මට කිසිම දවසක පෙම්වතෙක් ඉඳලත් නැහැ යාළු වෙන්න අහලවත් නැහැ

මිෂෙල් දිල්හාරා කියන්නේ මේ දවස්වල රූප පෙට්ටියේ නිතර පෙනී සිටිනා නිළියක්. තුත්තිරි, පූරි සහ දණ්කුඩ බණ්ඩා කියන ටෙලි නාට්‍යවල වගේම සිරස නාලිකාවෙන් විකාශය වන ‘16 PLUS’ වැඩසටහනේ නිවේදිකාවක් ලෙසත් ඇය කටයුතු කරනවා. හැඩකාර සුරූපිනියක් වුණාට “ආදරය” කියන මාතෘකාවේදී නම් ඇයට ඇත්තේ කවුරුත්
විශ්වාස නොකරන විදියේ කතාවක්.

ඉස්සෙල්ලාම කියමුකෝ කොහොමද ඔබට නිළියක් වෙන්න අවස්ථාව ලැබුණේ කියලා.

අනෝජා වීරසිංහ, දමයන්ති ෆොන්සේකා සහ ඉන්දීය ජාතික රිස්වාල් සිංග් කියන ප්‍රවීණයින්ගෙන් මම රංගනය හදාරලා තියෙනවා. 2014 දී උසස් පෙළ අවසන් කළාට පස්සේ තමයි මම ඒ විදියට රංගනය හදාරන්න පටන් ගත්තේ. ඒ ඔස්සේ තමයි මට “සල් සපු නා” ටෙලි නාට්‍යයේ රිතිකා එහෙමත් නැත්නම් “‍පොඩි පත්තරකාරී” කියන චරිතය රඟපාන්න අවස්ථාව ලැබුණේ. ඒ තමයි මගේ ගමනේ ආරම්භය. තුත්තිරි, පූරි හා දණ්කුඩ බණ්ඩා ටෙලි නාට්‍යවල මේ දවස්වල රඟපානවා. ඒ අතරින් පූරි ටෙලි නාට්‍යයේ “මාලි“ගේ චරිතයට ලොකු ප්‍රතිචාරයක් ලැබෙනවා. ‘මාලි‘ කොළඹ වතු ආශ්‍රිත පරිසරයක ඉන්න කටකාර, ගැටුමට බර යුවතියක්.

රංගනය වැඩිදුරටත් හදාරන්න යොමුවුණේ නිළියක වීමේ හීනය පුංචි කා‍ලේ ඉඳන්ම ඔබේ හිතේ තිබුණු නිසාද?

පුංචි කා‍ලේ ඉඳන් මගේ ජීවිතේ හීන දෙකක් තිබුණා. එකක් නිළියක වීමේ හීනය. අනෙක් හීනය තමයි ගුරුවරියක් වීමේ හීනය. අද වෙද්දී ඒ හීන දෙකම ඉටුකරගෙන අවසන්. මම සාමාන්‍ය පෙළ ජීවිතය අවසන් වූ සැණින් එක්තරා ළමා නිවාසයක දරුවන්ට නොමි‍ලේ ඉංග්‍රීසි උගන්නන්න පටන් ගත්තා. එක දෙක වසරවල වගේම සාමාන්‍ය පෙළ හදාරන ළමයිනුත් මගෙන් ඉංග්‍රීසි භාෂාව ඉගෙන ගන්නවා. දැනටත් විවේකය අනුව මම ස්වෙච්ඡා ගුරු සේවයට මගේ කාලය යොදවලයි තියෙන්නේ. මම සමාජ සත්කාරක කටයුතුවලට ගොඩක් කැමතියි.

සමාජ සත්කාරක කටයුතුවලට මේ තරම් යොමුවෙලා ඉන්නේ පවුල් පසුබිමින් මිෂෙල් ලොකු සල්ලිකාරියක් වෙන්න ඇති. ඒ නිසා පවු‍ලේ විස්තර ටිකකුත් කියමු?

අපේ පවු‍ලේ ඉන්නේ අම්මයි, තාත්තයි මමයි නංගිලා දෙන්නයි. තාත්තා එංගලන්තයේ රැකියාවක් කරනවා. මගේ සමාජ සත්කාරක කටයුතුවලට ගෙදරින් සල්ලි ඉල්ලන්නේ නැහැ. ඒවාට යොදවන්නේ මගේ සල්ලි.  මම පරිගණක අධ්‍යාපන ආයතනයක් පවත්වාගෙන යනවා. ඒ මගේ තනි අයිතිය ‍නෙවෙයි. යාළුවෝ කට්ටියක් එක්ක තමයි කරන්නේ.
මම මේ දේවල්වලට Face book මිතුරු මිතුරියන් එකතු කරගන්නවා. මගේ උපන්දිනයට දිවුලපිටියේ ශ්‍රී පියදස්සනාරාමයට හාල් කිලෝ එක ගානේ රැගෙන එන්න කියලා මම Post එකක් දැම්මාම 1000 සහභාගි වුණා. හාල් කිලෝ 1400ක් එකතු වුණා. එය පවුල් 250ක් අතර බෙදුවා. ඒ වගේම මගේ Face book fane Page එකේ මගේ Photo එකකට 3,13,000 view හා 23,000ක් Comments තිබුණා. ඒ වනවිට පැවැති සමීක්ෂණ  වාර්තා අනුව එය වාර්තාවක් වුණා.

නව යොවුන් වියේ පසුවන ඔබගෙන් “ආදරය” කියන අකුරු හතර ගැනත් නොඅසාම බැහැ

දෙමාපියන්ගේ සහ සහෝදරියන්ගේ ආදරය විතරයි මට අදටත් ලැබෙන්නේ. එය මට උපරිමයෙන් ලැබෙනවා. ඒ ඇරෙන්න මගේ ජීවිතයේ කවදාවත් පෙම්වතෙක් ඉඳලා නැහැ. ඒ හින්දා ඒ ගැන කතා කරන්න කිසිම දෙයක් දන්නෙත් නැහැ.

තවම ආදරවන්තයෙක් නැත්තේ ලැබුණු ප්‍රේම ආරාධනා අතරේ හිත ගිය කෙනෙක් නොහිටපු නිසාද?

මම මෙහෙම කිව්වට කවුරුත් විශ්වාස කරන එකක් නැහැ. කිසිම දවසක පිරිමි ළමයෙක් මට ආදරය පිළිබඳ යෝජනාවක් කරලා නැහැ. කොටින්ම “මම ඔයාට කැමතියි... ඔයා මට කැමතිද?” කියලා අහලා නැහැ.

ආරියවංශ කුලතිලක

ඡායාරූපය - අසන්ත ගමආරච්චි

gossip lanka