ඉන්දියාවේ 100 වැනි ගුවන්තොටුපලත් මෝඩි විවෘත කරයි - (video)

ඉන්දියාවේ 100 වැනි ගුවන් තොටුපළ අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝඩි විසින් ඊයේ දින විවෘත කරනු ලැබූ අතර සිකිම්හි පිහිටි එය ලොව ඇති සුන්දරතම ගුවන් තොටුපළ අතරින් එකක්‌ ලෙසට මත ඉදිරිපත්ව තිබේ. කඳුකර ප්‍රදේශවලින් ගහන වූ සිකිම්හි ලොව තෙවැනි උසම කන්ද ලෙස සැලකෙන කාන්චෙන්ජුංගා පිහිටා තිබේ. මෙම ප්‍රාන්තය ටිබෙට්‌, භූතානය සහ නේපාලය යන රටවල දේශ සීමා ආසන්නයේ පිහිටා ඇත. පක්‌යොංහි පිහිටි සිකිම් ප්‍රාන්තයේ පළමු ගුවන්
තොටුපළ වන මෙය, ඉංජිනේරු ශිල්පයේ විස්‌මයක්‌" ලෙස හඳුන්වයි.

චීන දේශ සීමාවේ සිට කිලෝ මීටර් 60 ක්‌ පමණ දුරින් පිහිටි පක්‌යොං ගම්මානයට අයත් කඳු වැටියක්‌ මත එය ඉදිකර තිබේ. මුහුදු මට්‌ටමේ සිට අඩි 4500 ක්‌ ඉහළින් පිහිටි එය අක්‌කර 201 ක භූමි ප්‍රදේශයක්‌ පුරා පැතිරී ඇත.

එකවර ගුවන් මගීන් 100 දෙනකුට සේවා සැලසිය හැකි පරිදි ඉදිකර ඇති මෙහි ගුවන් ධාවන පථය කිලෝ මීටර් 1.75 ක්‌ දිගය.

ගුවන් ධාවන පථය ඉදිකළ ඉන්දීය සමාගමේ ප්‍රකාශකයෙකු පැවැසුවේ කන්දක්‌ මත ඉදිකිරීමට සිදුවීමත්, අයහපත් කාලගුණයත් නිසා මෙම 9 අවුරුදු ව්‍යාපෘතිය අතිශය අභියෝගාත්මක සහ විස්‌මිත එකක්‌ වූ බවය.

ඔක්‌තෝබර් මස 4 වැනිදා සිට මෙම ගුවන් තොටුපළ හරහා පක්‌යොං සිට වාණිජ ගුවන් ගමන් මෙහෙයුම් ආරම්භ කිරීමට නියමිතය.

සිකිම් ප්‍රාන්තය කඳුවැටි, ග්ලැසියර මෙන්ම ඉහළ මට්‌ටමක පිහිටි වැව්වලින් පිරී ඇති අතර මෙම ගුවන් තොටුපළ ඉදිකිරීමේ අරමුණ වී ඇත්තේ එම ප්‍රාන්තයේ සංචාරක කර්මාන්තය ඉහළ නැංවීමය.