පවුලේ එකම දරුවා එල්ලල මරපු මාෂාගෙයි ඉසුරුගෙයි සබරගමු වධය

ශ්‍රී ලාංකේය විශ්වවිද්‍යාල පද්ධතිය තුළ නවක වධය දීම හෙවත් රැග් කිරීම සිදුවන්නේ අරමුණු කිහිපයක් පෙරදැරි කොටගෙනය. රටේ නන් දෙසින් පැමිණෙන නවක සිසුන්ගේ මමත්වය නැති කොට ඔවුන් අතර පොදු මානසිකත්වයක් ගොඩනැඟීම හා එම සිසුන් අතර සුහදතාව වැඩි වර්ධනය කිරීම, ඔවුන්ගේ ආත්ම ශක්තිය වැඩි කිරීම, ඉදිරිගාමී පෞරුෂයක් තැනීම හා එම විශ්වවිද්‍යාල පද්ධතීන් තුළ බලපවත්වන්නා වූ
උප සංස්කෘතීන්ට නවකයන් අනුයෝජනය කිරීම ආදී හේතු ඉන් ප්‍රමුඛ වේ.

ලොව දියුණු රටවලත් විවිධ අයුරින් විශ්වවිද්‍යාල තුළ නවක වධය දීම සිදුවන අතර එයටද දිගු ඉතිහාසයක් ඇත. කණ්ඩායම් එකමුතුභාවය හා එහි වූ ජීව ගුණය පවත්වාගෙන යෑම සඳහා අතීත ග්‍රීක ක්‍රීඩා සමාජවලට පැමිණි නවක ක්‍රීඩකයන් පිළිගැනීමට විවිධ සරදම් හා සමච්චල් කිරීම් සිදු කොට තිබේ. මෙම ක්‍රියාවලිය පසුකාලීනව විවිධ අඩුවැඩිවීම් හා වෙනස්කම්වලට ලක්වීමෙන් ලෝකය පුරා ව්‍යාප්ත වීමේ ප්‍රතිඵලයක් ලෙස අධ්‍යාපන ආයතනවලටද අනුක්‍රමණය විය.

පළමු ලෝක යුද්ධය නිමා වීමෙන් අනතුරුව නැවත පැමිණි යුද සෙබළුන් අධ්‍යාපනය ලැබීමට විශ්වවිද්‍යාලවලට ප්‍රවේශ වීමත් සමඟ ඔවුන් හරහා එම විශ්වවිද්‍යාලවලට නවක වධය ලබාදීම ව්‍යාප්ත විය. කල්ගතවීමේදී එය මූලික යහපත් අරමුණුවලින් කැඩී බිඳී ගොස් අමානුෂික හා අවදානම් සහගත ස්වරූපයක් ගෙන ඇත. ක්‍රමිකව මෙය මෙරට අධ්‍යාපන ආයතනවලටද පැමිණියේය. එය අද වන විට පාසල් පද්ධතිය පවා ආක්‍රමණය කොට හමාරය.

නවක සිසුන් තම උප සංස්කෘතියට හා ඔවුන් අතර තිබෙන හර පද්ධතීන්වලට සමීප කරවන අටියෙන් විවිධාකාර ස්වරූපයන්ගෙන් නවක වධය ලබා දුන්නද කෙනකු ඉන් පීඩාවට පත්වන්නේ නම් ඉච්ඡාභංගත්වයට හා කායික හිංසනයට ලක්වන්නේ නම් එය තවදුරටත් සුහදතාව වර්ධනය කිරීමට සිදුවන දෙයක් නොවන බව කිව යුතුය. එනම් එතැන සිදුවන්නේ අනෙකාගේ උප විඥානයේ සඟවාගෙන සිටින ද්වේෂය, වෛරය සහ සියලු සමාජයීය විරෝධයන් තමාට වඩාත් හොඳින් නතු කර ගැනීමට හැකි අයකු මතින් මුදාහැරීමය.

නැත්නම් අනෙකාව පීඩාවට පත්කොට තම සිතැඟි සංතෘප්ත කර ගැනීමයි. පේරාදෙණිය සරසවියේ රූපා රත්නසීලි හා එම සරසවියේම ඉගෙනුම ලැබූ වරප්‍රකාශ් වැනි සිසුන්ද, රුහුණ සරසවියේ චමින්ද පුංචිහේවා සහ තවත් සිසුවියක්ද ශ්‍රී ජයවර්ධනපුර සරසවියේ සමන්ත විතානගේ වැනි ශිෂ්‍යයන්ද එවන් පරපීඩකත්වයේ ගොදුරු බවට පත්වූයේ අවාසනාවන්ත අයුරින්ය. සබරගමුව විශ්වවිද්‍යාලයේ අධ්‍යාපනය ලැබූ සායක්කාර හේවගේ අමාලි චතුරිකාද ගොදුරු වූයේ ඒ හිංසනයේම දිගුවකටය. ඒ නිසා එය තවදුරටත් සුහදත්වය වැඩි වර්ධනය කිරීමට සිදුකරන්නා වූ ක්‍රියාවක් ලෙසට සාධාරණීකරණය කළ නොහැකිය.

