gossip lanka

ජනපති සමාව ලබාදී ගලගොඩඅත්තේ ඥානසාර හිමි ජනපතිවරණයට ඉදිරිපත් කිරීමේ සූදානමක් !

දැනට වසර හයක සිර දඬුවමකට ලක්ව සිටින බොදු බල සේනා සංවිධානයේ මහ ලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට ඉදිරියේදී ජනාධිපති සමාව ලැබුණොත් උන්වහන්සේ ඉදිරි ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත් කිරීම සම්බන්ධයෙන් ආණ්ඩුවේ ප්‍රබල කැබිනට් අමාත්‍යවරුන් දෙදෙනකු සැලසුමක් සකස් කරමින් සිටින බව අභ්‍යන්තර දේශපාලන ආරංචි මාර්ගවලින් වාර්තා වේ.
මීළඟ ජනාධිපතිවරණය පැවැත්වීමට දින නියම කිරීමට ආසන්න කාලයේදී ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට ජනාධිපති සමාව ලබාදෙන ලෙසට ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා වෙත ඉල්ලීමක් කිරීම මෙහිදී මූලික සැලැස්ම වේ. ඉන්පසුව ඥානසාර හිමි ජනාධිපතිවරණයට ඉදිරිපත් කිරීම හෝ විකල්ප ජනාධිපති අපේක්ෂකයකු ගැන බොදුබල සේනා සංවිධානය මඟින් රට තුළ යම් මතවාදයක් ගොඩනැඟීම එහි දෙවැනි සැලැසුම බව එම දේශපාලන ආරංචි මාර්ගවලින් වාර්තා වේ.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ආශීර්වාදය හිමිකර ගන්නා ජනාධිපති අපේක්ෂකයාට ලැබෙන සිංහල බෞද්ධ ඡන්දවලින් කොටසක් කැඩීම මෙහි අවසන් සැලසුම බවද වාර්තා වේ.
කෙසේ නමුත් කැබිනට් අමාත්‍යවරුන් දෙදෙනාගේ මෙම සැලසුම සඳහා පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් මේ දක්වා එකඟත්වයක් පළ කොට නොමැති බවද එම දේශපාලන ආරංචි මාර්ගවලින් වැඩිදුරටත් වාර්තා වේ.

සිරදඬුවමක් ලැබූ පුරවැසියකුට ජනාධිපති සමාව ලැබුණු පසුව ඡන්ද අපේක්ෂකයකු ලෙස ඉදිරිපත්වීම සම්බන්ධයෙන් පවතින නීතිමය තත්ත්වය පිළිබඳව කොළඹ විශ්වවිද්‍යාලයේ නීති පීඨයේ ජේ‍යෂ්ඨ කථිකාචාර්ය නීතිඥ ආචාර්ය ප්‍රතිභා මහානාමහේවා මහතාගෙන් ඉරිදා "මව්බිම" විමසීමක් කළේය.

සිරදඬුවමකට ලක්වූ ඕනෑම පුරවැසියකුට ජනාධිපති සමාව හිමිවුවහොත් ඡන්ද අපේක්ෂකත්වය හිමිවන බව ආචාර්ය ප්‍රතිභා මහානාමහේවා මහතා පෙන්වා දුන්නේය.

වසර 20 සිරදඬුවමකට ලක්වූ ජනතා විමුක්ති පෙරමුණේ නායක රෝහණ විජේවීර මහතාට 1979දී ජනාධිපති ජේ.ආර්. ජයවර්ධන මහතා ජනාධිපති සමාව ලබා දීමෙන් අනතුරුව රෝහණ විජේවීර මහතා 1982 ජනාධිපතිවරණයට තරග කළ බව ආචාර්ය ප්‍රතිභා මහානාමහේවා මහතා පෙන්වා දුන්නේය.

එස්.බී. දිසානායත හා සරත් ෆොන්සේකා යන මහත්වරුන් සිරගත වූ පසුව ජනාධිපති සමාව ලැබීමෙන් පසුව පාර්ලිමේන්තු මහ මැතිවරණයට තරග කළ බවද ආචාර්ය ප්‍රතිභා මහානාමහේවා මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

මව්බිම
gossip lanka