"ඒ දෙමවුපියන් ඒ දරුවනුත් අරගෙන මාව බලන්න එනවා..." - අවු: 18 සිට අවු: 81 දක්වා දිගටම ලේ දන්දී දරුවන්ගේ ජීවිත බේරාගත් ජේම්ස් කියයි

එහෙත්  ඕස්ට්‍රේලියානු සෞඛ්‍ය අංශ බලධාරීන් මේ වනවිට ජේම්ස්ගෙන් ලේ ලබාගන්නට අදහස් කරන්නේ නැහැ. ඒ ඔහුගේ ලේවල ඇති දුර්වලකමක් නිසා නම් නොවෙයි. බොහෝ වියපත් වී සිටින ඔහුගේ සෞඛ්‍ය තත්ත්වය ගැන සැලකිලිමත් වීමක් හැටියටයි. ඒත් ජේම්ස්ට මේ වනතෙක් ‘ඉහෙන් බහින’ රෝගයක් නම් නැහැ. ඒ තරමට ඔහු ශක්තිමත්, නිරෝගීමත් පුද්ගලයෙක්.

ජේම්ස්ගෙන් ලබාගන්නා ලේවල ප්ලාස්මා කොටස ඉතාමත් සරු මට්ටමෙන් පවතින බවයි  ඕස්ට්‍රේලියානු
වෛද්‍යවරුන් පවසන්නේ. මේ ප්ලාස්මා කොටස  ඕස්ට්‍රේලියාවේදී බහුලව පාවිච්චියට ගෙන තිබෙන්නේ උපදින්නට සිටින දරුවන් මරණයෙන් බේරාගන්නටයි.

කලලයක් මවු කුස තුළ වැඩෙමින් තිබෙද්දී සමහර අවස්ථාවලදී මවගේ ලේවල තිබෙන රසායනිකයක් නිසා කලලයේ ලේ විනාශ වෙනවා. එයින් කලලය මියයනවා. මෙය හැඳින්වෙන්නේ රීසස් රෝගය හැටියටයි.

ජෙම්ස්ගේ ලේ දීම නිසා රීසස් රෝගයෙන් මවු කුසේදී මියයන්නට සිටි දරුවන් ලක්ෂ 24 ක් අදටත් ඉතාමත් හොඳින් ජීවත්වෙනවා. ඒ අතර ඔහුගේ මිනිබිරියක්ද සිටිනවා.

”මම පුංචි දරුවන්ට මගේ පණට වගේ ආදරෙයි. ඒ තමයි අපේ ලෝකයේ අනාගත උරුමක්කාරයෝ. අපි ඔවුන්ව හොඳින් ආරක්ෂා කරගන්න  ඕනේ. මම බොහෝ කාලයක් ජීවත්වුණා. ඒ ජීවිත කාලය තුළදී මා නිසා පුංචි පැටවුන් ලක්ෂ ගණනක ජීවිත බේරී තියෙනවා. ඒ දෙමවුපියන් ඒ දරුවනුත් අරගෙන මාව බලන්න එනවා. ඒ දරුවන්ගේ හුරතල් මූණු දකිද්දී මට දැනෙන්නෙ වචනයෙන් කියාගන්න බැරි මහා සතුටක්. එතකොට මට හිතෙනවා මම තවත් ටිකක් තරුණ වුණානම් කොයිතරම් හොඳද කියලා. එතකොට මේ වගේ පුංචි පැටවුන් තව කීදෙනෙක්ගේ ජීවිත මරණයෙන් බේරා දෙන්න පු`ඵවන්ද?” ජේම්ස් පවසන්නේ කෙළවරක් නැති සතුටකින්.

ඕස්ට්‍රේලියාව තුළ ජේම්ස් හැඳින්වෙන්නේ ‘රත්තරන් අත් ඇති මිනිසා’ හැටියටයි. ඒ, ඔහුගෙන් ලේ ලබාගෙන ඇති දෑත්වලට කරන ගෞරවයක් හැටියටයි.

මේ මහා පරාර්ථකාමියාට  ඕස්ට්‍රේලියාවේදී බොහෝ ගරු නම්බු හිමි වෙලා තිබෙනවා. ඒ අතරින් Medal of the Order of Australia සම්මානය ඉතා වැදගත් වූවක්.

ජීවත්වෙන කෙටි කාලය තුළදී තව කෙනෙකුට අබ ඇටයක තරම්වත් දෙයක් නොදී තමාටම පමණක් හැම දෙයම පොදි බැඳ තබාගන්නා මිනිස් වෙස් ගත්ත අයට ජේම්ස් ක්‍රිස්ටෝෆර් හැරිසන් කියාදෙන්නේ බොහොම වැදගත් පාඩමක්.

නඳුන් අමන්ද මනමේන්ද්‍ර ආරච්චි