එවැනි යහපත් අභිලාෂයකින් රූපලාට, අමාලිලාට රැග් එක ලබා දුන්නා නම් ඔවුන්ගේ රහස් පෙදෙස්වල ඉටිපන්දම් ගසන්නටවත් අසභ්‍ය චිත්‍රපට නිළියන් මෙන් රඟපාන්නටත් සීනියර් ශිෂ්‍යයන් බල කරන්නේ නැත. ඒ නිසා එවැනි ක්‍රියා නවක වධය ලබා දීමක් නොවන බවත් එය හුදෙක්ම අනෙකා පීඩාවට පත්කරන ලිංගික හිංසනයක් බවත් කිව යුතුය.
"මට ලස්සන ජීවිතයක් තිබුණා. ඒ ජීවිතය අවලස්සන වෙන්න පටන් ගත්තේ මුලින්ම 2007 ඉඳන්. ඒත් ඒක අවලස්සන වුණේ 2014. ඒ කියන්නේ මම සබරගමුවට ගිය අවුරුද්දේ ඉඳන්. මුලින්ම මම ලස්සනට වැඩ කරගෙන සුහදව හිටියා. ඒත් ඒ ජීවිතය වෙනස් වෙන්න පටන් ගත්තේ 1ඵබ කඥචප ඡ්යචථ ඉවර වෙලා කැම්පස් එකට ආපු 2දඤ කඥචප (1ඵබ කඥචප චදඤ 1ඵබ ඉඥථඥඵබඥප) ඕචබජඩ එකේ මාෂා සහ ඉසුරු නිසයි. මට නවක වධය තුළින් ඒ දෙන්නා දුන්නේ අසීමිත මානසික පීඩනයක්. ඒක ගොඩාක් ළමයි දන්නවා. ඒත් දැන් ඔවුන් කවුරුත් සාක්ෂි දෙන්න ඉදිරිපත් වෙන එකක් නැහැ. ඒ පිළිබඳව සර්ව සාධාරණ විධිමත් පරීක්ෂණයක් කරන්න කියලා මම ඔයාලගෙන් ඉල්ලා සිටිනවා."

ඉහතින් දැක්වෙන්නේ අමාලි චතුරිකා සියදිවි තොරකර ගැනීමට පෙර එනම් 2015.02.15දා රාත්‍රි 10ට පමණ ලියූ ලිපියකි. එම ලියුම ලිවීමෙන් අනතුරුව 2015.02.16 වැනි දින ඇය සිය නිවෙසේදී ගෙල වැලලාගෙන මියගොස් තිබිණි. ඇය තම මරණයට හේතුව වශයෙන් දක්වා තිබුණේ දරාගත නොහැකි මානසික පීඩනයකි. සබරගමුව විශ්වවිද්‍යාලයේ ඉගෙනුම ලැබූ මාෂා සහ ඉසුරු නම් ශිෂ්‍යාවන් දෙදෙනකු විසින් ලබා දෙන ලද නවක වධය එම මානසික පීඩාවට හේතුවූ බව ඇය තම ලිපියේ සඳහන් කොට ඇත.

අමාලි ඉපදෙන්නේ 1991.10.20 වැනි දිනය. ඇය පවුලේ එකම දරුවා විය. මාඉඹුල්ගොඩ, පන්නිපිටියේ පදිංචිව සිටි ඇය 5 වසර දක්වා මත්තේගොඩ විද්‍යාදීප මහා විද්‍යාලයෙන් අධ්‍යාපනය ලැබුවාය. ඉන්පසුව අ.පො.ස. සාමාන්‍ය පෙළ දක්වා කොට්ටාව ධර්මපාල විද්‍යාලයේත් උසස් පෙළ දක්වා කොළඹ දේවි බාලිකා විද්‍යාලයේත් අධ්‍යාපනය හදාරන ඇය විශිෂ්ට අන්දමින් උසස් පෙළ සමත්වී විශ්වවිද්‍යාල වරම් ලැබුවාය. ඇය වාණිජ විෂයයන් හැදෑරීමට මහත් සේ ආසා කළාය. මවගේ දැඩි ඉල්ලීම ප්‍රතික්ෂේප කිරීමට නොහැකි වීමෙන් ඇය විද්‍යා අංශයෙන් උසස් පෙළට මුහුණ දුන්නාය.

