අඹේපුස්ස සිංහ රෙජිමේන්තු කඳවුරේ සෙබළ ඝාතනයෙන් පසු අබිරහස් රැසක් එළියට

කියමනක් තිබේ: සත්‍යය අපිට ඉවසීම ලබාදෙන අතරවාරයේ මතවාදය එය අපගෙන් සොරකම් කරනු ලබයි. එහිදී සිදුවන්නේ සත්‍යයට වඩා වචන වැදගත් වීමයි. අඹේපුස්ස සිංහ රෙජිමේන්තු මූලස්ථානයේ පසුගිය කාලසීමාව පුරා සිදුවූ යුද හමුදා විනයට පටහැණි විනය විරෝධී ක්‍රියාදාමයන්හි කූට ප්‍රාප්තිය වන්නේ පසුගිය 21 වැනිදා යුද හමුදා කඳවුරේ සම්මානනීය මුර කුටියේ සේවය කළ කෑගල්ල, බුලත්කොහුපිටිය පදිංචි ඩබ්.එච්.එස්.එන්. ජයරත්න (383763) සෙබළා මරා දමා ඔහු සන්තකයේ තිබූ ටී 56 වර්ගයේ ගිනි අවිය සොරාගෙන යෑමයි.

මෙම සිදුවීම සිදුවන තෙක් සත්‍යය පැවැතියේ අඹේපුස්ස සිංහ රෙජිමේන්තු මූලස්ථානයේ ඉහළ නිලධාරීන් කීපදෙනෙක්ගේ මතවාදයක් ලෙසිනි. ඔවුන්ගේ වචන හරඹයන් කඳවුරු භූමියේ නීතිය බවට පත්ව තිබූ වකවානුවක සාමාන්‍ය සෙබළු බොහෝමයක් ඉහළ නිලධාරීන්ගේද, ඔවුන්ගේ කායාරක්ෂකයන් ලෙස ලබාදී තිබූ සාමාන්‍ය සෙබළුන්ගේද අඩන්තේට්ටම්වලට ලක්වූ බව පැවැසේ. සිදුවීම් එලෙස වුවත් සාමාන්‍ය සෙබළුන් සහ යුද හමුදා විනය පිළිබඳ විශ්වාසයක් තබා කටයුතු කළ කඳවුරේ කීපයක් වන ඉහළ නිලධාරීන්ට පැවැති තත්ත්වයට අභියෝග කරන්නට නොහැකි වී ඇත්තේ එලෙස අභියෝග කරන්නා අරබයා වචන හරඹයක් නීතියක් ලෙස ක්‍රියාත්මක වන වටපිටාවක් නිසාය. ඒ සඳහා විස්තර සවිස්තර කිරීම සඳහා මනුෂ්‍ය ඝාතනයක් සිදු නොවූ ටී 56 වර්ගයේ ගිනි අවියක් පැහැර ගැනීම කරා යා යුතුය.

අඹේපුස්ස යුද හමුදා කඳවුරේ අංක 500883 දරන ටී 56 ගිනි අවිය සහ පතරොම් හැටක් අස්ථානගතවීම පිළිබඳව 2018.08.01 වැනි දින මීරිගම පොලිසියට පැමිණිල්ලක් ඉදිරිපත් කරන මේජර්, රත්නායක කංකානම්ලාගේ ‍ෙදාන් මිල්ටන් (කඳවුරේ මාණ්ඩලිය නීති නිලධාරි) පවසා සිටින්නේ බි්‍රගේඩියර් අජිත් එල්ලාවල මහතා සේනා විධායක ලෙස කටයුතු කරන අතරතුර කඳවුරේ ආරක්ෂාව සඳහා ඇති මුරපොළවල් තුන අතරින් කඳවුරට ඇතුළු වීමට ඇති ප්‍රධාන මුරපොළේ (ඒ වශයෙන් හඳුන්වන) ආරක්ෂාව සඳහා යොදවා තිබූ සෙබළ අංක 100104 දරන එස්.කේ. කරුණාදාස යන අයට නිකුත් කළ රාජකාරි ගිනි අවිය අතුරුදන් වී ඇති බවයි.

