නුවරඑළියේ බසයක් තුළ රැයක් පුරා පාසල් සිසුවියක් දූෂණය කළ රියැදුරු පෙම්වතාට ලැබුණු දේ

පෞද්ගලික බස් රථයක් තුළ හිරකර තබා 15 හැවිරිදි පාසල් සිසුවියක රැයක් තිස්සේ දූෂණය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සැකපිට එම බස් රථයේ රියැදුරු වන දෙදරු පියකු නුවරඑළිය පොලිසිය මඟින් පසුගියදා (01) අත්අඩංගුවට ගෙන ඇත.

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ රම්බොඩ,
ජනපදගම පදිංචි 33 හැවිරිදි රත්නවීර තෙන්නකෝන් නමැත්තෙකි.

මොහුට අනුබල දීම සම්බන්ධයෙන් එම බස් රථයේ කොන්‍ෙදාස්තර වන කඳපොළ, සමර්හිල්වත්තේ පදිංචි කාසි විශ්වනාදන් නමැති 31 හැවිරිදි අයකු ද අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහු ද විවාහකයකු බව කියයි.

මහනුවර – නුවරඑළිය මාර්ගයේ ධාවනය කෙරෙන මගී බස් රථයක් වන මෙය ඉකුත් 30 වැනි දින රාත්‍රියේ නුවරඑළිය නගරයේ මහනුවර පාරේ රජගෙදර ඉදිරිපිට පාළු ස්ථානයක නවතා තබාගෙන මෙම දූෂණය සිදුකොට ඇති බව මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇතැයි නුවරඑළිය පොලිසිය කියයි.

මෙම සිසුවිය නුවරඑළිය – ගම්පොළ පාරේ ප්‍රධාන නගරයක පාසලක ඉගෙනුම ලබන අතර ඇය එහි ඉගෙනුම ලබා ඇත්තේ ඒ අසල බෝඩිමක නතර වී සිටය.

ඇය සිද්ධිය වූ දින ද එම බෝඩිමට යෑම සඳහා නුවරඑළිය නගරයේදී මහනුවර බලා යන බස් රථයකට ගොඩ වී සිටිය දී ඇයගේ පරණ පෙම්වතකු යැයි කියන මෙම බස් රියැදුරු ඇයව ඔවුන්ගේ බස් රථයට ගොඩකරගෙන තිබේ.

මහනුවර බලා යන මෙම බස් රථයට ගොඩ වූ ඇය බෝඩිම අසලදී බසයෙන් බැසීමට උත්සාහ කළ ද බස් රථය එහි නතර නොකොට දිගටම මහනුවර දක්වා ධාවනය කර ඇත.

යළි එම බස් රථයෙන්ම ආපසු කැඳවාගෙන එනවිට බෝඩිම අසලින් එම වතාවෙත් බසින්නට නොදී නුවරඑළිය දක්වා කැඳවාගෙන ඇවිත් තිබේ.

නුවරඑළිය නගරයේදී බස් රථයේ සිටි මගීන් බැස ගිය පසු බස් රථය මෙම පාළු ස්ථානයට රැගෙන ගොස් නතර කළ පසු රියැදුරු හා සිසුවිය පමණක් බස් රථයේ සිටියදී කොන්‍ෙදාස්තර ද බසයෙන් බැස ගොස් තිබෙන බව හෙළිව ඇත.

පසුදින උදයේම මෙම සිසුවිය බෝඩිමට යනවිටත් අතුරුදන්වීම දැනගත් ඇගේ මව බෝඩිමට පැමිණ තිබේ.

එහිදී ඇය රැය කොහේ සිටියාදැයි කරන ලද විමසීමට අනුව මෙම සිද්ධිය පැවැසීමෙන් පසු මව විසින් නුවරඑළිය පොලිසියට ඒ ගැන පැමිණිලි කර තිබිණි.

නුවරඑළිය පොලිස් මූලස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක චන්දන බස්නායක මහතාගේ උපදෙස් මත අපරාධ අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක නිශාන්ත ප්‍රදීප් මහතා විසින් වැඩිදුර පරීක්ෂණ සිදු කරයි.

වෛද්‍ය පරීක්ෂණයකට භාජන කිරීම සඳහා සිසුවිය මේ වනවිට නුවරඑළිය මහ රෝහලට ඇතුළත් කොට ඇත.