෙන දිය බිඳුවක් පවා නිකරුණේ මුහුදට ගලා යන්නට ඉඩ නොදෙනු" යනුවෙන් අපගේ පැරැණි රජ කෙනකු දුන් මහඟු උපදේශය ගැන අපේ පාලකයන්ට හැඟීමක් නැතුවා සේය. රටේ දළ දේශීය නිෂ්පාදනයෙන් වැඩි කොටසක් එන්නේ වියළි කලාපයෙනි. රට තුළ වැව් 15,000ක් පමණ තිබෙන අතර එයින් වැඩිම ගණනක් පිහිටා තිබෙන්නේද වියළි කලාපයේය. අපි අපගේ වාර්ෂික වර්ෂාපතනයෙන් 70%ක් පමණ අපතේ හරිමු. අපට තිබෙන වැව් ප්‍රතිසංස්කරණය කොට වැසි ජලය එහි රඳවා ගත හැකිවුවහොත් අපට කළ හැකි දේ ගැන සිතා බැලීම අත්‍යවශ්‍යය. ඊශ්‍රායලය ප්‍රධාන වශයෙන්ම කාන්තාර දේශයකි. එමෙන්ම එය කෘෂිකර්මය පදනම් කොට ගත් ආර්ථිකයක් පවත්නා රටකි. අපටද එසේ කරන්නට කිසිම බැරිකමක් නැතැයිද ප්‍රසාද් පැවැසීය.


gossip lanka