මම ආයෙමත් දුෂ්ට චරිත රඟපාන්නේ නැහැ

මේ දවස්වල සතියේ දිනවල රාත්‍රී 8.00ට ස්වර්ණවාහිනිය හරහා “වෙස්” කියන ටෙලි නාට්‍යය විකාශය වෙනවා. මේ ටෙලි නාට්‍යයේ “රමේෂ්” කියන දුෂ්ටයාගේ චරිතය රඟපාන්නේ චමීර ලියනගේයි. සැබෑ ජීවිතයේදීත් “චමීර” ටෙලි නාට්‍යයේ වගේම ඩබ්ල්ගේම් කාරයෙක්ද? ඒගැන
චමීර කියන්නේ මොකක්ද කියලා අද ඔබට දැනගන්න පුළුවන්.

චමීර කොහොමද ඔය විදියට දුෂ්ටයෙක් වුණේ?

රමේෂ් වෙනුවෙන් තමයි මම ඔය විදියට දුෂ්ට වෙස් ගත්තේ. ඒ නිසා මේ දවස්වල හැමෝම මට බණින එකමයි වැඩේ. කට්ටිය මට කියනවා “අ‍පෝ චමීර... ඔයා ඔය තරම් ඩබල් ගේම්කාරයෙක් කියලා දන්නවා නම් අපිත් ආශ්‍රය කරන්නේ නැහැ...”කියලා. ඒත් ඉතින් මට ගොඩාක් සතුටුයි “වෙස්” ටෙලි නාට්‍යයේ රමේෂ්ගේ චරිතය වෙනුවෙන් යන එන හැම තැනම මට බැණුම් අහන්න වෙනවට. අපි දුෂ්ටයෙකුගෙ චරිතයක් රඟපානකොට ඒ චරිතේට බැණුම්. දෝෂාරෝපණ ලැබෙනවා කියන්නේ ඒ චරිතේ අපි හොඳට කරලා තියෙනවා කියන එකනේ.

එතකොට දුෂ්ට රමේෂ්ව චමීරට මුණ ගැසුණේ කොහොමද?

ඔය අහන්නේ මට ඒ චරිතේ රඟපාන්න අවස්ථාව ලැබුණ විදිහ ගැන නේද? ඇත්තටම මම මීට කලින් ස්වර්ණවාහිනියේ විකාශය වූ “සඳපිනි වැස්ස” කියන ටෙලි නාට්‍යයේ රඟපෑවා ඒක දැකපු ‘වෙස්’ නිෂ්පාදක කණ්ඩායමේ ජනක අයියා, අධ්‍යක්ෂ  ධනුක්ෂක අයියා වගේම සහය අධ්‍යක්ෂ ඉන්දික අයියා කියන මේ පිරිස එකතු වෙලා තමයි මට රමේෂ්ව මුණ ගැස්සුවේ. රමේෂ්ගේ චරිතේ ගැන මට කියපු හැටියේම මම ඊට කැමති වුණා. මොකද හැමදාම ළද බොළඳ පෙම්වතෙක් වෙන්න මම කැමති නැහැ. මම කලින් රඟපාපු චරිතවලට වඩා රමේෂ්       කියන්නේ යම් අධ්‍යයනයකුත් එක්ක රඟපාන්න පුළුවන් චරිතයක්. ඒත් මම ඉස්සරහට ආයෙමත් දුෂ්ට චරිත කරන්නේ නැහැ. මොකද මම එක චරිතයක් වෙනුවෙන් ‍ලේබල් වෙන්න කැමති නැහැ.

“වෙස්” ටෙලි නාට්‍යයේදී රමේෂ් ආදරය වෙනුවෙන් ඕනෑම දෙයක් කරන කෙනෙක්. සැබෑ ජීවිතේදී ඔබ රමේෂ් වගේම තමන් ආදරේ කරන පෙම්වතිය වෙනුවෙන් ඕනම දෙයක් කරන්න සූදානම්ද?

දැනට නම් මම කාටවත් ආදරේ කරන්නේ නැහැ. ඒ නිසා මට පෙම්වතියක් නැහැ. ඒත් ඔය අහපු ප්‍රශ්නය හරියටම හරි. මොකද දන්නවද? මම සැබෑ ජීවිතේදී ආදරේ වෙනුවෙන් ඕනම දෙයක් කරන්න සූදානම් කෙනෙක්. මං ළඟ ඩබල් ගේම් නැහැ. මට හරියන කෙනොව හම්බවුණොත් එයාට බොක්කෙන්ම ආදරේ කරනවා.

කොහොමද ඔබට නළුවෙක් වෙන්න අවස්ථාව ලැබුණේ ?

ඒකදිග කතාවක්. සිරස ටීවී නාලිකාවේ ගියා “තරුමංසල” කියලා වැඩසටහනක්. මේ වැඩසටහනේදී විලාසිතා හා රංගනය කියන අංශ දෙකෙන්ම මම ජයග්‍රහණය කළා. ඒත් එක්කම රංගන ක්ෂේත්‍රයට ඇතුළු වෙන්නත් මට ආරාධනා ලැබුණා. කොළඹ අහස, දම්සාරි, පාරා වළලු, කුලැත්තියේ, වාලුකා, මුතුකුඩ, භවහරණ කියන ටෙලිනාට්‍යවල මම රඟපෑවේ “තරුමංසලට” පින් සිදුවෙන්නයි. ඒ විතරක් නමෛයි “උල‍ලේනී” කියන චිත්‍රපටයේත් මම රඟපෑවා. මේ දවස්වල ටි.වී. දෙරණත් එක්ක මම විශාල වැඩකට අත ගහලයි තියෙන්නේ. ඔවුන් විසින් කරන නිර්මාණයක මම ප්‍රධාන චරිතයක් රඟපානවා. මම හිතනවා ඒ නිර්මාණය අපේ රටේ දැවැන්ත වෙනසක් ඇති කරාවි කියලා.

චමීරගේ ගෙදරින් කලා කටයුතුවලට ලැබෙන සහයෝගය මොනවගේද?

අම්මා, තාත්තා, අක්කා, අයියා වගේම මල්ලිගෙනුත් පුදුම සහයෝගයක් මට ලැබෙන්නේ. රෑට ෂූටිං ගිහින් ආවාම මට හොඳට නින්ද යනවා. එලාම් එක තිබ්බට, ඒකත් ඕෆ් කරලා අනිත් පැත්ත හැරිලා ආයෙත් නිඳාගන්නවා. ඒත් මගේ අම්මා තමයි” ෂූටිං යන්න තියෙනවනේ පුතා, නැගිටින්න නැගිටින්න...” කියලා මාව හැමදාම ඇහැරවන්නේ.

සමන්මලී නැලිගම