ඒ සිදුවීම දවසකට වතාවක්වත් මට මතක් වෙනවා

විටෙක අවිහිංසක තිසරාවියක බඳු අම්මා ‍කෙනකු ලෙස ද මොහොතකින් උඩඟු ,කුලවත් කුමාරිහාමියක ලෙස ද මේ දෙකටම නොමැති සාමාන්‍ය ගැහැනියක, වියපත් මැහැල්ලක එසේත් නොමැති නම් නපුරු නැන්දම්මා කෙනකු ලෙස මොහොතින් වෙනස් වී අදාළ චරිතයට අනුගත වන්නට ඇයට ගත වන්නේ නිමේෂයකි. එනිසාම ඇය අපට කලා ලොවේ හමුවන අපූර්වතම රංගන ශිල්පිනියකි. හයසින්ත් විජේරත්ත නම් වු මේ සොඳුරු කලාකාරිය සමඟ කලකට පසුව
කතාබහ කරන්නට අපට අවස්ථාව උදා විය.

මේ දිනවල ඔබගේ නවතම කලා කටයුතු මොනවාද?

ටෙලි නාට්‍ය කිහිපයකටම රංගනයෙන් දායක වුණා. එයින් කිහිපයක්ම මේ දිනවල විකාශනය වෙනවා.

මොනවාද ඒ?

උරුමයක අරගල , සෙනුරි, ඉලන්දාරි හැන්දෑව ටෙලිනාට්‍ය.

උරුමයක අරගල ටෙලි නාට්‍යයේ මම රඟපාන්නේ කුමාරිහාමි චරිතයක්. එකම දරුවා පුරන්අප්පුත් එක්ක හාද වෙලා ඇයව ආරක්ෂා කරගන්නට වෙරදරන මවකගේ චරිතයක් එය. සෙනුරි ටෙලි නාට්‍යය වගේම ඉලන්දාරි හැන්දෑවත් මේ දිනවල ප්‍රේක්ෂකයන් අතර ජනප්‍රියයි.

ඔබ හැමදාමත් එකම චරිතයකට කොටුවෙලා ද?

හුඟක් වෙලාවට මට ලැබෙන්නේ වලව්වේ කුමාරිහාමිගෙ චරිතය රඟපාන්න තමයි. සැරපරුෂ කුමාරිහාමිලා වගේම කරුණාවන්ත කුමාරිහාමිලාගේ චරිතත් අනන්තවත් මම රඟපාලා ඇති. හැමදාමත් ඒ වගේ චරිතවලට ආරාධනා එන නිසාම සමහර වෙලාවට මම අධ්‍යක්ෂවරුන්ට කියලා වෙනත් චරිතත් ඉල්ලගෙන රඟපාපු අවස්ථා තිබුණා. දුප්පත් අහිංසක වෙනස් චරිත රඟපාන්න ආසයි. එත් එහෙම චරිතයකට මට කතා කරන්නේම නැහැ.

ඒ ඔබේ රූපය නිසා වෙන්න ඇති?

අනේ මන්දා. මට තේරෙන්නේ නැහැ. මොකක්දෝ හේතුවක් නිසා වෙන්න ඇති. ස්ක්‍රිප්ට් එක දීලා කියන්නේ අක්කා ගැලපෙන්නේ මේ චරිතෙටයි කියලා. මමත් ඉතින් තෝරන්න බේරන්න යන්නේ නැහැ. මට හැකි උපරිමයෙන්ම ඒ චරිතයට සාධාරණය ඉටු කරනවා.

ඔබ චරිතයක් බාර ගන්න පෙර සැලකිළිමත් වන කරුණු මොනවාද?

කිහිපයක්ම තියෙනවා. ඒ අතරින් චරිතයට අදාළ ඇඳුම් පැළැදුම් ගැන හුඟක් සැලකිළිමත් වෙනවා. ඔසරිය, සාරිය , ගවුම තමයි මගේ වැඩි කැමැත්තත් තියෙන ඇදුම් . හැමවිටම ඇඟ වැහෙන ඇදුම් තමයි අදින්නේ. එහෙන් පළපුව මෙහෙන් පළපුව මම රඟපාන කිසිම චරිතයකට අදින්නෙ නැහැ.

ඔබේ රැව ගැනත් ඔබ හුඟක් සැලකිලිමත් වෙනවා ඇති?‍‍‍

ඔයා විශ්වාස කරන්න පුතේ, මම පේෂල් එකක්වත් කරන්නේ නැහැ. පුංචි කාලෙ ඉඳලා පිරිසුදුව හිටියා විනා මගේ මූණට, හමට මම කිසිම විටෙක රූපලාවණ්‍ය සත්කාර කළේ නැහැ. වෙඩින් එකකට වුනත් යන විට සැලෝන් එකකට යන්නෙ නැහැ. කොණ්ඩය බැඳලා මලක් ගහලා මමම හැඩවෙලා යනවා. මම හිතන්නේ දෙවියන් වහන්සේ තමයි මේ රුව මට දී තිබෙන්නේ. ඒ වගේම හිත හොඳ වෙන්න ඕන. හිත සතුටින් නම් අපේ ඇඟත් සතුටින් තමයි ඉතින්.

