මේ පරම්පරාවේ උන් ළඟ එහෙම Love නෑ

කොළඹ අග නගරය අන්ධකාරයෙන් වැසෙන්න ඔන්න මෙන්න කියලා තියෙන කොට හරියටම අපි කලාභවන ඉස්සරහ..

හැමදාම වගේ අදත් කොළඹ පාරවල් මාරම බිසී..

අද නම් ෆුල් ෆන් එකේ වැඩේට සෙට්වෙන්න පුළුවන් තරැණ කොල්ලෙක් මුණගැහෙන්න ආවේ..

අමුතුවෙන් කතාකරන්න දෙයක් නෑ. ශාස්ත්‍රීය සංගීතයට ගොඩක් ඇළුම් කරන දක්ෂ තබ්ලා
වාදකයෙක් තමා ඔහු. දක්ෂ නිවේදකයෙක් ඒ වගේම ගුරැවරයෙක්. ඒ ඔක්කොටම වැඩිය හිත හොඳ කොල්ලෙක්. ඒ වෙන කවුරැත් නෙමේ.. පේෂල මනෝජ්.. සංගීතයට වගේම කවුරැහරි බයිට් කරන්නත් ඔහුම හරි දක්ෂයි...

ඒ තමා අපි පේෂලව දකින විදිය...

කොහොමද කොහොමද පේෂල ඉතින්..

ජීවිතය ගැන තොරතුරැ ටිකක් අහගෙනම අපි ඔහු සමඟ කතාවට වැටුණා..

“මේ දවස්වල ටිකක් විතර කාර්යබහුලයි.. නොවැම්බර් මාසේ ෂෝ එකක් කරන්න ප්ලෑන් කරන් ඉන්නවා ඉන්දියාවේ ඉන්න මගේ ගුරැවරයාත් එකතු කරගෙන.. තව චන්දන වික්‍රමසිංහගේ සංගීත වැඩක් කරා.. ඒකත් හෙට අනිද්දා රිලීස් කරන්න තියෙනවා.. කැම්පස් එකේ වැඩයි.. නිවේදන වැඩයි එක්ක කාලය ගෙවෙනවා..

ඒ තමා පේෂල මනෝජ්ගේ ජීවිතය මේ දවස්වල ගතවෙන විදිය...

පේෂලගේ සංගීතය අපි දන්නවා.. කැමති අකමැති ගීත ඕනතරම් ඇති. අපි අහන්නේ ඔයාගෙ හිතට දැනෙන හුඟක්ම වින්දනය කරපු නිර්මාණයක් ගැන.. අපි හිතමු චිත්‍රපටයක්, පොතක්, වේදිකා නාට්‍යයක් කියලා.. හැබැයි කොන්දේසි දෙකක් තියෙනවා.. ඒක පේෂලගේ වැඩක් වෙන්න බෑ.. ගීතයක් වෙන්නත් බෑ.. ඒ ඇරෙන්න වෙනත් ඕනෑම නිර්මාණයක් ගැන අපි කතා කරමු කියලා මම කිව්වොත්.. පේෂල එකඟයිද? “හරි. මම එකඟයි..”

ප්‍රශ්නය දිග වුණාට පේෂල කෙටි උත්තරයක් දුන්නා..

“මෙහෙමයි මම කැමති එක එක විදියේ ගොඩක් නිර්මාණ තියෙනවා.. ඔය ප්‍රශ්නය අහපු ගමන්ම මට මතක් වුණේ අනූව දක්ෂකයේ ඉන්දියාවේ වගේම ලෝකයෙත් අවධානය දිනාගත්ත දෙමළ චිත්‍රපටයක් වන බොම්බේ චිත්‍රපටය. පස්සේ මේක කතාව හින්දී භාෂාවෙනුත් නිර්මාණය වුණා.

