gossip lanka

ලස්සන කියන්නෙ අත්‍යාවශ්‍ය දෙයක් නෙවෙයි

නව පරපුරේ සිටින දක්‍ෂ ගායිකාවක් ලෙසට මෙන්ම රූපලාවන්‍ය ශිල්පිනියක් ලෙසට අභිෂේකා විමලවීර හැඳින්විය හැකිය.අපි අද ඇය හමුවුණෙමු.

කාන්තාවකට ලස්සන කොච්චර වැදගත්ද?

ම්... කාන්තාවකට පමණක් නෙවෙයි, කිසිම පුද්ගලයෙකුට ලස්සන අත්‍යවශ්‍ය දෙයක් ලෙසට මා දකින්නෑ.  ඕනෑම පුද්ගලයෙකු ප‍්‍රියමනාපව, සතුටින්, නිරෝගිව සිටිනවා නම් එය ඉතා වැදගත්. ස්වභාව ධර්මයෙන් සෑම පුද්ගලයෙකුටම උරුම වූ රූප
ස්වභාවයක් තියෙනවා. ඇතැම් අය ලස්සන වෙන්න සිතා තමන්ගේ ස්වරූපයන් වෙනස් කර ගන්න යම් යම් දේවල් කරනවා. නමුත් මගේ පෞද්ගලික මතය නම් තමන් තමන්ම විය යුතුයි.

වර්තමානයේ බොහෝ පිරිසක් සුදුවීම ලස්සන කියා සිතා, සුදු වෙන්න උත්සාහ කරනවා. ලස්සන වීම යන සුදුවීමද?

පැහැපත් නිරෝගි සමක් කාන්තාවකට ආභරණයක්. සුදුවීම ලස්සන කියා සිතා තමාගේ ස්වරූපය, පවා වෙනස් වෙලා කැත වුණු අය  ඕන තරම් ඉන්නවා. ඒ නිසා හැමදේම හැමෝටම ගැලපෙන්නේ නැහැ.

සාර්ථක විවාහ ජීවිතයකට කාන්තාවකගේ ලස්සන වැදගත්ද?

ලෝක ප‍්‍රකට බියුටි ක්වින්ලා විවාහ කරගත් පිරිමි, ඔවුන් සමඟ ජීවත්වීමට නොහැකිව ඔවුන්ට ළඟින්වත් තියන්න බැරි ලස්සනින් අඩු කාන්තාවන් සමඟ නැවත විවාහ වී සාර්ථක විවාහ ජීවිත ගත කරන අයුරු අපි  ඕනෑ තරම් දැක තිබෙනවා.

කොච්චර ලස්සන වුණත් කාන්තාවකගේ අතින් ඉටුවිය යුතු වගකීම්, යුතුකම් සම්භාරයක් තිබෙනවා. ඒ සියල්ල ඉටු නොකර කොච්චර ලස්සන වුණත් කාන්තාවකගෙන් වැඩක් නැහැ.

ලස්සනට ඉන්න කරන්න පුළුවන් සුළු ප‍්‍රතිකර්ම කිහිපයක් කියන්න පුළුවන්ද?

අද වන විට රූපය ලස්සන කර ගන්න ලෝකයේ ලක්‍ෂ ගණන් වලට අලෙවි වන ආලේපන වගේම ඉතාම අඩු මුදලට විකිණෙන ආලේපන වර්ග තිබෙනවා. ස්වභාවිකව සකසා ගත් ආලේපනයක් පවා සෑම කෙනෙකුටම එකලෙස ගැලපෙන්නේ නැති වෙන්න පුළුවනි. කොහොඹ කොළ ගෑවාම හම පිරිසිදු වෙනවා කියා, එම ආලේපනය හැමෝටම කරන්න කියලා කියන්න බැහැ. ඇතැම් අයට කොහොඹ, කෝමාරිකා පමණක් නොවේ කහ පවා අසාත්මික විය හැකියි. එම නිසා කිසිම දවසකට එක්කෙනෙකුට දෙන ආලේපනයක්, තවත් කෙනෙකුට සුදුසු නොවිය හැකියි. ඒ නිසා තමන්ගේ සමේ ස්වභාවය, දැනට භාවිත කරන අනෙකුත් ඖෂධ ගැන මෙන්ම රටට, දේශගුණයට ගැලපෙන නිෂ්පාදනයන් තෝරා ගන්න නිතරම උත්සාහ ගත යුතුයි. පලාවර්ග කන එක ඇඟට ගොඩක් ගුණයි. ඒත් වකුගඩු රෝගියෙකුට අපිට කියන්න බැහ කොළ කන්න කියලා.

අනුකරණය ලස්සන වීමට වැදගත්ද?

අන්තිම භයානකයි. කවුරුත් ගාන ක‍්‍රීම් වර්ගයක්, කවුරුත් බොන විටමින් වර්ගයක්, කාගේවත් කොණ්ඩ මෝස්තරයක් තමන්ට යොදාගැනීමට පෙර එය තමන්ට කොච්චර ගැලපෙනවාද කියා දෙවරක් සිතන්න. කාගේවත් දේවල් කාටවත් ගැලපෙන්නෑ.

නිරෝගිකම ආරක්‍ෂා කර ගනිමින් ලස්සනට ඉන්න කුමක්ද කළ යුත්තේ.

උදෑසන අවදිවීම නිරෝගිකම ආරක්‍ෂා කර ගන්න අත්‍යවශ්‍ය දෙයක්. ආයුර්වේදයේ පෙන්වා දෙන්නේ පුද්ගලයෙකු බ‍්‍රහ්ම මූර්තියෙන් අවදිවී දිනයේ කටයුතු සැළසුම් කළ යුතු බවයි. පුද්ගල නිරෝගිකමට ඉවහල් වන වේගයන් දෙකක් තිබෙනවා. එකක් පිටකළ යුතුයි. අනෙක රඳවා තබාගත යුතුයි. බඩගින්න, තිබහව, නිද්‍රාව, මළ මුත‍්‍රා, වමනය ආදීය දරා නොසිටිය යුතුයි. ඊර්ෂ්‍යාව, තරහාව, වෛරය, ක්‍රෝධය, සිත තුළ සඟවාගෙන නොසිට පිට කළ යුතුයි. නමුත් බොහෝ පිරිස මේ දෙක පටලාවගෙන නිරෝගිකමට තර්ජනයක් වන දේවල් තමයි බහුලවම කරන්නේ.

නිරෝගිකම රැකගන්න ආහාර පාන ගැනීමේදී සැළකිලිමත් විය යුතුයි නේද?

ඔව්. ස්වභාවික ආහාර පාන ආහාරයට ගෙන ජලය අවශ්‍ය ප‍්‍රමාණයට ගැනීමත් දෛනිකව සුදුසු ව්‍යායාමයක නිරතවීමත් නිරෝගිකම වෙනුවෙන් කළ හැකි සරළ දේවල්.

තම්බපු සහල්, කුරුට්ට සහිත සහල් සහ රතු කැකුළු සහල්, නැවුම් එළවළු, පලතුරු, හැකි සෑම වෙලාවේදීම ගැනීම ඉතාම වැදගත්. තෙල් කෑම, පිටි සහිත කෑම වගේම ශරීරයට උෂ්ණ සහිත ආහාර ගැනීමෙනුත් වැළකී සිටීම වැදගත්. මනස නිරවුල්ව තබාගෙන, නිවැරැුදි ආහාර රටාවකට හුරුවීම, තරහව, ක්‍රෝධය, ඊර්ෂ්‍යාව, වෛරයