‘‘බොට්ටුව නැවේ හැපුණු ගමන් මම මුහුදට වැටුනා - රෑ 12.00 ඉඳන් උදේ 10.00 වෙනකම් බොට්ටුවේ එල්ලිලා හිටියෙ‘‘ බිහිසුනු අනතුරෙන් දිවි ගලවාගත් ධීවරයා කියන කතාව

මලිදු පුතා නැමති බහුදින ධීවර යාත්‍රාව නැවක ගැටීමෙන් එහි ගමන්ගත් ධීවරයින් 07 දෙනාගෙන් 06 දෙනෙකුම ඉතා අවාසනාවන්ත ලෙස මිය ගියා. ඒ පසුගිය 11 වනදා බේරුවල ධීවර වරායෙන් පිටත්ව ගොස් නාවික සැතපුම් 60 පමණ දුරකදී නැවක ගැටීමෙන්. ඒ අනුව මියගිය හය දෙනාගෙන් සිවු දෙනෙකුගේ මළ සිරුරු  ඊයේ (12) රාත්‍රියේ නාවික හමුදාව මගින් ගාලු වරාය වෙත ගෙනවිත් තිබෙනවා.

මේ අතර අනතුරින් දිවි බේරාගත් එරන්ද පුෂ්පකුමාර
තමන් මුහුණ දුන් බිහිසුණු අත්දැකීම පිළිබඳව මාධ්‍යයට මෙලෙස අදහස් දැක්වුවා.

‘‘ඊයේ (11) සවස හයට විතර බේරුවල ධීවර වරායෙන් අපි පිටත් වුණා. බහුදින ධීවර යාත්‍රාවේ ධීවර කාර්මිකයින් හත් දෙනෙකු ගමන් කළා. ස්කිපර් විදියට කටයුතු කළේ කල්හාර අයියා.

අපි නාවික සැතපුම් 60ක් විතර ගියා මසුන් ඇල්ලුවේ නැහැ. රාත්‍රී 12.00 විතර වෙනකම් බෝට්ටුව අරන් ගියේ මම.රාත්‍රී 12.00ට විතර බෝට්ටුවේ වීල්එක  කල්හාර අයියාට  දුන්නා. පැයක්වත් ගියේ නැහැ.මම යාත්‍රාවේ පසු පසට වෙන්න නිදාගෙන හිටියේ . එකවරම බෝට්ටුව නැවේ වැදිලා පෙරලුනා.

මම මුහුදට විසිවුනා. මම පිනලා ඇවිත් බොට්ටුවේ එල්ලිලා හිටියා. නැව ළඟටම එනකම් දැක්කේ නැහැ.බොට්ටුවේ ඇතුලේ හිටපු අය හිරවුනා. බෝට්ටුව අනිත් පැත්ත ගැහුවා.

මම උදේ 10.00 වෙනකම් බෝට්ටුවේ එල්ලිලා හිටියා. පස්සේ මේ ගැන වෙනත් නැවකින් දැනුම් දීලා තිබුණා.

නාවික හමුදාවේ මහත්වරු ඇවිත් මාව බේරගත්තා.  බෝට්ටුව නැවේ හැප්පෙන්න පැයකට විතර කලින් තමයි මම බෝට්ටුවේ විල් එක කල්හාර අයියාට දුන්නේ ‘‘


gossip lanka