බොම්බේ චිත්‍රපටය අධ්‍යක්ෂණය කරන්නේ මනිරත්නම් කියන විශිෂ්ඨ අධ්‍යක්ෂකවරයා.. එවකට චෙන්නායිවල වැඩිම ආදායම් වාර්තා තැබූ චිත්‍රපටය බවටත් මේ චිත්‍රපටය පත් වුණා. බොම්බේ ෆිල්ම් එක මට ගොඩක්ම සුවිශේෂි වෙන්නේ චිත්‍රපටයට යොදාගෙන තිබෙන සංගීතමය හැඩතල නිසා.. සංගීත අධ්‍යක්ෂවරයා වශයෙන් කටයුතු කරන්නේ ඒ. ආර්. රහුමාන්. ඒ. ආර්. රහුමාන්ගේ සංගීත දිවියේ මුල්ම කාලයේ තමා මේ චිත්‍රපටයට සම්බන්ධ වුණේ... ඒ. ආර්. රහුමාන් කියන විශිෂ්ඨ සංගීතඥයා ලෝකයම දැනගන්නේ මේ චිත්‍රපටය හරහා. බොම්බේ ෆිල්ම් එකේ තීම් මියුසික් එක පවා.. තමාත් හරිම ජනප්‍රියයි. ඒ මියුසික් එක අහන කොට මට අමුතුම හැඟීමක් එන්නේ.. ඒක වචනයෙන් විස්තර කරන්න පුළුවන් හැඟීමක් නෙමේ.. දුක, සතුට, ආදරය වගේ දේවල් ඒ. ආර්. රහුමාන් සංගීතයෙන් ඉස්මතු කරන විදියට හරිම පුදුමාකරයි.. විශේෂයෙන්ම ඒ බටනලා හඬට මම ගොඩක් ඇළුම් කරනවා. මේ චිත්‍රපටය ආකර්ෂණය වෙන්න බලපාපු තවත් කාරණාවක් තමා මේ චිත්‍රපටයේ තියෙන කතාව සහ නළු නිළියන්ගේ සුවිශේෂි රංගන විලාසය.”

කතාව වෙනත් පැත්තකට අරගෙන යන්න හිතාගෙන මම පේෂලගෙන් මෙහෙම ඇහුවා.. මේ තරමට මේ චිත්‍රපටය ඔබට සමීප මොකද? ජීවිත අත්දැකීමක් එහෙම තියෙනවද කියලා?

පේෂලගේ මුහුණට එකපාරටම සිනා රුල්ලක් ආවා..

“බොම්බේ චිත්‍රපටයේ වෙච්ච දේවල් මගේ ජීවිතේනම් වෙලො නෑ..”

තාමත් ඒ සිනා රුල්ල පේෂලගේ මුහුණේ එහෙමමයි... “මම ගොඩක් වෙලාවලට බලන්නේ මියුසික් පැත්තෙන් තමා.. ඒ චිත්‍රපටයේ තියෙන සංගීතය විඳින්න ජීවිත අත්දැකීමක්ම තියෙන්න ඕනෙ කියලා මම හිතන්නෙ නෑ. හැබැයි.. අපි චිත්‍රපටයක් බලද්දි ඒ නිර්මාණයට සමවදිද්දි ඒ චිත්‍රපටයේ නළුවො අපි තමයි.. ඇත්තටම කියනවනම්.. මේක පුදුමාකාර නිර්මාණයක්.. මේක ඉමෝෂනල් ලව් ස්ටෝරියක්නෙ... ඉන්දියාවෙත්, ලංකාවෙත් ඕනතරම් ඉමෝෂනල් ලව් ස්ටෝරි චිත්‍රපටවලට අරගෙන තියෙනවා.. ඒත් මේ ලව් ස්ටෝරියේ හැඟීම් සම්පූර්ණයෙන්ම ප්‍රකාශනය කරලා තියෙන්නේ සංගීතයෙන්. ඒකයි අනිත් ආදර කතාවලට වඩා.. බොම්බේ චිත්‍රපටය මට දැනෙන්නේ..”

හරි පේෂල මේ නිර්මාණය ඇතුළෙත් කැමති චරිතයක් එහෙම ඇතිනේද?

“ඔව්. මම ගොඩක් කැමතියි චිත්‍රපටයේ ප්‍රධාන චරිතය වන ෂේකර්ට.. ෂේකර්ට රඟපාන්නේ අරවින්ද ස්වාමි. ප්‍රධාන නිළියට පණ පොවන්නේ මනීෂා කොයිරාල. ඔවුන් දෙදෙනාගේ ප්‍රබල හැඟීම් දනවන රංඟනය අති විශිෂ්ඨයි. මට තාම මතකයි තුහිරේ සින්දුවේ ඔවුන් රඟපාන විදිය.. හරිම තාත්විකයි..”