මීරිගම පොලිසිය අත්තනගල්ල අතිරේක මහෙස්ත්‍රාත් තරංගා රාජපක්ෂ මහත්මිය වෙත පැමිණිල්ල පිළිබඳ කරුණු ඉදිරිපත් කරමින් පවසා සිටින්නේ අතුරුදන් වූ ගිනි අවිය එම සෙබළාට නිකුත් කර ඇත්තේ කඳවුරේ අවි ගබඩාවේ සේවය කරන කෝප්‍රල් එච්.එච්.ඩී. පුෂ්පකුමාර යන අය බවය. මෙම ප්‍රධාන මුරපොළ තුළ ඒ අවස්ථාවේදී වීරතුංග (100947), අත්තනායක (101524) යන සෙබළුන් දෙදෙනාද රාජකාරියේ නිරතව සිටි බවත් මුරකුටි පාලනය සඳහා සාජන් වික්‍රමසිංහ (366550) ප්‍රධානව පොඩිනිලමේ (00247) යන අය පත් කර සිටි බවත්ය.

සෙබළ කරුණාදාස තමන් භාරයේ තිබූ ගිනි අවිය සෙබළ විජේතුංගට භාර දී ඒ පිළිබඳ සටහන් තබා ඇතත් ගිනි අවිය අස්ථානගත වී ඇති බවයි. අවිය අස්ථානගත වී ඇති බව රාත්‍රි 12.20 වන විටත් දැනගන්නා කඳවුරු නිලධාරීන් ඒ පිළිබඳ නිසි අභ්‍යන්තර පරීක්ෂණයක් නොපවත්වා මීරිගම පොලිසිය වෙත පැමිණ පැමිණිල්ලක් ඉදිරිපත් කරනු ලබන්නේ 2018.08.02 දින උදෑසන 8.15ට පමණය.

අවිය අස්ථානගත වූ අවස්ථාවේ සිට සෙබළු කීප දෙනෙක් එම මුරකුටියේ ආරක්ෂක රාජකාරි සඳහා වාර්තා කර ඇති අතර අවියක් නැති වුවහොත් කඳවුර තුළ ඇති ක්‍රියාපටිපාටීන්ට අනුව ඒ පිළිබඳ කඳවුරේ කාර්ය භාර නිලධාරි (ඒ වනවිට සේවයේ යෙදී සිටි කපිතාන් එල්.එම්.ටී. බණ්ඩාර) දැනුවත් කළයුතු වුවද එවැන්නක් සිදුවී නොමැත. පසුදින උදෑසන ටී 56 ගිනි අවිය අස්ථානගත වී ඇති බව දැනගත් කාර්ය භාර නිලධාරියා විසින් ඒ පිළිබඳව සිය උසස් නිලධාරීන් දැනුවත් කිරීමෙන් අනතුරුව මීරිගම පොලිසිය වෙත අවිය අස්ථාන ගතවීම පිළිබඳ පැමිණිල්ලක් සිදුකළ බව කඳවුරේ නීති නිලධාරියා වැඩිදුරටත් පවසා සිටී.

මීරිගම පොලිසියේ නිලධාරීන් ලද පැමිණිල්ල මත ක්‍රියාත්මක වී ඒ අවස්ථාවේ කඳවුරේ සේවා භාරව සිටි විවිධ පාර්ශ්වවලින් ප්‍රශ්න කර මූලික විමර්ශනයක් සිදු කළද අස්ථානගත වූ අවිය පිළිබඳ කිසිදු හෝඩුවාවක් සොයාගත නොහැකි වූ බව පොලිසිය විසින් අධිකරණයට වාර්තා කරන අතර, තමන් සන්තකයේ තිබූ ටී 56 ගිනි අවිය භාරදුන් බවට සටහන් තැබූ සෙබළ එස්.ජී.කේ. සජිත් කරුණාදාස, ඒ.ජී.සී කුමාර දිසානායක, පී.කේ. සුසිල් බණ්ඩාර පොඩිනිලමේ සහ ඒ.ජී.යූ ශාන්ත වික්‍රමසිංහ යන සැකකරුවන් 2018.08.24 දින අධිකරණය විසින් රිමාන්ඩ් බන්ධනාගාරගත කරනු ලබන අතර මූලික විමර්ශන අවසන් වීමෙන් පසු 2018.09.07 දින ඔවුන් හට අත්තනගල්ල දිසා අධිකරණයෙන් ඇප නියම වේ.

