gossip lanka

ෆේස්බුක් එකෙන් තෑගි දීලා තරුණියන් රැවටූ පුද්ගලයෙකුට වැඩ වැරදුණු හැටි

ෆේස්බුක්හි දිනුම් ඇදීමකින් ත්‍යාගලාභියකු බවට පත්ව ඇති බව පවසමින් ධනවත් තරුණියන් රවටා මුදල් වංචාකළ පුද්ගලයකු ඊයේ (24) වවුනියාව නගරයේදී අත්අඩංගුවටගත් බව වවුනියාව පොලිසිය පවසනවා.

එසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ මන්නාරම, නානාට්ටාන් ප්‍රදේශයේ පදිංචිව සිටි 26 හැවිරිදි තරුණයෙක්.

දිනුම් අවස්ථා හිමිවූ බවට ව්‍යාජ ෆේස්බුක් ගිණුමක් ඔස්සේ වවුනියාව ප්‍රදේශයේ තරුණියකගෙන්
රුපියල් ලක්ෂ පහ හමාරක මුදලක් වංචා කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් වවුනියාව නොවිසඳුණු අපරාධ විමර්ශන ඒකකය වෙත ලැබුණ පැමිණිල්ලකට අනුව සිදුකළ විමර්ශනයකදීයි සැකකරු අත්අඩංගුවට පත්ව ඇත්තේ.

සැකකරු විසින් උතුරු පළාතේ සිටින ද්‍රවිඩ තරුණියන් ඉලක්කකර ගනිමින් දිනුම් ඇදීමකින් ජයග්‍රහිකාවක් වී ඇති බවට සඳහන් කරමින් ෆේස්බුක් ආයතනයේ ගිණුමකට සමාන ෆේස්බුක් ගිණුමකින් පණිවිඩ එවමින් අදාළ තරුණියන් රවටා ඇති බවයි වාර්තා වන්නේ.

දිනුම් ඇදීමෙන් ලැබුණ ත්‍යාගය කොළඹ වරායේ සිට නිදහස් කිරීම සඳහා රේගු ගාස්තු හා බදුමුදල් ගෙවීම සඳහා රුපියල් ලක්ෂ පහහමාරක මුදලක් සැකකරු ඉල්ලා ඇති අතර තරුණියකට ලබාදුන් පෞද්ගලික ගිණුම් අංකයකට එම මුදල් තැන්පත් කරන ලෙසද සැකකරු දැනුම්දී ඇති බවයි පොලිසිය පවසන්නේ.

සැකකරු මෙසේ තරුණියන් කිහිපදෙනකුට වංචා සිදුකර ඇති බවද වවුනියාව පොලිසිය පවසනවා.

සැකකරු වවුනියාව මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

gossip lanka