'කෝටිපතියෝ' ටෙලි නාට්‍යයට සමහරක් විට මම රඟපායි

මේ දිනවල විකාශය වන ටෙලි නාට්‍යය කිහිපයකම දකින දිනිති වල්ගමගේ වඩාත් ප්‍රේක්ෂකයන් අතරේ ජනප්‍රිය වූයේ ස්වර්ණවාහිනියේ විකාශය වූ ‘හාර කෝටිය’ ටෙලි නාට්‍යයේ ‘අභිෂේකා’ ලෙසය. දැනට ටෙලි නාට්‍යය හා සිනමා නිර්මාණ කිහිපයකටම දායක වී සිටිනඇය ඒ පිළිබඳව  අපිට මෙසේ තොරතුරු පැවසුවේය.

නිළියක් විදිහට කාර්යබහුල කෙනෙක් ඔබ?

ඔව්, නිර්මාණ කිහිපයකම රූපගත කිරිම් කටයුතුවලට සහභාගි වෙනවා මේ දිනවල. ඊට අමතරව තවත් වැඩ කිහිපයක් ඉදිරියේදී ආරම්භ වෙන්න නියමිත වෙලා තියෙනවා. දැනට මම ‘ශ්‍රී
ලංකන්’ ගුවන් සේවා සමාගමේ ගුවන් සේවිකාවක් විදිහටත් කටයුතු කරමින් ඉන්න නිසා ගොඩක් වෙලාවට මට තියෙන්නේ අඩු නිදහසක්.

භාරගත්ත වැඩ ගැන කතා කළොත්?

ස්වර්ණවාහිනියේ විකාශය වෙන ‘සිල්ලර සමනල්ලු’ ටෙලි නාට්‍යයේ රූපගත කිරීම් සිදුවෙනවා මේ දිනවල. ඊට අමතරව තිළිණ බොරලැස්සගේ අලුත් ටෙලියක වැඩ පටන් ගත්තා. චිත්‍රපට දෙකකට සම්බන්ධ වෙන්න ආරාධනා ලැබිලා තියෙනවා.

නිර්මාණවලට නම් ගොඩක් කතා කරනවා. නමුත්, මම ගෙවන කාර්යබහුලත්වයත් එක්ක ගොඩක් නිර්මාණ මට මග හැරෙනවා. චිත්‍රපට වුණත් කිහිපයකටම කතා කළා. ඒත්, මට හොඳයි කියලා ගැළපෙන දෙකක් විතරයි මම භාර ගත්තෙත්.

‘හාරකෝටිය’ ටෙලි නාට්‍යයේ ‘අභිෂේකා’ විදිහට අද ඔබ ජනප්‍රිය වෙලා තියෙනවා?

ඔව්, ඒ ගැන නම් ගොඩක් සතුටුයි. කරපු පළමු නිර්මාණය හරහාම මෙවැනි විශාල ජනප්‍රියත්වයක් ලැබීම රංගන ශිල්පිනියකට ලැබෙන ලොකුම වාසනාවක් කියලා මම හිතන්නේ. පසුගියදා පැවති ‘සුමති’ ටෙලි සමාම්න උළලේදී ජනප්‍රිය නිළියන් පස්දෙනා අතරට පවා මට එන්නට හැකි වුණා. මේ හැම දෙයක්ම ලැබුණේ මට ආදරය කරන හා මා වටා සිටින රසික ජනතාවගේ ප්‍රතිචාර මත. මේක අවස්ථාවක් කරගන්නවා ඒ හැම දෙනාටම ස්තුති කරන්න.

‘කෝටිපතියෝ’ ටෙලි නාට්‍යයේ ඔබ නැහැ. ඒ ඇයි?

දෙවැන්නටත් මට කතා කළා. මම එන්න තමයි හිටියේ. ඊට පස්සේ මගේ දින පිළීබඳව ප්‍රශ්නයක් වෙලා තමයි මේක පොඩ්ඩක් පස්සට දැම්මේ. අදටත් බොහෝ දෙනෙක් අහන ප්‍රශ්නය තමයි මේ ටෙලි නාට්‍යයේ ඉදිරි කොටස්වලදී හෝ මාව දැකගන්න පුළුවන්ද කියලා. බලමු ඉදිරියේදී . සමහර විට මම ‘කෝටිපතියේ’ ටෙලි නාට්‍යයට එන්නත් පුළුවන්.

රැකියාව නිසා කලා කටයුතු මගහැරෙන අවස්ථාත් ඇති?

ඔව්, ගොඩක් වෙලාවට ඒ දේ වෙනවා. නමුත්, මම ගොඩක් ආදරේ මගේ රැකියාවට. රඟපාන්න කලිනුත් මම මගේ රැකියාව කළා. ඉතින් මොන දේ කළත් මම මුලිකත්වය දෙන්නේ මගේ රැකියාවට. අනික මේක බොහෝ වටිනා රැකියාවක්. ඒ වගේම ‘ශ්‍රී ලංකන්’ ආයතනයෙන් ගොඩක් වෙලාවට උදව් කරනවා මගේ කලා කටයුතුවලට. කල් දමන්න බැරි රූපගත කිරීම් එහෙම තියෙනවා නම් ඒ අය මා රැකියාව කල යුතු දින එහෙම වෙනස් කරලා දෙනවා.

ගුවන් සේවිකාවක් විදිහට වැඩ කරද්දී, රසික ප්‍රතිචාර එහෙම ලැබෙනවා අඩු ඇති?

නැහැ. ගුවන් ගමන්වලදී ලංකාවෙ බොහෝ දෙනෙක් මට මුණගැහෙනවා. ඒ වගේම ගුවන් ගමන්වලදී අපිට විදෙස් රටවල ඇවිදින්න අවස්ථාවක් ලැබෙනවා. එතකොට ඒ රටවල ඉන්න ලංකාවෙ අය මුණගැහෙනවා. ‘හාර කෝටිය’ නරඹන බොහෝ දෙනෙක් ඉතින් මාව දැක්කාම කතා කරනවා. පොඩි දරුවෝ තමයි බොහෝ වෙලාවට මාව අඳුනගෙන කතා කරන්නේ. රසික ප්‍රතිචාර නම් කොහේ හිටියත් අඩු නැතිව මට ලැබෙනවා.

බුද්ධික සේනාධීර

gossip lanka