"බීමතින් සිටි තාත්තා අලවංගුවෙන් අම්මාගේ පපුවට ඇන්නා“ - බිරිඳ ගැන සැක කෙරූ සැමියා දිස්නා ඝාතනය කළ හැටි දියණිය හෙළිකරයි - Photos

ඉකුත් 14 වන දා අළුයම මාතර මහ රෝහලේ පොලිසියෙන් දික්වැල්ල පොලිසියේ අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපතිවරයාට ලැබුණ ඇමතුමකින් කියවුණේ දික්වැල්ල උඳුගොඩ ප්‍රදේශයේ පදිංචි කාන්තාවක් මාරාන්තික තුවාල ලබා රෝහලට ඇතුළත් කළ පසු මියගොස් ඇති බවයි.

මෙම අපරාධය සිදුවී ඇති බව වාර්තා වුණේ පාතේගම, කටුගහේ වත්ත, කෝට්ටේගොඩ යන ලිපිනයේ පදිංචිව සිටි කාන්තාවකටයි.

සිද්ධිය සම්බන්ධයෙන් දැනගත් වහාම එම ස්ථානයට
විමර්ශන නිලධාරින් පිටත්කර හැරීමට යැවුණු අතර තුවාල ලබා තිබූ කාන්තාව රෝහලට රැගෙන ගොස් තිබුණේ සුවසැරිය ගිලන් රථයකිනි.

සිද්ධියෙන් මියගොස් තිබුණේ 39 හැවිරිදි දිස්නා ප්‍රියදර්ශනී නැමති පස්දරු මවකි.

ඇය නින්දේ පසුවන අතරතුරයි එසේ අමානුෂික පහරකෑමකට ලක්වී තිබුණේ. ඇගේ සැමියා ධීවර කාර්මිකයෙකු වූ අතර සිද්ධියෙන් පසු ඔහු ප්‍රදේශයෙන් අතුරුදන්ව සිටි නිසා දිස්නාගේ මරණයේ සැකට ඔහු වෙත එල්ල විය. සුමිත් නම් වූ ඔහු දිස්නා සමඟ ඇරඹූ යුග දිවිය තුළ දරුවන් පස් දෙනෙක් ලබා ඇති අතර සුමිත් මතට ඇබ්බැහි වීම සහ දිස්නා පිළිබඳ ඇතිවූ සැක සංකා නිසා යුග දිවිය කණකොකා හඬන්නට පටන්ගෙන තිබුණි.

දිස්නාගේ පශ්චාත් මරණ පරීක්ෂණයෙන් හෙළිවී ඇත්තේ බර උල් ආයුධයකින් අඟල් 9 ක් පමණ ගැඹුරට ඇතිවූ තුවාලය හේතුවෙන් දිස්නා මරණයට පත්ව ඇති බවයි.

සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන සිදුවෙමින් පවතින අතරතුර ගන්දර පොලිසියේ නිලධාරින් පිරිසක් රාත්‍රියේ මුර සංචාරයක යෙදෙමින් සිටියදී මහ මඟ ගමන්ගත් පුද්ගලයෙකු පිළිබඳ සැකසිතී ඔහුගෙන් ප්‍රශ්න කිරීමේදී ඔහු නොසන්සුන් ලෙස හැසිරී ඇති අතර ඔහුව පොලිසියට රැගෙන ගොස් ප්‍රශ්න කිරීමේදී දිස්නාගේ මරණය පිළිබඳ වැඩිදුර තොරතුරු හෙළිවී තිබේ.

සිද්ධිය වූ දිනයේ දිස්නාගේ දියණියකගේ දරුවෙකුට නැකතට බත් කැවීමේ උත්සවයක් යෙදී තිබී ඇති අතර දිස්නා හා සැමියා ද ඊට එක්වී තිබෙනවා. සාදය අවසන්ව දිස්නා හා සැමියා ඔවුන්ගේ නිවසට පැමිණ ඇති අතර දරුවන් ඇඳ මත නිදද්දී සුමිත් හා දිස්නා බිම එළූ පැදුරක් මත නිදාගෙන තිබේ.

ඇය නින්දේ පසුවෙමින් සිටින විට ඇගේ ලැම පෙදෙසට අලවංගුවකින් ඇන ඇය ඝාතනය කර ඇති බවයි විමර්ශනවලදී හෙළිවී ඇත්තේ.

“තාත්තා අලවංගුවක් අරන් ඇවිත් අම්මාට ඇන්නා“ යනුවෙන් මේ පිළිබඳ දිස්නාගේ දියණිය පොලිසියට පවසා තිබුණි.

සැකකරු මාතර වැඩබලන මහේස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කිරීමෙන් පසු රක්ෂිත බන්ධනාගාර ගත කර ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන පැවැත්වේ.

gossip lanka