මුහුදු පතුල යට විවාහ උත්සවයක් සංවිධානය කරපු කල්පිටියේ කිඳුරියෝ

"කල්පිටිය කියන්නේ ලෝකයේ සුන්දර මුහුදු තීරයන්ගෙන් එකක්. මේ මුහුදු තීරය ලෝකයේ සුපිරි මුහුදු තීරයක් (සුපර් පෝට්) ලෙසත් ප්‍රසිද්ධයි. ඒත් ලංකාවේ ජීවත්වන අපේ ජනතාවට මේ තත්ත්වය පිළිබඳ අත්දැකීමක් නැහැ. ඒ නිසා මේ මුහුදු තීරය විනාශ වෙමින් පවතිනවා. මම, මගේ මහත්තයා, මගේ නංගී අපි තුන්දෙනාගේ ප්‍රධාන උත්සාහය මේ මුහුදු පරිසරය රැක ගන්න ක්‍රියා කිරීමයි. ඒ තිදරු
මවක් වන එස්.ඒ. නිලූකා දමයන්ති, තිස් දෙහැවිරිදි නිලූකා හා ඇඟේ නැඟණිය වන මධුෂිකා සුභාෂිනි (26) ඉකුත් සතියේ පළවූ මාධ්‍ය වාර්තා හේතුවෙන් ලෝකයම දන්නා කාන්තාවන් දෙදෙනකු බවට පත්ව ඇත.

කල්පිටිය අර්ධද්වීපය මේ වන විට ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තය ශීඝ්‍රයෙන් දියුණු වන ප්‍රදේශයක් බවට පත්ව තිබේ. ශ්‍රී ලංකාවේ මෙන්ම ලෝකයේද වසරේ සෑම දිනකම සංචාරකයන් දැකිය හැකි ප්‍රදේශයක් ලෙස කල්පිටිය හැඳින්විය හැකිය. කොළඹ - කටුනායක අධිවේගී මාර්ගය හේතුවෙන් පැය හතරක් වැනි කාලයක් තුළ කල්පිටියට ළඟාවීමට හැකි අතර කොළඹ සිට කල්පිටියට ඇති දුර කිලෝමීටර් 168කි.

කල්පිටිය සංචාරක කලාපය ලෝකයේ පිහිටි සුපිරි මුහුදු තීරයන්ගෙන් එකක් බවට පත් වීමට ප්‍රධාන හේතුව කල්පිටිය මුහුදු තීරයේදී දැකබලා ගත හැකි කොරල් පරයයි.

මීට අමතරව තල්මසුන්, ඩොල්ෆින්, මුහුදු උෟරා, මුහුදු අශ්වයා හා බූවල්ලා ඇතුළු දුර්ලභ මුහුදු සත්ත්වයන් දැකබලා ගැනීමට හැකිවීම හා දියමත ලිස්සීමේ සරුංගල් ක්‍රීඩාව (ම්ඪබඥඵභපටඪදඨ) කිරීමට හා කිමිඳීමට සුදුසු මුහුදු තීරයක් වීමද හේතු වී තිබේ. ඔක්තෝබර් මස අග සිට මැයි මුල දක්වා කාලය තුළ කල්පිටිය සංචාරක සමය ලෙස හැඳින්වෙන අතර කල්පිටියේ ඇති සුවිශේෂත්වය වනුයේ සංචාරක සමය නිමා වී වාරකන් සමය එළැඹුණත් කල්පිටියට සංචාරකයන් වැඩි වශයෙන් ඇදී ඒමයි. ඒ දියමත ලිස්සීමේ සරුංගල් ක්‍රීඩාව සඳහා හා කිමිඳීම සඳහායි.

මුහුදේ ශ්‍රමදාන

ඉතා නිහඬව වසර අටක කාලයක් කල්පිටියේ මුහුදු පරිසරය රැක ගැනීමට ක්‍රියා කළ තිදෙනෙකි සමිත් තිළිණ ප්‍රනාන්දු (35), නිලුකා දමයන්ති හා ඇගේ නැඟණිය මධුෂිකා සුභාෂිණි. එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන මඟින් ප්‍රසිද්ධියට පත් වාර්තාවක් ඇසුරින් පසුගිය සතියේ කරළියට පැමිණි මේ තිදෙනා කිමිඳුම් ක්‍ෂේත්‍රයේ පැමිණ ඇති දුර බොහෝයි. මේ තිදෙනාගේ නායකත්වය උසුලන සමිත් ප්‍රනාන්දු තමන් පැමිණි ගමන් මඟ විස්තර කළේ නිහතමානීවයි.

