මම වැඩි පුරම හිටියේ ගස් උඩ - නිරෝෂා තලගල

අපි කොයි කාටත් තමන්ට හුරුපුරුදු විවිධ හැසිරීම් රටා තියෙනවා. වයසත් එක්ක කාලෙන් කාලෙට ඒවා වෙනස් වෙනවා. පුංචි කාලෙදි අපි ගොඩක් ආසා කරපු එවැනි දේවල් කාලයත් එක්ක මගහැරිලා යනවා. මටත් ඒ වගේ අමුතුම හැසිරීම් රටාවන් පුංචි කාළේ තිබුණා. බොහෝ දෙනා නොදන්නා ඒ රහස් තමයි අද මමමේ කියන්න යන්නේ.

පුංචි කා‍ලේ මට තිබුණු ලොකුම ආසාව තමයි ගස් උඩ නගින එක. ‍පොඩි ළමයි විතරක් ‍නෙවෙයි ලොකු
අයත් ගස් නගිනවා. හැබැයි මට තිබුණු ආසාව ඊට වෙනස්. ගහකට නැගලා ගහ උඩට වෙලා කාලය ගෙවන එක ඒ කා‍ලේ මට පුදුමාකාර තෘප්තිමත් අත්දැකීමක් වුණා. ඒ වගේ වෙලාවට මට දැනෙන්නේ හරියට ‍පොළොවෙන් හුඟක් ඉහළට ගිහින් අහසේ පදිංචි වුණා වගේ හැඟීමක්.

ඒ දවස්වල අපේ වත්තේ ලොකු ගස් තිබුණා. සමහර ගස්වල අතු බෙදිලා. ඒ ගස්වලට නැගලා අතු අතරට වෙලා දවසක් හරි ඉන්න තියෙනවා නම් මට ඊට වැඩිය ලොකු සැපතක් තවත් තිබුණේ නැහැ. මට මතකයි අතු ඉති විහිදිලා ගියපු ලොකු ඇට්ටේරියා ගහක් ඔය ගස් අතර තිබුණා. ඒ ගසේ උඩ අතු ඉති විහිදිලා තිබුණ හැටියට ගහ මුදුනට නැග්ගාම කාටවත් පේන්නේ නැහ. ඒ ගහ මුදුනට ගිහින් ලොකු අත්තක හැංගුණාම දැනෙන්නේ හරියට වෙනම ලෝකෙකට ගියා වගේ හැඟීමක්. පුංචි කා‍ලේ මගේ ලෝකය වුණේ එතැනයි. ඒ දවස්වල අපිට අද ළමයින්ට වඩා නිදහසක් තිබුණා. ඉස්කෝ‍ලේ ඇරිලා ආවට පස්සේ කාලා බිලා ඉවර වුණාම මම කෙළින්ම යන්නේ මගේ ලෝකෙට. අම්මලා තාත්තලා වුණත් අපිව අනවශ්‍ය විදියට පීඩනයට පත් කළේ නැහැ. නිදහසේ තමයි අපි හැදුණේ. ඒ හිංදා මගේ ආසාවට අම්මලාගෙන් තහනම් නියෝග වැටුණේ නැහැ.

මම ගහට නඟින්නෙත් නිකම්ම ‍නෙවෙයි. මගේ ‍පොතකුත් අරගෙනයි. සමහර වෙලාවට කොට්ටයකුත් ගෙනියනවා. ඊට පස්සේ අර ගහේ බෙදී ගිය අත්තේ කොට්ටේ තියාගෙන හාන්සිවෙලා ‍පොතක් කියනවා. සෙනසුරාදා දහවලට මම කෑම පිඟාන අරගෙන යන්නෙත් ගහ උඩටමයි.

ගස් නගිනවා වගේම තමයි ‍පොළොව මට්ටමින් ඉහළ තැන්වලට යන ආසාව මට පුංචි කා‍ලේ ඉඳන් තිබුණා. ගේ ළඟ තිබුණ වෙරළු ගහ දිගේ ඉහළට නැගලා ඊට පස්සේ වහලට නගින්න මම හරිම කැමතියි. හැබැයි ඉතින් වෙරළු ගසේ අත්තෙන් වහලට ගියාට ආයෙම ඒ ක්‍රමයට බිමට බහින්න නම් පුංචි මට බැහැ. ඒ වෙලාවට මට වහලෙන් බිමට බහින්න උදව් කරන්නේ තාත්තා. තාත්තා ටික දුරක් ඉහළට ගිහින් මාව කර උඩට නග්ග ගන්නවා. ඊට පස්සේ බිමට බහිනවා. එක දවසක් අම්මයි තාත්තයි ගෙදර නැති වෙලාවක අක්කයි මමයි බැඩ්මින්ටන් ගැහුවා. ඒ වෙලාවේ බැඩ්මින්ටන් මල වහලෙට ගියා. මම පුරුදු විදියට වහලෙට නැගලා මල අරගෙන බිමට වීසි කළා. ඊට පස්සේ වහලෙන් බිමට පැන්නා. හැබැයි ඉතින් ඒ සිදුවීමේ ප්‍රතිඵලයක් විදියට මාස ගාණක් මගේ කකුල් දෙකට බෙහෙත් බඳින්නත් මට සිද්ධ වුණා. ඔය සිදුවීම වුණේ මම ඉස්කෝ‍ලේ දෙක වසරේ ඉගෙන ගන්න කාලෙදියි.

වයසින් වැඩි වෙද්දී ගස් නගින එකටයි, දඟවැඩ කරන එකටයි මට අම්මයි තාත්තයි දෙන්නගේ තහනම් නියෝග වැටුණා. හැබැයි මට මගේ පුරුද්ද නතර කරගන්න බැරිවුණා. ඒ හින්දම තාත්තගෙන් ගුටි කාපු අවස්ථා නම් මහ ගොඩයි. ඒ ගුටිවලින් මගේ දඟවැඩ නැවතුණේ නැහැ. අදත් දුර පළාතක ෂූටිං ගියාම පේර ගහක් දැක්කත් ඒ ගහට නගින පුරුද්ද මට තියෙනවා.

ආරියවංශ කුලතිලක