1996 අංක 26 දරන ගිනි අවි පනතේ (03) 44 44 (අ) වගන්තිය යටතේ ඔවුන් රක්ෂිත බන්ධනාගාරගත කළද ඒ පනත අනුව ඔවුන්ට අදාළ චෝදනා ගොනු කළද එම පනත අනුව චෝදනා ගොනු කිරීමට සාක්ෂි නොමැත යන්න මුල් කරගෙන මෙලෙස අධිකරණය ඇප නියම කරන්නට ඇතැයි පැවැසේ.

මෙම සිදුවීම්වලදී පැහැදිලි වන ප්‍රධාන කරුණ වන්නේ කඳවුර තුළ යුද හමුදා අභ්‍යන්තර පරීක්ෂණයක් නොපවත්වා එය හුදෙක් සිවිල් නීතිය ක්‍රියාත්මක වීමේ රාමුව තුළට ගෙන ඒමට කඳවුරේ ඉහළ නිලධාරීන් ගන්නා ලද උත්සාහයය. ගිනි අවිය නැතිවීමට අදාළ කරුණු සොයා ගැනීමේ පළමු සහ ඵලදායක පියවර වන්නේ, කඳවුර අභ්‍යන්තරයේ සිදුකරන පරීක්ෂණයක්ය. ඒ මඟින් පරීක්ෂණ කටයුතු සිදු කරන පොලිස් නිලධාරීන්ට හසුනොවීමට ඉඩ ඇති සියුම් කරුණු කාරණාද එළිපහළියට පැමිණිය හැකිය.

එවැනි පරීක්ෂණයකට මුහුණ නොදී ගිනි අවිය නැති වීමේ සිදුවීම කල්ඉකුත් වූවාටත් පසු පොලිසිය වෙත භාරදී කඳවුරේ ඉහළ නිලධාරීන් අපේක්ෂා කරන ලද්දේ සිදුවීමට සම්බන්ධ පුද්ගලයන් ආරක්ෂා කිරීමද යන්න ප්‍රබල සැකයක් පැනනඟී. ඒ මන්ද යත් තමන් සන්තක ගිනි අවිය නීත්‍යනුකූල ක්‍රියාපටිපාටියද නැවත භාරදීම සඳහන් කළ සෙබළාගේ ප්‍රකාශයද ඔහු විසින් එවැන්නක් සිදුකළ බව පිළිගත් කඳවුරේ නීති නිලධාරියාගේ ප්‍රකාශයද තුට්ටුවකට මායිම් නොකර සාක්ෂි සම්පිණ්ඩනය ද නොකොට මුහුණ බලා සැකකරුවන් හඳුනාගැනීමේ ක්‍රියා පිළිවෙතක් ක¼දවුර භාර ඉහළ නිලධාරීන් අනුගමනය කිරීමය.
පොලිස් නිලධාරීන් සිදුවීමට අදාළ සෙබළුන්ගෙන් සාක්ෂි ලබාගත්තද එම සාක්ෂි සටහන් තිර පිටපත් කීපයකට ලඝුවිය හැක්කේ අඹේපුස්ස කඳවුරේ ඉහළ නිලධාරීන් ඒ අවස්ථාවේදී සක්‍රිය ලෙස පරීක්ෂණ කටයුතුවලට අතපොවා ඇති නිසාය. මෙම අවිය අස්ථානගත වීම පිළිබඳ අධිකරණමය ක්‍රියාවලියක් දැනටත් ක්‍රියාත්මක වන නිසා බරපතළ කරුණු ගණනාවක් අප සතු වුවද ඒවා ඉදිරිපත් කළ නොහැක්කේ යුක්තිය පසිඳලීමේ ක්‍රියාවලියට එය යහපත් සහ අයහපත් යන දෙආකාරයෙන් බලපෑ හැකි නිසාය.

