‘පොත්ත අතගාලා අරටුව ගැන කියන්න එපා’ – ආසියානු කුසලානයට යාමට පෙර මාලිංග යළි කට අරියි

ක්‍රීඩකයෙක් ලෙසට ක්‍රීඩාව වෙනුවෙන් කතා කිරීම නතර නොකරන බව ලසිත් මාලිංග පවසනවා.

ආසියානු කුසලානය සඳහා ඩුබායි රාජ්‍ය බලා පිටත්ව යාමට සුදානම්වන අවස්ථාවේ මාධ්‍ය වෙත අදහස් දක්වමිනුයි ලසිත් මාලිංග මේ බව කියාසිටියේ.

එමෙන්ම ඔහු අවධාරණය කළේ ක්‍රීඩකයෙක් ලෙස
වැදගත් වන්නේ ක්‍රීඩාව රැකගැනීම පමණක් බවයි.

“ක්‍රීඩකයෙක් විදිහට ක්‍රීඩාව රැකගැනීම තමයි වැදගත් වෙන්නේ. ඉතින් මං මේ වෙලාවේ ක්‍රීඩකයෙක්. මගේ මේ වෙලාවේ අරමුණ මගේ ක්‍රීඩකයන් 15 දෙනා සහ ශ්‍රී ලංකා ශ්‍රී ලංකා ක්‍රිකට් රැක ගැනීම පමණයි. ඒක නිසා මම ඒ වෙනුවෙන් කතා කරන එක නවත්වන්නෙ නෑ. ඒ කතාකරන දේවල් බාහිරින් බලලා.. ආයෙමත් කියන්න තියෙන්නේ, පොත්ත අතගාලා අරටුව ගැන කියන්න එපා කියන එක තමයි”

එමෙන්ම තමා ක්‍රීඩාවෙන් එපිට දෙයක් ගැන අදහස් දක්වා නොමැති බව ද ලසිත් මාලිංග පවසනවා.

මීට මාස ගණනාවකට පෙර තමන් කියූ ඇතැම් දෑ අදවන විට සත්‍යය වී ඇති බව ද ඔහු පෙන්වා දුන්නා.

සෑමවිටම ක්‍රිකට් ක්‍රීඩාව වෙනුවෙන් සත්‍යය කතා කළ බවට තමන් විශ්වාස කරන බවයි ඔහු වැඩිදුරටත් පවසා සිටියේ.

“මම කවදාවත් ක්‍රිකට්වලින් පිටට දේවල් කියලා නෑ. මම මාස අට, දහය, අවුරුද්දකට කලින් කියපුවා සාර්ථක වෙලා තියෙනවා. ඉතින් මම හිතනවා මං ක්‍රිකට් ක්‍රීඩාව වෙනුවෙන් ඇත්ත කතා කළා කියලා”

ලසිත් මාලිංග පසුගිය සමයේ ආන්දෝලනාත්මක ප්‍රකාශ ගණනාවක් නිකුත් කළ අතර එම ඇතැම් ප්‍රකාශ ක්‍රීඩාව හා සම්බන්ධ දේශපාලන බල අධිකාරිය සමග මත ගැටුම් දක්වා වර්ධනය කරවූ ඒවා වූවා.

මාස ගණනාවක් ශ්‍රී ලංකා සංචිතයට ඔහු ඇතුලත් නොවීම පසුගිය කාලයේ ජාත්‍යන්තර අවධානයට පවා පාත්‍ර වුණා.

සමාජය තුළ මතයක් ගොඩ නැගුනේ මාලිංගගේ ආන්දෝලනාත්මක ප්‍රකාශ හේතුවෙන් ඔහු එලෙස සංචිතයෙන් ඉවත් කර සිටි බවටයි.