gossip lanka

මට Facebook හරහා වැඩිපුරම එන්නේ සරාගී යෝජනා

“මගෙ නොවනා ඔය ඇස් ආයෙ

දැක ගන්නත් දැන් තහනම්නේ

හමුනොවනා අප මතු ආයෙ

අතීතයක හිත හැඬුවාවේ...”

මේ දවස්වල නිතර ඇහෙන ඒ ගීතය ගයන්නේ
ලක්ෂ්මන් හේවාවිතාරණ. මාස 18ක නිහැඩියාවකින් අනතුරුව ලක්ෂ්මන් තමන්ගේ රසික රසිකාවියන්ට තිළිණ කළ නවතම ගීතය තමයි ඒ. මේ අතරේ ලක්ෂ්මන් අලුත්ම කටයුත්තකට ප්‍රංශය බලා පිටත්වී යෑමටත් නියමිතයි.  ඒ අතරවාරේ  සංවාදයකට එක්වූ ඔහු තමන්ගේ ගායන ජීවිතය ගැන වගේම පෞද්ගලික ජීවිතය ගැනත් බොහෝ දේ විවෘතව කතා කළා.

මොනවාද අලුත් තොරතුරු?

මම මේ දිනවල මගේ නවතම ප්‍රසංගය සඳහා ප්‍රංශයේ පැරිස් නුවරට යාමට සූදානමිනුයි ඉන්නේ. එය පැවැත්වෙන්නේ ප්‍රංශයේ පැරිස් නුවර 18 කලාපයේ පැජොල් මාවතේ අංක 20 ශාලාවේ. “තරු විසිතුරු” නමැති මේ ප්‍රසංගය සඳහා මගේ ගීත 15ක් පමණ ඇතුළත්  වෙනවා. ඔක්තෝබර් 13 දින හවස 4ට තමයි මෙය පැවැත්වෙන්නේ.

මේ විදියේ ප්‍රසංගයක් පැවැත්වෙන්න විශේෂ හේතුවක් තියෙනවාද?

ඔව්. ප්‍රංශයේ ශ්‍රී ලංකා කාන්තා සංගමයේ මරණාධාර ඒකකයට ආධාර පිණිසයි මෙය සංවිධානය කරන්නේ.

ඔබේ අලුත්ම ගීතයකුත් මේ දවස්වල නිතර ඇහෙනවා?

“මගෙ නොවන ඔය ඇස් ආයේ” නමින් අලුත් ගීතයක් මම ගායනා කළේ මාස 18කට පසුව. ආයේ මගේම ගීතයක් මා කරන්නේ තව වසරකින්.

ඒ කාලය තුළ ගීත ගයන්නේම නැද්ද?

ටෙලි නාට්‍යයකට හරි එහෙම නැත්නම් වෙනත් අයගේ නිර්මාණයකට ගායනයෙන් දායක වෙන්න ආරාධනාවක් ලැබුණොත් හරි ඊට එකතුවෙනවා. මා විසින්ම නිර්මාණය කරන ගීතයක් එළිදක්වන්නේ වසරකට වතාවයි.

තෝරා බේරාගෙන ගී ගැයුවට ලක්ෂ්මන් facebook එකේ නම් නිතර සැරිසරනවා?

අද වන විට facebook නැති ජංගම දුරකථනයක් නැති තරම්. අපිට අපේ හිතවතුන් එක්ක වගේම රසික හිතවතුන් අතර අදහස් හුවමාරු කරගන්නත් අද වන විට facebook හෙඳ මාධ්‍යයක් වෙලා.

ඒ තුළ හමුවන රසික රසිකාවියන් අතර සුවිශේෂ රසිකාවියනුත් ඇති?

අ‍පොයි ඔව්. එහෙම අය ඉන්නවා.

ජනප්‍රිය තරුවලට පෙම් බඳින රසික රසිකාවියන් ඉන්නවා. ලක්ෂ්මන්ටත් එවැනි රසිකාවියන් ඉන්නවාද?

ඉන්නවා. මම නම් ඒක මහා විස්මයක් විදිහට දකින්නේ නැහැ. ගායක ගායිකාවන්ට නළුවන්ට පෙම් බඳින ගෑනු ළමයි වගේම ගායිකාවන්ට නිළියන්ට පෙම් බඳින පිරිමිත් ඉන්නවා. අපේ රටේ ඔය තත්ත්වය දිහා විවිධ දෘෂ්ටියෙන් බැලුවත් යුරෝපීය රටවල නම් ඕක බොහොම සාමාන්‍ය දෙයක්. මගේ ජීවිතය වැඩි කාලයක් ගෙවුණේ යුරෝපයේ. යුරෝපය කියන්නේ කාම පුරවරයක් කිව්වත් වැරදි නැහැ. ඒ හින්දා මට එවැනි රසික ප්‍රතිචාර දිහා විවෘත මනසකින් බලන්න පුළුවන්.

facebook හරහා රසිකාවියන්ගෙන් ලැබෙන ආදර යෝජනාවලට ලක්ෂ්මන් කොයි විදිහටද ප්‍රතිචාර දක්වන්නේ ?

facebook හරහා මට ආදර යෝජනා ලැබෙනවා. ඊටත් වැඩියෙන් ලැබෙන්නේ සරාගී යෝජනා. ඒත් අපි ඉන්න සමාජ වටපිටාව අනුව සීමා මායිම් තියෙනවානේ. ඒ නිසා දැන්නම් එවැනි යෝජනා පිළිගන්නේ නැහැ.

දැන්නම් පිළිගන්නේ නැහැ කිව්වේ ?

(සිනාසී) යුරෝපීය සංස්කෘතියක හැදුණු හින්දා මම විවෘතව ඕනෑම දෙයක් කතා කරනවා. 2004 මම ගායන ක්‍ෂේත්‍රයට ආපු මුල් කා‍ලේ එවැනි යෝජනා ගොඩක් ආවා. ඒ කා‍ලේ සමහර යෝජනා ප්‍රතික්‍ෂේප කළා. සමහර යෝජනා භාර ගත්තා.

ආරියවංශ කුලතිලක

gossip lanka