කඳවුර තුළ අවි අස්ථාන ගතවීම සහ ඉන් මත්තට සිදුවූ සෙබළ ජයරත්නගේ ඝාතනය සහ ඔහුගේ ගිනි අවිය පැහැර ගැනීම පිළිබඳ අදහස් දැක්වූ කඳවුරේ සාමාන්‍ය සෙබළුන් සහ කීපදෙනෙක් සහ උසස් නිලධාරීයෙක්් පවසා සිටියේ "කඳවුර පාලනය කළේ සේනාංකාධිපතිට හිතවත් එයාගේ කාය ආරක්ෂකයෝ. ඒ අය අතින් මොන මොන අකටයුතුකම් සිදුවුවත් නිලධාරීන් විනය පියවර ගත්තේ නැහැ. සම්මානනීය මුර කුටියේ සේවය කරද්දී ඝාතනය කරලා ගිනි අවිය පැහැර ගත්ත සෙබළාගේ ඝාතනයට සම්බන්ධ සැකකරුවන් දෙදෙනා සේනාංකාධිපතිවරයාගේ කායාරක්ෂකයන් ලෙස සේවය කළ අය.

ඒ අය කඳවුර තුළ පවත්වාගෙන යන්නේ වෙනම පාලනයක්. මේ තත්ත්වය එක්ක අස්ථානගත වූ අවිය පිළිබඳවත්
ප්‍රබල සැකයක් මේ සැකකරුවන් වෙත එල්ල වෙනවා. කොහොම වුණත් මේ අවස්ථා දෙකේදීම කඳවුර තුළ නියමාකාර අභ්‍යන්තර පරීක්ෂණයක් සිදුවුණේ නැහැ."

කඳවුර තුළ සිදුවූ මේ සිදුවීම සම්බන්ධව නිසි පරීක්ෂණයක් ආරම්භ වන්නේ පරීක්ෂණ කටයුතු බස්නාහිර උතුරු දිසා අපරාධ විමර්ශන කොට්ඨාසයේ නිලධාරීන් අතට පත්වීමෙන් පසුවය. ඝාතනය සිදු වී දින දෙකක් ඇතුළත ඝාතනයට අදාළ සැකකරුවන් සහ ඝාතනය සඳහා යොදා ගත් උල් පිහියද අත්අඩංගුවට පත්වන්නේ එම නිලධාරීන්ගේ අප්‍රතිහත කැපවීම මතය. විශේෂයෙන් ඝාතනය සඳහා යොදා ගන්නා ලද පිහිය උප පොලිස් පරීක්ෂක වැන්ඩකර්ට් මහතා විසින් සොයා සිදු කළ මූලික පරීක්ෂණය සැබෑ සහ දියුණු පරීක්ෂණ ක්‍රමවේදයක් පිළිබඳ හොඳ උදාහරණයකි.

සෙබළ ජයරත්න ඝාතනය කර ටී 56 ගිනි අවිය පැහැර ගැනීමේ සිදුවීමේ සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා සිදු වූ ක්‍රියාදාමය විස්තර කළ බස්නාහිර උතුර දිසා අපරාධ විමර්ශන කොට්ඨාසයේ උසස් නිලධාරියෙක්,
"2018.09.21 පාන්දර අඹේපුස්ස කඳවුරේ සම්මානනීය මුරකුටියේ හමුදා සෙබළෙක් ඝාතනය කර ඔහුගේ රාජකාරි ගිනි අවිය පැහැරගනු ලබනවා. ස්ථානාධිපතිතුමා වෙත ලැබුණු තොරතුරකට අනුව අපි අඹේපුස්ස යුද හමුදා ක¼දවුරට ගොස් පරීක්ෂණ ආරම්භ කළා. ඒ සඳහා යුද හමුදා බුද්ධි අංශ සිය උපරිම සහාය කටයුතු පරීක්ෂණ කටයුතු ඉදිරියට රැගෙන යනවිට සැකකටයුතු කරුණු කාරණා කීපයක් පෙළගැසුණා.

