අහම්බයෙන් හමුවණ මේනකාව කසාද බැන්ද විදිහ රනිල් කියයි

තාරුණ්‍යය හා ජනප්‍රියත්වය බැදුනම බොහෝ දෙනාගේ නෙත් ඔහු හෝ ඇය දෙසට යොමුවෙනවා. රනිල් කුලසිංහ කියන්නෙත් තාරුණ්‍යයේ පසුවන ජනප්‍රිය චරිතයක්. ඔහුගේ හදඇදි පෙම් කතාව ආදර හැන්දෑවට පාවී ආවේ තවත් ජනප්‍රිය කෙනෙකුගේ නමත් සමගයි.

පාසල් වියේ රනිල්ගේ ජීවිතය කලාව හා ආදරය ඇසුරු කළේ කොහොමද ?

මම ඉගෙනගත්තේ ගම්පහ මහා විද්‍යාලයේ. ඉස්කෝලේදී නම් කලාවද ක්‍රීඩාවද ඔය හැම දෙයක්ම කළා. ඒ කාලේ ඔය හේතුව නිසාම මම ඉස්කෝලේ කැපිලා පෙනුන ශිෂ්‍යයෙක්. පාසල් වියේ ආදර කතාව ගැන නම් කියන්න තියෙන්නෙ ලොකුවට කියන්න තරම් දෙයක් තිබුණේ නැහැ කියන එකයි. අපේ තාත්තා නර්තන ගුරුවරයෙක්. මගේ ලොකු අයියා ටෙලිනාට්‍ය අධ්‍යක්ෂවරයෙක්. මටත් ආසාවක් ඇතිවුණා කලාවට එන්න. ඒ දේ ගෙදර අයට කිව්වහම එයාල මාව කලාව පැත්තෙන් ඉගෙන ගන්න යොමුකළා. මගේ වුවමනාව තිබුණේ නළුවෙක්වීමට වඩා අධ්‍යක්ෂණය පැත්තට යොමු වෙන්නයි. කොහොම වුණත් මාව රංගනයට යොමුවෙන්නේ. ඉක්මණින්ම ජනප්‍රියත්වයත් ලැබෙනවා. හැබැයි කලා ලෝකයේ මට ප්‍රේමයක් තිබුණේ නැහැ.

ජනප්‍රිය තරුණයෙකු වන රනිල්ගේ හිතේ අනාගත සහකාරිය ගැන චිත්‍රයක් හෝ නොතිබුණාද ?

අපේ පවුලේ සහෝදර සහෝදරියෝ හත් දෙනෙක්. ඒ හැමෝම විවාහ වෙලා ගෙදරින් පිටවෙලා යනවත් එක්කම වගේ තාත්තා 2012 අවුරුද්දේ අපෙන් වියෝවෙනවා. ඊට පස්සේ මගේ මුළු ලෝකයම වුණේ මගේ අම්මා. ඒ කාලේ විවාහයක් ගැන හිතුවා නම් මම හිතුවේ මගේ අම්මව බලාගෙන සරළ විදිහට ජීවත් වෙන්න පුළුවන් කෙනෙක් ලැබෙනවා නම් හොදයි කියලයි. පසුකලෙක මම ඒ හිතුව ගතිගුණ බොහෝමයක් මේනකා ළග මා දුටුවා.

රනිල්ට මේනකා පීරිස්ව මුණගැහෙන්නෙ ටෙලි නාට්‍යයක් රගපාන්න ගිය ගමනකදී ?

නැහැ. මේනකයි මමයි මේ වෙනතුරු ටෙලි නාට්‍යයක එකට රගපාලා නැහැ එක සෙට් එකක වැඩ කළෙත් අපේ විවාහයෙනුත් පස්සේ මම අධ්‍යක්ෂණය කල පූරි ටෙලි නාට්‍යයේ වැඩ කරන කාලයේ විතරයි. මේනකාව හදුනගන්න ලැබෙන්නේ අහම්බෙන්. එක දවසක මම මගේ යාළුවෙකුට දුරකථන ඇමතුමක් දුන්නා. ඒ කාලේ මම රඟපෑ ටෙලි නාට්‍ය ජනප්‍රිය වෙලා මා ගැනත් කතාබහ තිබුණා. එතැන හිටිය අය මාව අගය කරලා මට සුබ පැතුවා. මේනකත් මට සුබ පැතුවා. ඊට පස්සේ මම ඒ මිතුරා හමුවෙන්න ගිය දවසකදීත් මේනකාව මට හමුවුණා. පස්සේ දවසක යාළුවෙකුගේ වුවමනාවකට ගිය තැනකදී අපි පන්සලකදීත් මුණ ගැහුණා. ඔය විදිහට අපි යාළුවෝ වුණා.