ඔයාගේ ජීවිතේට එහෙම චරිත හම්බවෙලා තියෙනවද පේෂල..?

“අද කාලෙ කොහොද ඒ වගේ චරිත ඉන්නේ.. හරිම කලාතුරකින් තමා වර්තමානයේ එහෙම චරිත ඉන්නෙ.. මේ ජෙනරේෂන් එකේ ගොඩක් තියෙන්නේ ෆේක් ලව්නෙ... ඉස්සර හිටියා ඔය ෆිල්ම්වල වගේ ලව් කරපු අය... දැන් ගොඩක් අඩුයි... රියල් ලව් කරන අය ඉන්නවනම් පළවෙනි දවසෙම කෙල්ලව රෑම් එකට එක්කන් යන්නෙ නෑනෙ..”

මේ චිත්‍රපටයේ ලස්සන දර්ශන ගොඩක් තියෙනවා... ඔයා වැඩියෙන්ම සංවේදී වෙච්ච තැනක් මතක් කරමුද?

“ඔව් ඇත්තටම මම ගොඩක් සංවේදී වෙච්ච තැනක් තමා ෂේකර් තමන්ගේ පෙම්වතිය හොයාගෙන යන තැන. හරියටම කියනවනම් තුහිරේ සින්දුව පටන් ගන්න කලින් වදින මියුසික් පීස් එක. ඔහු යන්නෙ මනසික වශයෙන් ගොඩක් කඩා වැටිලා, කරකියාගන්න දෙයක් නැතිව.. පිස්සෙක් වගේ. ඇත්තටම අරවින්ද ස්වාමි මේ කරන්නෙ රඟපෑමක්නෙ.. අපිට මොනයම්ම මොහොතකවත් හිතෙන්නේ නෑ ඒක රඟපෑමක් කියලා.. පුදුම විදියට හිතට දැනෙන තැනක් තමා ඒක...”

මෙච්චර ආස කරන නිර්මාණය පේෂල කීවතාවක් බැලුවාද?

“මට මතක විදිහට තුන් පාරකට වැඩිය බලලා ඇති...”

පේෂලට හිතෙන විදියට අලුත් ජෙනරේෂන් එකට මේවගේ චිත්‍රපටයකින් මොනවගේ දේවල්ද ගන්න තියෙන්නේ...?

“ඉස්සෙල්ලාම ගත්තොත් මේ චිත්‍රපටයේ ප්‍රධාන චරිතයෙන් ගන්න තියෙන ආදර්ශ ගොඩක් තියෙනවා.. ඒ තමා ඔහුගේ තිබ්බ ඉවසීම ගුණය සහ එයාට එන බාධක, කරදර දරාගෙන ජීවිතයට මුහුණ දෙන විදිහ. ප්‍රේමයේදී මොනතරම් දේවල් කැපකරනවාද කියන එක ගැන අපිට ඉගෙන ගන්න ගොඩක් දේවල් මේ චිත්‍රපටයෙන් තියෙනවා.. අපි මියුසික් කරන අය විදියට අපිටත් ගොඩක් දේවල් තියෙනවා ඉගෙන ගන්න. ඒ. ආර්. රහුමාන් වගේ සංගීතඥයෙක් මියුසික් ගැන කොච්චර දුර හිතනවද? මට නම් හිතාගන්නත් බෑ. මියුසික් දන්නවා කියලා දන්න ඔක්කොම ටික මේ චිත්‍රපට ඇතුළට ගෙනල්ලා හරියන්නෙ නෑ. තැනට සුදුසු සංගීතය කොහොමද පවිච්චි කරන්න ඕනෙ කියලා මේ ෆිල්ම් එක හරහා රහුමාන් අපිට පාඩමක් කියලා දෙනවා..” එහෙම කියලා පේෂල කතාවට තිත තිබ්බා...

ලෝකය දැනටමත් අපිට බොහෝ දේ දී අවසන්... වෙලාවකට මට එහෙමත් හිතෙනවා...