ඒ සැක සහිත කරණු කාරණා පහදා ගැනීමට අපි ජංගම දුරකථන විශ්ලේෂණ භාවිත කළා. ඒ අනුව අපගේ සැකය එල්ල වුණේ ක¼දවුර තුළ සිටි සෙබළෙක්ට. ඔහු 2018.09.20 දින නිවාඩු ලබාගෙන සිය නිවෙසට යන බව පවසා කඳවුර භූමිය තුළ රැඳී සිටි අයෙක්. කවුරුත් නොදන්නා ලෙස ඔහු කඳවුරු භූමියේ රැඳී සිටියා. ඔහු තම ජංගම දුරකථනයෙන් කඳවුර තුළ සේවය කළ නිලධාරියෙක් සමඟ පාන්දර 02.40ට පමණ දුරකථන සංවාදයක නිරත වී තිබුණා. ඒ ඔස්සේ අප දිගින් දිගටම පරීක්ෂණ සිදු කළා.

එම දුරකථන සංවාදය සහ ඔහු නීත්‍යනුකූල නොවන ආකාරයට කඳවුර තුළ රැඳී සිටීම තමයි සැකයට තුඩුදුන් කාරණා වුණේ. ඔහුට අයත් රතු පැහැති යතුරුපැදිය ඝාතනය සිදුවීමෙන් අනතුරුව යුද හමුදා කඳවුරු භූමියෙන් පිටතට යන සීසීටීවී දර්ශන ඒ වනවිටත් අපිට ලැබී තිබුණා. එය ප්‍රබල සාක්ෂිමය කරුණු මත අප තහවුරු කරගත්තා මෙම සෙබළා සිදුවීමට සම්බන්ධ අයෙක් කියා. පසුව අපි ඔහුගේ නිවෙස සොයා නාරම්මල, කටුපොත ප්‍රදේශයේ කොටදෙණියාව බෝගහමුල්ල ප්‍රදේශයට පැමිණ කටුපොත පොලිසියේ, සහාය ඇතිව තොරතුරු ලබාගෙන ආවේක්ෂණ රාජකාරි සිදුකරන නිලධාරියෙක් මාර්ගයෙන් ඔහු නිවෙසේ රැඳී සිටිනවාද යන්න නිශ්චය කර දැන ඔහුව අත්අඩංගුවට ගනු ලැබුවා.

ඉන් පසුව අප සොයාගත් සාක්ෂි මත ඔහුට සිදුවුණා සිදුවීමට අදාළ කරුණු කාරණා පැහැදිලි කිරීමට. ඉන්පසුව ඔහු පාපෝච්චාරණය කළා සිදුවීම සිදුවූ ආකාරය පිළිබඳ. ඔහුට හිතවත් තවත් හමුදා නිලධාරියෙක් (සිද්ධියේ දෙවැනි සැකකරු) සමඟ තමයි මේ අපරාධය සිදුකර තිබෙන්නේ. ඔවුන් දෙදෙනා කාලයක සිට ගිනි අවි පැහැර ගැනීමට පිඹුරුපත් සකසා තිබෙනවා. සෙබළා ඝාතනය කර ගිනි අවිය පැහැරගැනීම සඳහා අවසන් සාකච්ඡාව ඔවුන් පවත්වා තිබෙන්නේ යුද හමුදා කඳවුරේ වාහන අංගණයේ. ඒ පාන්දර 02.46ට පමණ.
යුද හමුදා කඳවුරෙන් නීත්‍යනුකූල ලෙස පිටව ගිය බව දන්වා මොහු සැඟව සිට ඇත්තේ කඳවුරු භූමියේ නිතර භාවිත නොවන ක්‍රීඩාංගණයක ප්‍රේක්ෂකාගාරයේ. පසුව ඔවුන් දෙදෙනා ඝාතනයට ලක්වූ යුද සෙබළා සමඟ සම්මානනීය මුරකුටිය අසලට පැමිණ "මල්ලී වෙපන් එක දෙන්න" කියලා පවසලා තියෙනවා. ඝාතනයට ලක්වූ සෙබළා එය නොසලකා හැරලා තියෙන්නේ ඔවුන්ව හොඳින් දන්න අයවලුන් නිසා. "මොකද අයියා කරන්නේ, මොකක්ද මේ වෙන්නේ" කියලා ඝාතනයට ලක්වූ සෙබළා විමසන විට සිද්ධියේ පළමු සැකකරු එම සෙබළාට පිහියෙන් ඇන තිබෙනවා. එම පිහිය සෙන්ටිමීටර් 26ක් පමණ දිග පිහියක්. පිහි පහර කෑ සෙබළා ඉන් අනතුරුව ඉදිරියට දිවගොස් ඇද වැටී තිබෙනවා.