රනිලූත් මේනකත් ඉක්මණින්ම පෙම්වතුන් වෙන්න තීරණය කරනවාද ?

ඒ කාලේ වෙද්දි මට ගෙදරින් බලකරමින් හිටියේ විවාහයක් ගැන හිතන්න කියලා. මේනකත් ජිවිතේ අසුබ අත්දැකීමකින් පස්සේ නිවැරදි කෙනක් ජිවිතයට ළංකරගෙන විවාහ දිවියක් ගත කරන්න ඕනෑ කියන අදහසක හිටියා. අපිට නොදැනීම අපි ළංවුණා. අපි දෙන්නාගේ අදහස් ගැළපුණා. දෙමව්පියන්ගෙනුත් අකමැත්තක් ආවේ නැහැ. අපි දැන හදුනාගෙන අවුරුද්දක් විතර වෙද්දි විවාහ වෙන්න තීරණය කළා.

ජනප්‍රිය තරුණියකට බැදි පෙම සරල එකක් නෙවෙයි ද ?

මගේ ජනප්‍රියකම අපේ නළුකම හෝ එයාගේ ජනප්‍රියකම එයාගේ නිළිකම පෙරටු කරගෙන අපි අපේ පෞද්ගලික ජීවිතයේ කිසිදෙයක් කතාබහ කළේ නැහැ. මම මහ පොළවේ පයගහලා ජීවත්වෙන කෙනෙක්. ඒ බව මම එයාට පහදලා දුන්නා. මගේ ඒ හැඟීමට එයත් කැමැති වුණා. අපේ කලාවයි පෞද්ගලික දිවියයි අදටත් අපි එකට සම්බන්ධ කරගෙන නැහැ.

කාර්යබහුලත්වය ආදරයට බලපෑමක් නොකරනවද ?

එයත් එක්ක ජීවත්වීමේ ලොකුම පහසුකම ඒකමයි. මගේ කාර්යබහුලත්වය එක්කම එයාගේ කාර්යබහුලත්වයත් එක්ක එයා ලෙහෙසි පහසු දෙයක් නෙවෙයි කරන්නේ. මගේ වැඩ හැම එකක්ම එයාගේ අතින් කරන්නයි එයා කැමැති. අපි දෙන්නගේම අම්මලා දෙන්න අපි එක්ක ජීවත් වෙන්නේ. නමුත් මගේ කෑම ටික හදන එක ඇදුම් ලෑස්ති කරලා දෙන එක වගේ හැම දෙයක්ම කරන්නේ මේනකා. ඇය කියන්නේ අපි විවාහ වුනාට පස්සේ අපේ වැඩ කාටවත් භාරදෙන්න හොද නැහැ කියන තැනයි හිටියේ. අපි දෙන්න ළග තියෙන බැදීම එයාගේ ඒ ගතිගුණ නිසා වැඩි වෙනවා.

ඔබේ ලෝකයේ පෙම්වතිය වන මේනකා හා තිරයේ පෙම්වතිය වන මේනකා අතර වෙනස ?

මේනකා හරිම සංවේදි. පුංචි දේකටත් ඇස්වල කදුළක් එන කෙනෙක්. එයාට ලොකු ආත්ම ධෛර්යක් තියෙනවා. තරුණයෙක් විදිහට මගේ ජීවිතයේ යම් යම් අපිළිවෙල තැන් තියෙනවානේ. එයා ඒ හැම දෙයක්ම කළමනාකරණය කරනවා. උදාහරණයක් විදිහට ගත්තොත් මගේ තාත්තාගේ වියෝවෙන් පස්සේ අවුරුද්දක් පාසා දානමය පිංකමක් පවත්වනවා. එයා සියුම්ව ඒ හැම වැඩක්ම සංවිධානය කරනවා. මගේ සල්ලි එයා අරපරිස්සම් කරලා ඒ දේවල් පිළියෙළ කරනවා.

මේ පෙම් කතාවේ ආදර සැමරුම්වලට තියෙන ඉඩකඩ කොතරම්ද ?

අපි දෙන්නා මුණගැහුණේ අට වැනිදාවක. එදාට නොවරදවාම පුංචිම පුංචි මතක සටහනක් අපි දෙන්නා හුවමාරු කරගන්නවා. අපි හමුවුණදා ඉදන් මේ දක්වා අපි දෙන්නා අතර ඒ පුරුද්ද තියෙනවා. එයා මම තෑග්ගක් හෝ මොනයම් දෙයක් දුන්නත් ඒ දවටනය පවා එකතු කරනවා. ඒ විතරක් නෙමෙයි එයා හැම දෙයක්ම එයාගේ දිනපොතේ ලියනවා.

ධම්මිකා සුරංජි පතිරණ