මවගේ ඉල්ලීම ඉටු කිරීමේ අරමුණින් මවට ඇති ආදරය තහවුරු කිරීමේ අරමුණින් ඇය ඇගේ රුචිඅරුචිකම් කැපකොට තෝරා ගත් මාවත ඇයට ජය මාවතක් වූයේ නැත. නමුත් ඇය තමාවම අභියෝගයකට ලක් කරමින් සබරගමුව සරසවියේ ව්‍යවහාරික විද්‍යා අධ්‍යයන අංශයේ උපාධි අපේක්ෂිකාවක් බවට පත්වූවාය. විශ්වවිද්‍යාලයට ගොස් ගත කළ මුල් සති කිහිපයේ ඇය සාමාන්‍ය අන්දමින් යහළු යෙහෙළියන් හා සතුටින් අධ්‍යයන කටයුතුවල යෙදුණාය. ඇය "ලස්සනට වැඩ කරගෙන හැමෝමත් එක්ක සුහදව සිටියා." යනුවෙන් ලිපියෙහිද සඳහන් කොට තිබිණි. ඒ අනුව එතෙක් ඇයට කිසිදු මානසික පීඩනයක් තිබී නැති බවට පැහැදිලිය. 2014 මාර්තු 23 විශ්වවිද්‍යාලයට ප්‍රවේශ වූ දිනයේ සිය නවක වධයට මුහුණ දී අසනීප වී නිවෙසට පැමිණියායි සඳහන් වන 2014 අප්‍රේල් 30දා දක්වා ඇය අන් සිසුන් මෙන්ම සාමාන්‍ය පරිදි අධ්‍යාපන කටයුතුවල නිරත වෙමින් සිට ඇත. නමුත් ඇය පවසන ආකාරයට ඇගේ ජීවිතය වඩාත් අවලස්සන වන්නට පටන්ගෙන ඇත්තේ පහත දැක්වෙන සිදුවීමෙන් අනතුරුවය.

එදින උදෑසන විශ්වවිද්‍යාලයෙන් ලැබෙන දුරකථන ඇමතුමකින් අමාලිට අසනීප වී ඇති බවත් ඇයව පැමිණ රැගෙන යන ලෙසත් මවට දන්වා ඇත. ඒ අනුව මව විශ්වවිද්‍යාලයට යෑමෙන් අනතුරුව දකින්නේ මුහුණ කළු වී, ඇස් උඩට ගොස්, මහා බියක් හා චකිතයකින් යුතුව වචනයක් හෝ පවසන්නට උත්සුක නොවන අමාලිවය. ඒ දසුනින් ඇගේ මව වඩාත් කලබලයටත් භීතියටත් පත්වූවාය. ඒ අසල සිටි තැනැත්තියක් ඇයට පවසා තිබුණේ අමාලි නවක වධයට ලක්වීමෙන් ඇතිවූ චිත්ත පීඩාව දරාගත නොහැකිව එම ගොඩනැඟිල්ලෙන් පැනීමටද උත්සාහ කර ඇති බවයි.

එදින අමාලිව රැගෙන හෝමාගම රෝහලට යෑමෙන් අනතුරුව ඇයට සේලයින් ලබාදී තිබිණි. නමුත් වෛද්‍යවරුන් පවසා තිබුණේ ඇයව රෝහලේ නවත්වා යන ලෙසටය. නමුත් අමාලිට ඒ මොහොතේ බරපතළ රෝගී තත්ත්වයක් නොතිබූ බැවින් මව ඇයව නිවෙසට කැඳවාගෙන යෑමට තීරණය කළාය.

ඇගේ මව වරින් වර ඇය සමීපයට ගොස් ඇගෙන් සිදුවූවේ කුමක්දැයි ඇසූ මුත් ඇය ඒ සම්බන්ධයෙන් කිසිවක් නොකී අතර ඇය කිහිපවරක් එකම වචන කිහිපයක් පමණක් පවසා තිබිණි. ඒ මට මැරෙන්නට ඕනා යන්න පමණකි. වෙනදා සිදු වෙන සෑම දෙයක්ම තමාට පවසන දියණියගේ වෙනස් චර්යා රටා ඇගේ මවටද විශාල උභතෝකෝටියක් බවට පත්ව තිබුණු නිසා ඇයව නිවෙසට රැගෙන ඒමට පෙර හෝමාගම පොලිසියට ගොස් පැමිණිල්ලක්ද දැමුවාය. එහිදී ද ඇය පවසා සිටියේ දෙවැනි සිසුවියන් දෙදෙනකු ඇයට අමානුෂික අයුරින් නවක වධය පැනවූ බවක් පමණය. ඔවුන් කුමන අන්දමින් එය කළාද යන්න ඇය පැවැසුවේ නැත. එදින (2014. මැයි 01දා) ඇගේ අමුතු හැසිරීම් සම්බන්ධයෙන් මවද වික්ෂිප්තව සිටියාය. තම දියණියට මෙසේ වන්නට හේතුවක් ඇයට සොයා ගත නොහැකි වූවාය. එදින රාත්‍රියේ ඇය තම නිවෙස අසල පදිංචිව සිටි අමාලිගේ මාමාගේ නිවෙස වෙත ගියේ අමාලි කාමරයේ සිටින බවට තහවුරු කර ගැනීමෙන් අනතුරුවය. ඇය නිවෙසින් පිටත්ව යනවාත් සමඟම අමාලිගේ කාමරයේ විදුලි පහන් නිවුණි.