පළමු වැනි සැකකරු අවිය පැහැර ගෙන ඔහුගේ යතුරුපැදිය මත අවිය රඳවා ඝාතනය සඳහා භාවිත කළ පිහියද සමඟ කඳවුරෙන් පිටව යන විට අනෙක් දෙවැනි සැකකරු නැවතත් කඳවුරේ හමුදා නිවෙස්නය කරා පැමිණ තිබෙනවා. පළමුවැනි සැකකරු පාන්දර 03.07ට යතුරුපැදියෙන් කඳවුරු භූමියෙන් පිටතට පැමිණ තිබෙනවා. ඒ අවස්ථාවේ සීසීටීවී දර්ශනවලින් පෙනී යනවා ඔහු කඳවුරු භූමියෙන් පිටව යන ආකාරය. ඔහු පැහැරගත් අවිය සමඟ පැමිණ තිබෙන්නේ බෝගහමුල්ල ප්‍රදේශයේ ඔහුගේ නිවෙසට කිලෝමීටරයකට නොඅඩු දුරකින් තිබෙන සුසාන භූමියකට. ඒ සුසාන භුමියේ කොන්ක්‍රීට් ආවරණයක මිනී වළක පැත්තකින් තිබූ අෑ ගුලකින් ටී 56 අවිය වළ තුළට දාලා ඒ ආසන්නයේ පිහිටි පොදු ළිඳක් තුළට ඝාතනය සඳහා යොදා ගත් පිහිය විසි කර දමා සැකකරු නිවෙසට පැමිණ තිබෙනවා.

සැකකරුගේ පාපෝච්චාරණයට අනුව ඒ වනවිට වෙලාව පාන්දර 4.30ට ආසන්න වේලාවක්. ඉන්පසුව ඝාතනය කරන අවස්ථාවේ ඔහු ඇඳ සිටි ඇඳුම් නිවෙස පිටුපස අපද්‍රව්‍ය එකතු කරන වළක් තුළ පුච්චා දමා තිබෙනවා. ඒ වනවිට ඔහුගේ බිරිය නිවෙස තුළ රැඳී සිටියත් අෑ දැනසිට නෑ ඔහු නිවෙසට පැමිණ සිටි බව. අප, පැහැරගත් ටී 56 ගිනි අවිය සොයා ගත්තා. සැකකරු එම ගිනි අවිය සඟවා තිබුණේ උතුරේ ක්‍රියාන්විතයේදී මියගිය තම බාල සොහොයුරාගේ මිනී වළ තුළ. ඒ වළ සැකකරුගේ පවුලේ අයට අයිති නිසා, වළ කෙරේ අන් අයගේ අවධානය යොමු නොවන නිසායි ඔහු පැහැරගත් ගිනි අවිය ඒ වළ තුළ සඟවා තිබුණේ. සැකකරුගේ ප්‍රකාශ මත අප ටී 56 ගිනි අවිය, ඝාතනය සඳහා යොදා ගත් පිහිය, යතුරුපැදිය සහ ජංගම දුරකථනය අත්අඩංගුවට ගනු ලැබුවා. ඉන් පසුව සැකකරුවන් මීරිගම පොලිස් ස්ථානය මඟින් අත්තනගල්ල මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කර රැඳවුම් නියෝග ලබාගෙන සැකකරුවන් මීරිගම පොලිසියේ රඳවා ගනිමින් මේ වනවිටත් වැඩිදුර පරීක්ෂණ කරනු ලබනවා.

