අම්මෝ... පෙම්වතියෝ කියන්නේ නම් බූට් තියන ජාතියක්

චමීර... මේ දවස්වල වෙස් පෙරළන් වගේ... මොකක්ද මේ කතාව...?

ඔව්... වෙස් කියන්නේ මගේ ජීවිතේ පෙරළියක් ඇති කරපු නාට්‍යයක්... ඇත්තටම මගේ ජීවිතේ වෙස් පෙරළුණා. ඒක ගොඩාක් ලස්සන නාට්‍යයක්. මේ සම්බන්ධව ධනුෂ්ක රත්නායක අයියාට විශේෂයෙන්ම ස්තූති කරන්නම ඕනේ. ධනුෂ්ක අයියා කියන්නේ පට්ට කොල්ලෙක්. අපිට වඩා පොඩ්ඩක් වැඩිමහල් අයියා කෙනෙක්. ඉතින්... එයා එක්ක
ගනුදෙනු කරන්න අපිට හරිම ලේසියි. නළුවෙක් විදිහට අපි ටේක් එකකට ගිහින් ඒක හිතට හරි නැත්නම් අපි ධනුෂ්ක අයියා ළඟට ගිහින් “අයියේ ආයේ එකක් ගමුද...” කියලා අහද්දී වුණත් කිසිම ප්‍රශ්නයක් අහන්නේ නැතිව ධනුෂ්ක අයියා අපිට අවස්ථාව ලබලා දෙනවා. ධනුෂ්ක අයියගේ ඉඳන් වෙස් මුළු ටීම් එකම මාරම මාරයි.

“වෙස්” පෙරළනවට අමතරව චමීර මේ දවස්වල මොනවද කරන්නේ...?

“වෙස්” නාට්‍යය අමතරව තව එක නාට්‍යයක් ෂූටිං පටන් ගත්තා. ඒකේ තාම නමක් දාලා නැහැ. ඒකත් ලස්සන නාට්‍යයක්. අධ්‍යක්ෂණය කරන්නේ තුෂාර තෙන්නකෝන් අයියා. ඒකත් මිනිස්සු සතුටින් බාරගනිවී කියලා හිතනවා.

චමීරගේ කලා ජීවිතේ ආරම්භය ගැන පොඩ්ඩක් මතක් කරමුද...?

ඔව්... මම O/L කරලා ගෙදර ඉද්දී “තරුමංසල” කියලා වැඩසටහනක් තිබුණා. මම ඉගෙනගත්තේ වෙස්ලි විද්‍යාලයේ. ඔය කාලේදී මට ටිකක් රඟපාන්න උණක් ඇතිවුණා. තරුමංසලේදී මම හොඳම නිරෑපණ ශිල්පියා වුණා. හොඳම රංගන ශිල්පියා වුණා. ඊට පස්සේ මම A/L විභාගය කරලා ඒකත් සමත් වුණා. හැබැයි මොනදේ ලැබුණත් රඟපාන්න තියෙන උණ මගේ හිතෙන් අයින් වුණේ නැහැ. ඒ නිසා පොඩි පොඩි චරිත කිහිපයක් රඟපාන්න මට අවස්ථාව උදා වුණා.

චමීරගේ පවුලේ කවුරුවත් කලාවට සම්බන්ධ නැහැ නේද...?

නැහැ... අපේ කවුරුවත් කලාවට සම්බන්ධ නැහැ. මගේ තාත්තා ව්‍යාපාරිකයෙක්. ඉතින් මට තාම මතකයි කලාවට තිබුණු ආසාව නිසාම මම පොඩි පොඩි දේවල් සොයාගෙන ගියා. ඇති තරම් ඇවිද්දා. එහෙම ඇවිද්දපු කිලෝමීටර් ගණන හිතාගන්නවත් බැහැ. මුලින්ම අමතර නළුවෙක් විදිහට තමයි වැඩ කළා. එහෙම ඉඳලා ලැබෙන්නේ ඉතාම පොඩි චාන්ස් එකක් විතරයි. හැබැයි ඒ ලැබෙන හැම චාන්ස් එකක්ම මම උපරිමයෙන්ම කළා. ඒ ලැබෙන හැම නිර්මාණයකින්ම මම අත්දැකීමක් ලබාගත්තා. අලුත් දෙයක් ඉගෙන ගත්තා. ප්‍රවීණයන් රඟපාන දිහා බලගෙන ඉඳලා ඉගෙන ගත්තා. සමහරදාට පැය ගණන් ලොකේෂන්වල බලාගෙන හිටියට හිතට දැනෙන චරිතයක් කරන්න ලැබුණේ නැති දවස් අනන්තවත් තිබුණා. හැබැයි අධෛර්යමත් වුණේ නැහැ. මේ කලා ක්ෂේත්‍රය කියන්නේ හැකියාවයි, වාසනාවයි දෙකම තිබෙන තැනක්.