රංගනයේ දී ඔබට ලැබෙන නපුරු චරිත ගැන කතා කළොත්?

මම බට්ටී ටෙලි නාට්‍යයේ රඟපාත් දී මම හිතන්නේ තුන්දෙනෙකුට විතරයි ගැහුවෙ නැත්තේ. අනෙක් හැමෝම මගෙන් ගුටි කාළා තිබෙනවා. මම රඟපාපු සමහර චරිත තිබෙනවා මටම හිතා ගන්න බැහැ ඒ තරමට කොහොමද මම නපුරු වුණේ කියලා.

සැබෑ ජීවිතයේදී ඔබ මොන වගේ චරිතයක්ද?

හාත්පසින්ම මම රඟපාන චරිතවලට වඩා වෙනස් චරිතයක්. මම කිසිම විටෙක නපුරු නැන්දම්මා කෙනෙක් නෙවෙයි. මට ඉන්නේ එක පුතයි. ඔහු ජීවත් වෙන්නේ එංගලන්තයේ.මගේ එකම ලේලි මට යාළුවෙක් වගෙයි. ඒ වගේම මගේ අක්කට දියණියන්ම හය දෙනෙක් ඉන්නේ. ඒ අය ජීවත් වෙන්නේ එංගලන්තයේ. ඔවුන් ලංකාවට ආවම ඒ අයට මං නැතුව බැහැ. ඒ තරමට මට ආදරෙයි. මමත් එහෙමයි.

ඔබට ලැබෙන ප්‍රතිචාර කොහොමද?

එදා ඉඳන්ම අද දක්වා ලැබෙන ප්‍රතිචාර ඉහළයි. මොන තරම් නපුරු චරිත රඟපෑවත් ප්‍රේකෂක ආදරය නොඅඩුවම ලැබෙනවා. ඒ ආදරේ විඳීමන් දෙයියනේ කියලා ඒ ආදරේ එක්ක ජීවත් වෙනවා.

රංගන දිවයේ මෙන්ම සැබෑ දිවියෙත් ඔබට අමතක නොවන අත්දැකීම් කොතෙකුත් ඇති.?

සෑහෙන ප්‍රමාණයක් තිබෙනවා. එයින් සැබෑ ජීවිතයේ දී මම මුහුණ දුන්නු එක් අත්දැකීමක් තියෙනවා. එය මිය යනතුරුම අමතක නොවන අත් දැකීමක්. ඒ වෙන කොට මට අවුරුදු 15ක් 16ක් විතර ඇති. අපේ පවුලේ සියලු දෙනාම කලාඔය ප්‍රදේශයේ විනෝද චාරිකාවක් ගියා. කලා ඔයෙන් නාන්න ගිහින් ගිලුණා. මමයි අක්කයි, නංගියි,මල්ලිලයි. නිලුකා ඒ අනතුරින් මගේ නංගී ජීවිතයෙන් සමුගත්තා. මට අසාධ්‍ය වුණා. ඒ සිදුවීම දවසකට වතාවක්වත් මට මතක් වෙනවා.

ඔබ රංගන ශිල්පිනියක් වීම ගැන මොකද හිතෙන්නේ?

මම අකමැතිම වෘත්තියේ තමයි දැන් මම නියැලෙන්නේ. මගේ ජීවිතේ අකමැතිම වුණු දෙයක් තමයි රංගනයට පිවිසීම. මගේ අක්කට තමයි කුඩා කල සිටම නළුනිළි ආසාව තිබුණේ. විවාහ වුණාට පස්සේ තමයි මම නිළියක් වුණේ. මොකද මගේ මහත්තයා අයිවන්ගේ මමීට තමයි මම රඟපානවා දකින්න ආසාවක් ඇති වුණේ. ඇගේ ඒ ආසාව ඉෂ්ට කරන්නට තමයි මම රඟපාන්න කලාවට එක්කාසු වුණේ.

ඔබේ නැන්දම්මා මොන වගේ කෙනෙක්ද?

ඇය මගේ අම්මාටත් වැඩිය මට ආදරේ කළා. මමීට චිත්‍රපට පිස්සුවක් තිබුණා. ඇයට වුවමනා වුණා මාව නිළියක් කරන්න. මොකද මමීගෙ පැත්තෙන් චිත්‍රපට කරලා තියෙනවා. ඉතින් එයට මමත් යොමු වුණා.

ඔබේ මතු බලාපොරොත්තු මොනවාද?

මගේ පුතයි, ලේලියි, එයාලගේ දරුවො දෙන්නයි එක්ක සතුටින් ජීවත් වෙලා සමාජයට යහපත් දෙයක් කරන එකයි මගේ බලාපොරොත්තුව.

සටහන - තුෂාරි නේරංජා වික්‍රමසිංහ

සේයාරූ - නිශ්ශංක විජේරත්න