ඇය සිතුවේ අමාලි නින්දට යන්නට ඇති බවයි. අමාලිගේ මාමාගේ නිවෙසින් ලබා දුන් බත් මුලද රැගෙන ඇය නිවෙසට පැමිණෙන විට ඇය අමාලිගේ කාමරයේ ජනේලයෙන් දුටුවේ කාමරය තුළ ගින්නක් පැතිරෙන ආකාරයයි. ඇය නැවතත් ගොස් අමාලිගේ මාමා කැඳවාගෙන ආවාය. ඔහු ඇගේ කාමරයේ ‍ෙදාර විවර කිරීමට ගත් උත්සාහය ව්‍යවර්ථ වූ බැවින් කාමරයේ ජනේලයේ වීදුරුව බිඳ දමා කාමරයට ඇතුළු වූවේය. එහෙත් අමාලි කිසිදු ප්‍රතිචාරයක් දැක්වූයේ නැත.

ඇය ගිනි දැල් මතුකරමින් ඇවිළෙමින් තිබූ මෙට්ටය මත එක අතක් තබාගෙන මෙට්ටයටම හොඳින් හේත්තු වී බිම වාඩිගෙන සිටියාය. ඇගේ දිගු කොණ්ඩයෙන් කොටසක් හා අතෙහි එක් පෙදෙසකට ඒ වන විට ගිනි ඇවිළෙමින් තිබිණි. නමුත් අමාලිගේ මුහුණෙහි කිසිදු ජීවිතාපේක්ෂාවක් හෝ වේදනාවක් සටහන් වූයේ නැත. ඇය ඒ මොහොත්ද දැඩි කල්පනාවක නිමග්නව සිටියාය. පැතිරෙමින් තිබූ ගින්න නිවූ අමාලිගේ මාමා සහ මව ඇය ඒ මොහොතේම හෝමාගම රෝහලට රැගෙන ගියහ.

අපි කිව්වනේ මේ ළමයාව ඇඩ්මිට් කරන්න කියලා, ඔයාලනේ අරගෙන ගියේ එහෙම කියද්දී, මෙහෙ හිටියා නම් ඔහොම දෙයක් වෙන්නේ නැහැනේ, හෝමාගම රෝහලේ වෛද්‍යවරුන්ගෙන් අමාලිගේ මවට ලැබුණේ එවන් ප්‍රතිචාරයකි. නමුත් ඔවුහු ඉතා යුහුසුලුව අමාලිට අවශ්‍ය ප්‍රතිකාර කිරීමට පටන් ගත්හ. අමාලිගේ අතෙහි කොටසක් දැඩි සේ පිලිස්සී තිබිණි. ඒ නිසා 2014. මැයි 2දා අමාලිව හෝමාගම රෝහලින් කළුබෝවිල රෝහලේ 33 වැනි වාට්ටුව වෙත මාරු කර යැවීමට පියවර ගැනිණි.

ඇය ඇගේ සිත්තැවුලට බලපෑ සැබෑ හේතුව සිතෙහි සඟවාගෙන සිටියාය. මව කොතෙක් ඒ පිළිබඳව ඇසුවත් ඇය පැවැසූයේ දෙවැනි වසරේ ඉගෙනුම ලැබූ මාෂා සහ ඉසුරු ඇයට අමානුෂික අයුරින් නවක වධය දුන් බවත් ඇයට ජීවිතේ එපා වී ඇති බවක් පමණි.
නමුත් පොලිසියෙන් කට උත්තර ලබා ගැනීමට පැමිණි විට වෛද්‍යවරුන්ගේ සහයෝගය හා උනන්දු කිරීම මත ඇය එතෙක් සඟවා සිටි රහස හෙළි කළාය.

ඇය පවසන අන්දමට ඇය විශ්වවිද්‍යාලයට ප්‍රවේශ වූ දින එනම් 2014 මාර්තු 24 දින දෙවැනි වසරේ සිසු සිසුවියෝ ඔවුන්ගේ පළමු වසරේ පළමු සෙමෙස්ටරයේ විභාගයට නිවාඩු ලබා විශ්වවිද්‍යාලයෙන් පිටත්ව ගොස් සිටියහ. එම දෙවැනි වසරේ සිසුන් නැවත විශ්වවිද්‍යාලයට පැමිණෙන්නේ 2014 අප්‍රේල් 20, 21 යන දිනවලදීය. ඔවුන් එතැන් සිට පළමු වසරේ සිසු සිසුවියන්ට රැග් කිරීමට පටන් ගෙන තිබුණේ ශ්‍රී ලාංකේය විශ්වවිද්‍යාල තුළ පවත්නා උප සංස්කෘතිය අනුව දිගු කාලයක් පුරා කරගෙන එන ආකාරයටය.
ඇයට රැග් කිරීමට පැමිණි සීනියර් මුහුණු අතරින් මාෂා සහ ඉසුරු ඇගේ දැඩි අප්‍රසාදයට ලක් විය.