හිතට දැනෙන චරිතයක් චමීරට ලැබුණේ මොන නිර්මාණයෙන්ද...?

මම හිතන්නේ “වාලුකා” කියන ටෙලිනාට්‍යයෙන්. ඒකෙදී අවුරුදු හයක මනසක් තියෙන දරුවෙක්ගේ චරිතයක් කරන්න මට අවස්ථාව ලැබුණා. අවුරුදු විසි ගාණක තරුණයෙකුට අවුරුදු හයක මානසක් තියෙන දරුවෙක් වගේ රඟපාන්න ටිකක් අමාරුයි. හැබැයි ලැබුණු ප්‍රතිචාරත් එක්ක මම ඒක උපරිමයෙන් කළා කියලා මම විශ්වාස කරනවා. ඒක අධ්‍යක්ෂණය කළේ තිසුල දීපතඹවිට අයියයි. ඒකේ මම ද්විත්ව චරිතයක් රඟපෑවා.

චමීර පුංචි කාලේ හීනය වෙලා තිබුණේ කවුරු වෙන්නද...?

නළුවෙක් වෙන්නම තමයි. නළුවෙක් වෙන්න ගොඩාක් හීන දැක්කා. ඒ වෙනුවෙන් ගොඩාක් මහන්සි වුණා. මුලින්ම රඟපෑවේ “කාව්‍යා” නාට්‍යයේ. හැබැයි ඒක ගොඩාක් පොඩි චරිතයක්. ඒ දවස්වල නම් මම කැමරාවට බයයි. දැන් නම් එහෙම බයක් නැහැ. මම බොහෝ දේවල් අධ්‍යයනය කළා. ගොඩාක් ෆිල්ම් බලනවා. පොත් කියවනවා. වර්ක් ෂොප්වලට යනවා.

චමීරට චිත්‍රපටයකට දායක වෙන්න අවස්ථාව ලැබුණේ නැද්ද...?

“උල ලේනි” කියන චිත්‍රපටයට දායක වෙන්න අවස්ථාවක් ලැබුණා. රෑගත කිරීම් කරලත් ඉවරයි. ඉදිරියේදී ඒකත් දැකගන්න පුළුවන් වේවී.

පවුලේ විස්තර ටිකක් කියමුද...?

ඔව්... මගේ පවුලේ ඉන්නේ අම්මයි, තාත්තයි, අයියයි, මල්ලියි. ඒ කවුරුත් කලාවට සම්බන්ධ නැහැ. හැබැයි ගෙදරින් ලොකු සහයෝගයක් ලැබුණා. විශේෂයෙන් මගේ තාත්තාගෙන් තමයි ලොකුම සපෝට්එක තියෙන්නේ. අපේ තාත්තට කඩයක් තියෙනවා. ඉතින් කඩේට එන හැමෝටම “වෙස්” බලන්න කියලා කියනවා. දැන් ඒ හැමෝම වෙස් බලනවා.

මට අවුරුදු විස්සේදී මහේන්ද්‍ර අයියගෙන් (මහේන්ද්‍ර පෙරේරා) අවුරුද්දක් නාට්‍යය පිළිබඳ බොහෝ දේවලා ඉගෙන ගත්තා. ඊට පස්සේ අනෝජා මිස්ගේ (අනෝජා වීරසිංහ) අභින වැඩමුළු දෙකකට සහභාගී වෙලා මම බොහෝ දේවල් ඉගෙන ගත්තා. ඒ හැමදේකින්ම මට බොහෝ දෙවල් ඉගෙන ගන්න පුළුවන් වුණා. ඒ විතරක් නොවේ ස්වයං අධ්‍යයනය තුළින් ද ලොකු දැනුමක් මම ළං කරගන්නවා.

චමීර සැබෑ ජීවිතේදී මේ වෙනකොට පෙම්වතෙක්ද...?

අම්මෝ... පෙම්වතියෝ කියලා කියන්නේ නම් බූට් තියන ජාතියක්. මම පෙම්වතෙක් වෙලා හිටියා. හැබැයි දැන් නැහැ. මේ ගමන යන්න නම් හිත අවුල් කරගෙන යන්න බැහැ. ආදරයට, විශ්වාසය, තේරුම් ගැනීම වගේම අවංකකමත් තියෙන්න ඕනේ. අවිශ්වාස කරන චරිතයක් එක්ක මේ ගමන යන්න බැහැ. ඉතින් අද මම ප්‍රේමවන්තයෙක් නෙමේ. මම තාම මේ ක්ෂේත්‍රයට අලුත්... හොඳ ගමනක් යන්න ආසයි. සිනමාවට සම්බන්ධ වෙන්නත් ආසයි.

Text - Dishani / Pic - Sumudu