මේ සිදුවීමේ ප්‍රධාන සැකකරුවන් කොටදෙණියාව සහ කන්තලේ ප්‍රදේශයේ පදිංචිකරුවන් වන විවාහක පුද්ගලයන්. ඔවුන් අඹේපුස්ස සිංහ රෙජිමේන්තු මූලස්ථානයේ අණදෙන නිලධාරියාගේ පෞද්ගලික ආරක්ෂාව භාර නිලධාරීන් ලෙසත් කටයුතු කර තිබෙනවා. රෙජිමේන්තු අණදෙන නිලධාරියා විශ්‍රාම ගිය පසු මෙම සැකකාර සෙබළුන් නිසි ක්‍රමවේදයකට කඳවුර තුළ සේවය කර නැහැ. ඔවුන් පිළිබඳ ඉහළ නිලධාරීන් කරුණු සොයා බලලාත් නැහැ. මෙම සැකකරුවන් යුද හමුදා ක්‍රියාපටිපාටිය තුළ අධීක්ෂණයට ලක්වුණා නම් මෙවැනි අවාසනාවන්ත තත්ත්වයක් උදා නොවීමට තිබුණා.

මෙම සිද්ධියේ ප්‍රධාන සැකකරුවන් අවුරුදු 11 සහ අවුරුදු 09ක යුද හමුදා සේවා කාලයක් සම්පූර්ණ කර ඇති පළපුරුදු හමුදා සෙබළුන්. තවදුරටත් සිදුකළ පරීක්ෂණ සහ ප්‍රශ්න කිරීම්වලදී හෙළිවුණේ මම සැකකරුවන් පැහැරගත් ගිනි අවිය යොදාගෙන කටුපොත ප්‍රදේශයේ පෞද්ගලික බැංකුවක් කොල්ලකෑමට සූදානම්ව සිටි බවයි. එම කොල්ලය සඳහා මාස කීපයක සිට සැලසුම් සකස් කොට තිබුණා. එවැන්නක් සංවිධානය කිරීම සඳහා ඔවුන් පෙලඹී ඇත්තේ විවිධ ණය ලබාගැනීම නිසා යුද හමුදාවෙන් ලබාදෙන මාසික වැටුප අවම තත්ත්වයක පැවැතීම."

බස්නාහිර පළාත් භාර ජේ‍යෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නන්දන මුණසිංහ මහතාගේ අධීක්ෂණය යටතේ බස්නාහිර උතුර දිසා භාර නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාගේ විශේෂ උපදෙස් සහ මඟපෙන්වීම යටතේ බස්නාහිර උතුර දිසා අපරාධ විමර්ශන කොට්ඨාසයේ අධ්‍යක්ෂ, සහකාර පොලිස් අධිකාරි මහේෂ් බණ්ඩාර මහතාගේ මෙහෙයවීම යටතේ එහි ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ගයන්ත දහනක මහතාගේ ප්‍රධානත්වයෙන් උප පොලිස් පරීක්ෂක වැන්ඩර්කට්, පොලිස් සැරයන් බණ්ඩාර (22337), කොස්තාපල්වරුන් වන අබේකොන් (52934), විජේසිංහ (36968) සහ මංජුල (42292) ඇතුළු පොලිස් කණ්ඩායමක් සැකකරුවන් පිළිබඳ ඉදිරි පරීක්ෂණ කටයුතු සිදුකරනු ලබයි.

මව්බිම
gossip lanka