ශිෂ්‍යාවන්ගේ නේවාසිකාගාරය තුළදී ඇයව සොයාගෙන එන මාෂා අතුකෝරාල නම් වූ ශිෂ්‍යාව අමාලි උසස් පෙළ හැදෑරු දේවි බාලිකා විද්‍යාලයේම ආදි ශිෂ්‍යාවක වූවාය. ඇය සමඟ ඇගේ යෙහෙළියක වූ ඉසුරු අකරවිට නම් ශිෂ්‍යාවද නිතරම අමාලි සොයා ආවාය. නේවාසිකාගාරයේදී මාෂා හා ඉසුරුගේ වධ බන්ධනයන්ට ලක්වන අමාලි එදිනම තම මවට පවසන්නේ තමාව නේවාසිකාගාරයෙන් රැගෙන ගොස් බෝඩිමකට ඇතුළු කරන ලෙසයි. ඒ අනුව ඇයට බෝඩිමක නවාතැන් ලැබුණද ඇගේ ප්‍රශ්නයට එය විසඳුමක් වූවේ නැත. විශ්වවිද්‍යාලය තුළදී මාෂා සහ ඉසුරු නිතරම ඇය සොයා විත් පීඩාවට ලක් කළහ. එහි උච්චතම අවස්ථාව බවට පත්වන්නේ මාෂා හා ඉසුරුගේ ඉල්ලීම අනුව දෙවැනි වසරේ පිරිමි ළමුන් කිහිප දෙනකු අමාලිට නවක වධය දීමයි. ඇය වෛද්‍යවරුන්ට හා පොලිසියට පවසා තිබුණේ ඇය කැන්ටිමේ සිටියදී එතැනට පැමිණි මාෂාගේ හා ඉසුරුගේ පිරිමි යහළුවන් ඇයව එතැනින් ඉවතට රැගෙන ගොස් ඔවුන්ගේ ලැප්ටොප් පරිගණකවල තිබූ කාමුක දර්ශන අඩංගු අසැබි චිත්‍රපට බලන මෙන් ඇයට බල කළ බවත්, ඒවා බැලීමෙන් අනතුරුව ඇයටත් එහි රංගනයේ යෙදෙන නිළියන් මෙන් ශබ්ද නඟන ලෙසත්ය.

එසේ නොකළ විට ඇයව ළඟ තබාගෙන එම සිසුන් අසභ්‍ය වදන්වලින් ඇයට බැනවැදී ඇති අතර ඔවුන් ඇයව අපහසුතාවට පත්වන අන්දමින් අසැබි වදන් කියමින් ඇයව දැඩිසේ මානසික වශයෙන් ලිංගික හිංසනයට ගොදුරු කොට ඇත. ඇය ලබා දුන් කට උත්තරයෙන් පසුව මේ පිළිබඳ විශ්වවිද්‍යාලයේ පීඨාධිපතිටද දැනුම් දෙන්නට අමාලිගේ පාර්ශ්වය කටයුතු කළේය. නමුත් අමාලිට ඔහුගෙන්ද නීතියෙන්ද යහපත් ප්‍රතිචාර ලැබුණේ නැත.
නමුත් ඇය නැවතත් විශ්වවිද්‍යාලය වෙත ගියාය. එහිදී ඇය සහ මව කැඳවූ පීඨාධිපතිවරයා මේ පිළිබඳව ඔවුන්ගෙන් කාරණය විමසා ඇත. නමුත් ඇයට නවකවධය දීමට එරෙහිව කිසිවකුත් හඬ අවදි කළේ නැත. ඇය යළි යළිත් මාෂා සහ ඉසුරුගේ වධබන්ධනවලට ලක් වූවාය. නැවත අසනීප වූවාය. වරින් වර අසනීප වීමත් ප්‍රතිකාර ලබා ගැනීමට යෑමත් නිසා ඇයට විශ්වවිද්‍යාලයේ අධ්‍යාපන කටයුතු නිසි පරිදි කරගැනීමට නොහැකි වූවාය. ඇයව මනෝ උපදේශනය සඳහා යොමු කෙරිණි. මනෝ වෛද්‍යවරුන් ලබාදුන් වෛද්‍ය සහතිකවලට අනුව අමාලි ඒ වන විට දැඩි මානසික අවපීඩන තත්ත්වයකට ගොදුරුව සිටියාය. එම වාර්තාවට අනුව ඇගේ රෝගයට හේතුව බවට සඳහන් වූයේ විශ්වවිද්‍යාලය තුළදී ඇය නවකවධයට ලක්වීමයි. එසේ පිළිගත හැකි හා ඇගේ රෝගය වැලඳීමට හේතුව සනාථ කොට ලබා දුන් වෛද්‍ය වාර්තා තිබුණද ඇගේ මානසික පීඩාවට හේතුව මාෂා සහ ඉසුරු නමැත්තියන් දෙදෙනා දුන් නවක වධය බවට තහවුරු කොට කීවද අමාලිට කිසිදු සාධාරණයක් ඉටු වූයේ නැත. අවසානයේදී ඇය ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයට සුහද මාරුවක් ඉල්ලුවාය. නමුත් එම උත්සාහයද ව්‍යර්ථ විය. දිගින් දිගටම එල්ල වූ කායික හිංසාවන් හා මානසික පීඩාවන් දරාගත නොහැකි වූ අමාලි චතුරිකා 2015 පෙබරවාරි 16 වැනිදා සිය නිවෙසේදී ගෙල වැලලාගෙන සිය දිවි තොර කරගත්තේ තම මරණයට මාෂා සහ ඉසුරු වගකිව යුතු බවත් තමාට ඔවුන් උග්‍ර කායික හා මානසික පීඩා එල්ල කළ බවත් ඒ පිළිබඳ විධිමත්, සර්ව සාධාරණ පරීක්‍ෂණයක් තබා තම මරණයට වගකිවයුත්තන්ට දඬුවම් ලබා දෙන ලෙස ඉල්ලමින් ලිපියක් ලියමින්ය.