"මට කිමිඳීම ඉගැන්නුවේ මගේ තාත්තා. මම වයස 13දී තමයි මුලින්ම මුහුදට බැස්සේ. එදා ඉඳලා අද දක්වා ලොකු දුරක් ඇවිල්ලා තියෙනවා. අද මගේ නෝනා, එයාගේ නංගී බලපත්‍ර සහිත කිමිඳුම්කාරියන්. මේ දෙන්නා මුහුදට බහිද්දී අඩුම ගාණේ පීනන්නවත් දන්නේ නැහැ. අකැමැත්තෙන් තමයි මුහුදට බැස්සේ. අද මේ දෙන්නව මට මුහුදෙන් ගන්න බැහැ. මම පසුගිය වසර 23 තුළ දස දහස් හාරසිය පනස් තුන් වතාවක් කිමිඳිලා තියෙනවා.

මම සුරතල් මසුන් අල්ලන්න කිමිඳෙනවා. නැතිවූ බඩු සොයා දෙන්න කිමිඳෙනවා. මනුස්සයෙක් මැරුණාම මිනිය හොයා ගන්න කිමිඳෙනවා. ඒ වගේම කිමිඳුම් පුහුණුකරුවෙක් හා වෙනත් වෙළෙඳ ව්‍යාපාර සඳහාත් කිමිඳෙනවා. ඒ කියන්නේ නැව්වල අලුත්වැඩියා කටයුතු වගේ. මගේ අලුත්ම වැඩපිළිවෙළ තමයි කල්පිටිය කොරල් පරය ආරක්ෂා කර ගැනීම සඳහා කිමිඳීම.

මේක අලුත් වැඩක් කිව්වට 2014 වර්ෂයේ තමයි මේක ආරම්භ වුණේ
නීති විරෝධී පන්න ක්‍රම, පොලිතින්, ප්ලාස්ටික් මුහුදට දැමීම මේ තත්ත්වයන් නිසා කොරල් පරය විශාල වශයෙන් විනාශ වෙලා තියෙනවා. අපි තිදෙනා කරන්නේ මේ විදියට විනාශ වුණු කොරල් පරය ආරක්ෂා කර ගැනීම සඳහා කොරල් පරයේ ඇති එවැනි දෑ ඉවත් කිරීමයි.

මුහුදු පතුලේ විවාහය

කල්පිටිය මුහුදු තීරය මේ වනවිට නොයෙකුත් ක්‍රියාකාරකම් සඳහාද ප්‍රසිද්ධ වෙමින් තිබේ. වැලන්ටයින් සැමරීම, විවාහ ගිවිස ගැනීම් වැනි ක්‍රියාකාරකම් මේ සඳහා පෙරමුණ ගෙන තිබේ. මෙවැනි අත්දැකීම් ලැබූ ශ්‍රී ලංකාවේ ජීවත් වන කාන්තාවන් සිටී නම් ඒ මේ අක්කා - නඟෝ දෙදෙනායි. මේ වසරේ කල්පිටිය මුහුදු පතුලේ පැවැති විවාහ ගිවිස ගැනීමේ උත්සවයකදී මනාලියගේ මිතුරියන් ලෙස කටයුතු කිරීමටද මේ අක්කා - නඟෝ දෙදෙනාට හැකිව තිබේ. මේ කතාවේ නැඟණිය වන මධුෂිකා සුභාෂිණී තමන් මුහුදු පතුලේ විඳි ඒ සුන්දර අත්දැකීම් විස්තර කළේ මෙලෙසයි.

"මාරවිල දෙන්නෙක් තමයි මේ විදියට මුහුදේ පතුලේ පැවැති උත්සවයකදී මුදු මාරු කරගෙන විවාහ ගිවිස ගත්තේ. මනමාලයා කිමිඳුම්කරුවෙක් වුවත් මනමාලි පීනන්නවත් දන්නේ නැහැ. මනමාලි මුහුදට බහින්න බැහැම කිව්වා. නමුත් මනමාලයාගේ ඉල්ලීම පරිදි මනමාලියට මුහුදට බහින්න වුණා. අපි ඔක්කොම අටදෙනෙක් මේ වැඩේට එකතු වුණා. මුදු මාරු කළා. පින්තූර ගත්තා. වීඩියෝ කළා. පැයකට ආසන්න කාලයක් මුහුදු පතුලේ සිටියා. මේ අත්දැකීම් මේ මනමාලි ඇරෙන්න විඳපු කාන්තාවන් දෙදෙනා අක්කායි, මමයි විතරයි. දැන් දැන් වැලන්ටයින් සමරන්නත්. තම බිරිය පුදුම කරන්න හා සතුටු කරන්නත් මේ මුහුදු තීරය හා මුහුදු පතුල භාවිත කරනවා.