ඒ 2015 වසරේය. අපි මේ ගෙවමින් සිටින්නේ 2018 වසරයි. ඇය දිවි තොර කරගෙන වසර 3ක් ගෙවී ඇත. ඇගේ මරණයට වගකිවයුතු බවට ඇය තරයේ චෝදනා කරන මාෂා සහ ඉසුරු උපාධිය රැගෙන විශ්වවිද්‍යාලයෙන් පිටත්ව ගොස් අද රැකියාවල නිරත වෙමින් සාර්ථකව තම ජීවිත ගෙවමින් සිටිති. එහෙත් අමාලිගේ සිදුවීම දිය යට තද කොටගෙන සිටි රබර් බෝලයක් මෙන් නැවතත් දිය මතුවට පැමිණ ඇත. ඒ ඇගේ මව නැවතත් අමාලිට සාධාරණයක් ඉෂ්ට කරන මෙන් ඉල්ලමින් නීතිය හමුවටත් මාධ්‍ය අබියසට ගොස් ඇති නිසාවෙනි. තම දියණිය වෙනුවෙන් ඇය තනි සටනක් දියත් කරමින් සිටින්නීය.

එයා කීප වතාවක්ම මැරෙන්න ඕනා කිව්වා. එක පාරක් පොල් තෙල් දාලා ගිනි තියා ගත්තා ගෙදර භූමිතෙල් නැති නිසා. ඊට පස්සේ බෙහෙත් පෙති වගයක් බිව්වා. ඔය විදියට දුව දිගටම හිටියේ හරිම කනස්සල්ලෙන්. ඒ නිසා දේශනවලට යන්නත් බැරිවුණා. එයා බෙහෙත් ගන්නයි උපදේශනවලට යන්නයි තියෙන නිසා අධ්‍යයන වර්ෂය 2015 වෙනකන් කල් දාලා ගෙදර නැවතුණා. ඒ අතරතුර එයාම ගිණුම් සහායිකා ජොබ් එකක් සොයා ගත්තා. හොඳට රස්සාවත් කළා. වැටුපකුත් ගත්තා. මගේ දුව කුලෑටි ළමයෙක් නෙවෙයි. එයා හරි සමාජශීලී දරුවෙක්. නමුත් අසභ්‍ය වචන අහන්න, ඒවගේ විහිළුවලට මුහුණ දෙන්න කොයි ගෑනු ළමයත් ලැජ්ජයිනේ.

කොහොම හරි 2015 මාර්තු 16 අලුත් අධ්‍යයන වර්ෂය පටන් ගත්තා. ඒත් දුව කැම්පස් යන්න බය වුණා. ඉගෙන ගන්න ආස නිසා ගියත් එයාට තිබුණු කරදර අඩු වුණේ නැහැ. දවසක් බස් එකේදී ඔය එයාට රැග් කළා කියන මාෂා, ඉසුරු කියන ළමයි දෙන්නා මාත් ඉද්දිම අමාලිට හිරිහැර කළා. මාෂා බලෙන්ම වගේ අමාලිගේ ඇඟට බර වෙලා තල්ලු කළා. බස් එකේ සෙනඟත් හිටියේ නැහැ. අනිත් ළමයා බස් එකෙන් බහින කොට අමාලිට වැළමිටෙන් ඇනගෙන ගියා. මම ඇහුවා ඇයි එයාලා එහෙම කළේ කියලා. එතකොට අමාලි කිව්වා එයාලා තමයි මට කරදර කරන්නේ. එයාලා හරිම නපුරුයි කියලා. අමාලි ඒ ළමයි දෙන්නට හරිම බයෙන් හිටියේ.

2015.02.15දා මම වෙනදා වගේ කාලා බීලා නිදාගන්න හැදුවා. මම දැක්කා දුව රෑ 8.30ට විතර මේසය ගාව වාඩිවෙලා ඉන්නවා. වෙනදාටත් දුව රෑට පාඩම් වැඩ කරන නිසා මම හිතුවා පාඩම් කරනවා කියලා. ඉතින් මම නිදාගත්තා. මම පසුදා පාන්දර 3.15ට විතර නැඟිට්ටා උයන්න. එතකොටත් දුව මගේ ඇඳේම නිදාගෙන හිටියා. මම 5.45ට රස්සාවට යන්න හදන කොට දුව වෙනදා වගේම නැඟිටලා මට දණගහලා වැන්දා. මට එදා උදේ සම්මන්ත්‍රණයකට සහභාගි වෙන්න තිබුණා. ඒක ඉවර වෙලා දුවට කතා කරන්න බලන කොට කෝල් කරන්න තරම් ෆෝන් එකේ සල්ලි තිබුණේ නැහැ. ඒ නිසා මම දුවට මැසේජ් එකක් දැම්මා මට කෝල් කරන්න කියලා. නමුත් දුවගෙන් ප්‍රතිචාර ලැබුණේ නැහැ.

මට බය හිතුණා. ඒ නිසා මම මගේ ගේ ගාව පදිංචි වෙලා ඉන්න මගේ මල්ලිට කිව්වා ගෙදර ගිහින් අමාලිව බලන්න කියලා. එයාලා බලනකොට මගේ දුව ගෙදර එල්ලිලා හිටියාලු. ඒ වෙනකොටත් මගේ දුවගේ හුස්ම ටික ගිහින් ඉවරයි. මට උහුල ගන්න බැරි වුණා. මට හිතාගන්න බෑ මගේ දුවට මැරෙන්න තරම් කැම්පස් එකේ අර ළමයි රැග් කරනවා කියලා මොනාද කළේ කියලා. කාමරේ තිබිලා දුවගේ අවසාන කැමැත්තෙන් ලියපු ලියුමකුත් ලැබුණා. ඒ ලියුම හෝමාගම රෝහලේදී මරණ පරීක්‍ෂකවරයාට හෝමාගම පොලිසියට භාර දුන්නා. සති 3කට පස්සේ මම ගිහින් ආයෙත් හෝමාගම පොලිසියේ පැමිණිල්ලක් දැම්මා. ඒ අතරතුර කාලයේදී දුව ලියපු තවත් ලියුමක් මට හම්බ වුණා. මිය යන්න කලින් දවසේ රෑ 10.00ට විතර තමයි ඒක ලියලා තියෙන්නේ. එදා දුව පාඩම් කරනවා කියලා හිතලයි මම නිදාගත්තේ.

දුවගේ මරණය ගැන මාධ්‍යවලින් පවා පෙන්නුවා. සැකකාර ශිෂ්‍යාවෝ ගැනත් කිව්වා. නමුත් අද වෙනකන් මගේ දුවට කිසිම සාධාරණයක් ඉෂ්ට වෙලා නැහැ.

2014.06.16දා සබරගමුව විශ්වවිද්‍යාලයේ ව්‍යවහාරික විද්‍යා පීඨයේ පීඨාධිපති මහාචාර්ය ආර්.එම්.යූ.එස්.කේ. රත්නායක මහත්මයාගෙන් මගේ දුවගෙ කැම්පස් එක මාරු කරලා දෙන්න කියලා ඉල්ලීමක් කළාම ඔහු විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවට ලිපියක් දුන්නා. දුවට ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයට යෑමට අවසර දෙන්න කියලා ඒ ලිපියේ සඳහන් වෙනවා. මගේ දුව අමාලි චතුරිකා සබරගමුව විශ්වවිද්‍යාලය තුළදී නවකවධයට භාජන වුණාට පසුව ඒ සිදුවීමේ ප්‍රතිඵලයක් විදියට ඇය මානසික පීඩාවට ලක්වෙලා තියෙනවා. ඒ නිසා ඇය සියදිවි නසා ගන්න පවා තැත් කරලා තියෙනවා. විශ්වවිද්‍යාලයේ ඉල්ලීම මත මගේ දුව මානසික ප්‍රතිකාර ලබමින් සිටින නිසා වෛද්‍යවරුන්ගේ නිර්දේශ මත දුවගේ නිවෙසට ළඟ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයට ඇතුළුවීමට අවසර දෙන්න කියලා. පීඨාධිපතිවරයාත් පිළිගන්නවා දුව කැම්පස් එකේදී නවකවධයට ලක්වෙලා තමයි ලෙඩ වුණේ කියලා. නමුත් නවකවධය දුන්න අයට විරුද්ධව කිසිම පියවරක් ගත්තේ නැහැ.
අනිත් කාරණය තමයි මේ ගැන හෝමාගම පොලිසියෙන් පරීක්‍ෂණ කරන කොට එවකට විශ්වවිද්‍යාලයේ උපකුලපතිව සිටි මහාචාර්ය චන්දන උඩවත්ත මහත්තයා මේකෙන් කැම්පස් එකේ කීර්තිනාමයට හානියක් වෙනවා කියලා දුවගේ සිදුවීමට අදාළ සාක්‍ෂිවත්, තොරතුරුවත් ගන්න දුන්නේ නැහැ. හෝමාගම පොලිසියේ එවකට ස්ථානාධිපතිව හිටපු නිලධාරියාත් මේ ගැන සොයන්න ඒ තරම් උත්සාහ ගත්තේ නැහැ. සාක්‍ෂි හොයලා නඩු පවරන එක දවසින් දවස මඟහැරියා.