තහනම් පන්න ක්‍රම

කල්පිටිය කොරල් පරය විනාශ වීමට හා ඩොල්ෆින් වැනි සතුන් වඳ වීමට බලපෑ ප්‍රධාන සාධකයක් ලෙස තහනම් දැල් පන්න ක්‍රමයක් වන ලයිලා හා සුරුක්කු දැල් සඳහා රජය විසින් බලපත්‍ර ලබාදීම හැඳින්විය හැකිය. පසුගිය වසර දහයක කාලය තුළ මේ තත්ත්වය ඉහළ ගිය අතර කොරල් පර ආශි්‍රතවද කළ මේ පන්න ක්‍රම හේතුවෙන් කොරල් කැඩී බිඳී යෑම හා කොරල් පර ආශි්‍රතව ජීවත් වූ මත්ස්‍ය සම්පත අඩුවීම හැඳින්විය හැකිය. මෙලෙස විනාශ වී ගිය කල්පිටිය කොරල් පරය රැක ගැනීමට දායක වීම තමන් ලැබූ භාග්‍යක් ලෙස නිලූකා දමයන්ති සිතයි.

"කල්පිටිය කොරල් පරයේ ඉතිරි වෙලා තිබුණේ සියයට පහක් වගේ කොටසක් විතරයි. අද වන විට මේ තත්ත්වය සියයට දහය දක්වා වැඩි කරගන්න අපිට හැකි වෙලා තියෙනවා.
අපි ගිහිල්ලා කුණු, දැල්, පොලිතින් ඉවත්කරනවා. කෙරල් අල්ලන්නෙත් නැතිවයි අපි මේ දේ කරන්නේ. මේ තත්ත්වය තමයි මේ වර්ධනයට හේතුව. ඊට අමතරව කෙරල් පරය බලන්න එන ජනතාවත් අපි දැනුවත් කරනවා. මේ වැඩසටහන අනුව අපි ස්ථාන ලකුණු කරලා, එතැන බෝයා දාලා, එම ස්ථානය ආරක්ෂා කරනවා. එතකොට ඒ හරියේ මාළු අල්ලන්න බැහැ. කාටවත් යන්නත් බැහැ. එම ස්ථානයේ උෂ්ණත්වය වගේ කරුණු අපි එක්සත් ජාතීන්ගේ වැඩසටහනට වාර්තා කරනවා."

එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන මඟින් ක්‍රියාත්මක කෙරෙන, ශ්‍රී ලංකාවේ පාරිසරික සංවේදී භූමි ප්‍රදේශවල ජෛව විවිධත්වය සංරක්ෂණය ප්‍රවර්ධනය කිරීම හා පරිසර පද්ධති සේවා නඩත්තුව පිළිබඳ ව්‍යාපෘතියේ එක් කොටසක් ක්‍රියාත්මක වන්නේ කල්පිටියෙයි.

පුහුණු පාසල

කාන්තාවන්ට කිමිඳුම් පුහුණු කිරීම සඳහා නිසි වැඩපිළිවෙළක අවශ්‍යතාව අවබෝධ කරගත් සමිත් ප්‍රනාන්දු ප්‍රධාන මේ අක්කා - නඟෝ දෙදෙනා මේ වන විට පුහුණු පාසලක් පවත්වාගෙන යති.

එහි නායකත්වය සමිත් විසින් දැරුවද සමිත්ට මේ අක්කා - නඟෝ දෙදෙනාගෙන් ලැබෙන සහාය අපමණයි.

"නිලූකා මගේ බිරිය තමයි. මට එයාගෙන් මේ කාර්යය සඳහා ලැබෙන සහාය කියා විස්තර කරන්න බැහැ. අපි මේ කාර්යය සත් භාවයෙන් කළාට අපිත් ජීවත් වෙන්න ඕනෑ.
මට දරුවෝ තුන්දෙනෙක් ඉන්නවා. ඒ අය රකින්න ඕනෑ. ඒ නිසා වාණිජ ව්‍යාපාරයක් ලෙසත් මේ කිමිඳුම් වැඩේ අපි කරනවා. මේකට අපි අය කරන්නේ ඉතා සුළු මුදලක්.

දිනෙන් දින මේ සඳහා විශාල ඉල්ලුමක් තියෙනවා. ලබන සීසන් එකේ කපල් කීපයක්ම කතා කරලා තියනවා. ඒ අයගේ විවාහ මංගල්‍ය මුහුදු පතුලේ කරන්න. කිමිඳීම පිළිබඳ රජයේ අවධානය මදියි කියලායි මට හිතෙන්නේ. සංචාරක කර්මාන්තය දියුණු කරන්න මෙවැනි ක්‍ෂේත්‍ර කෙරෙහිත් රජයේ අවධානය මීට වඩා යොමු විය යුතුයි.