මගේ දුවට රැග් කරපු මාෂාත් දේවි බාලිකාවෙම ඉගෙන ගෙන තියෙන්නේ. නමුත් මගේ දූ විශ්වවිද්‍යාලයට යන්න කලින්ම ඛ්ධ්ර්ඒ පාඨමාලාවේ තුන්වැනි අදියර නිමා කරමින් සිටියේ. එයා ගොඩක් දක්‍ෂ ළමයෙක්. සමහර විට මාෂාට ඒ ගැන ඊර්ෂ්‍යාවක්, ද්වේෂයක් තියෙන්න ඇති. මට හිතෙන්නේ ඒ නිසයි දුවට මේ තරම් පීඩා කරන්න ඇත්තේ. රැග් කරනවා කියලා මෙයාලා මගේ දුවට කරලා තියෙන්නේ මානසිකව කරපු ලිංගික හිංසන. නමුත් අද මගේ දුව ජීවතුන් අතර නැහැ. අවුරුද්දක් විතර අප්‍රමාණ දුක් විඳලා විඳලා එයා මැරිලා ගියා. නමුත් මගේ දුවව ඒ තත්ත්වයට පත් කරපු අය අද හොඳින් ඉන්නවා. මම කාටවත් සාප කරන්නේ නැහැ. නමුත් මම මගේ අහිංසක දරුවාට කරපු දේ වෙනුවෙන් ඒ හැමෝටම සාප කරනවා. මම අද ජීවත් වෙන මළ කඳක්. මම හැමදාම හිතින් මැරි මැරී උපදිනවා. මට මතක් වෙන්නෙම මගේ අහිංසක දරුවාගේ අහිංසක හිනාව. ඇයි මගේ දරුවට මෙහෙම කළේ. ඇයි මගේ දරුවාව මරා ගත්තේ. මගේ දරුවා මැරෙනකොට බලාපොරොත්තු වුණේ ඇගේ මරණයට සම්බන්ධ සියලු දෙනාට දඬුවම් ලැබීමත්, විධිමත් සර්ව සාධාරණ පරීක්‍ෂණයක්. නමුත් අද වෙනකම් හැමෝම නිශ්ශබ්දයි. නමුත් මම මගේ සටන අතහරින්නේ නැහැ.

ඇය හඬන්නීය. විටෙක බරැති සුසුම් හෙළන්නීය. නමුත් ඇය තම දියණිය වෙනුවෙන් එකම අරමුණක සිටින්නීය. ඒ ඇගේ මරණයට වගකිවයුත්තන් නීතිය අභිමුවට පැමිණවීමේ අභිලාෂයයි. ඇය අමාලි සමඟ විශ්වවිද්‍යාලයේ සිටි යහළු යෙහෙළියන්ගෙන් කාරුණික ඉල්ලීමක්ද කරන්නීය. ඒ අමාලි විඳි කටුක අත්දැකීම් ගැන දන්නා කවුරු හෝ වේ නම් නීතිය හමුවට පැමිණ ඒ පිළිබඳ සාක්‍ෂි ලබාදී අමාලිට සාධාරණයක් ඉටු කරන ලෙසයි.
ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ වගන්ති මඟින් සියලුම ලාංකේය පුරවැසියන්ගේ මානව හිමිකම් සුරක්‍ෂිත කිරීමට පියවර ගෙන ඇත. එය රටටම බලපවත්නාවූ උත්තරීතර නීතියයි. යම් අයකු විසින් ඕනෑම පාර්ශ්වයකට කරනු ලබන අමානුෂික, ම්ලේච්ඡ හෝ අවඥා සහගත සැලකීමක් මානව හිමිකම් උල්ලංඝනය කිරීමක් සේ දක්වා ඇත. විශ්වවිද්‍යාලයක් තුළද බලපවත්වන්නේ මේ රටේ බලපවත්වන්නාවූ පොදු නීතියයි. ඒ නිසා එම ආයතනයන් තුළ කවරකුගේ හෝ මානව අයිතිවාසිකම් උල්ලංඝනය වනවා නම් පොදු නීති ප්‍රකාරව දඬුවම් ලබා දිය යුතුය. නමුත් වසර තුනක් ගත වන තෙක් අමාලිට කිසිදු සාධාරණයක් ඉෂ්ට නොවූවේ මන්දැයි ගැටලු සහගතය.

එසේ සිදුවන්නේ විශ්වවිද්‍යාල සිසුන් මේ රටෙහි ජීවත්වන පුරවැසියන් සේ නොසලකන නිසාද එසේත් නැතිනම් නවකවධය දීම වෙනුවෙන් ක්‍රියාකරන ශිෂ්‍ය කණ්ඩායම් මෙහෙයවන බළල් හස්තයන් රටේ උත්තරීතර නීතියට වඩා ප්‍රබල නිසාදැයි දන්නේ නැත. කෙසේ වෙතත් රටේ බුද්ධිමතුන්, විද්වතුන් බිහි කරන විශ්වවිද්‍යාල පද්ධතීන් හා අනෙකුත් උසස් අධ්‍යාපන ආයතනයන්ට හා පාසල් පද්ධතීන්ට බලපෑම් කරන්නා වූ මෙම කැලෑ නීතිය තවදුරටත් පෝෂණය කළ යුතු නැත. අද වන විට මෙය ටියුෂන් පන්තියට, කාර්යාලයට, මංගල සාදයට, උපන් දින පාටියට, පන්සලේ ආවාස ගෙට පවා රිංගාගෙන හමාරය. තවදුරටත් නීතිය අවනීතිය කොටගෙන මුළු මහත් සමාජ සංස්ථාවම අතික්‍රමණය කරමින් සිටින හිංසාකාරී 'නවකවධය'ට තිත තැබීමට කාලය පැමිණ ඇත.


gossip lanka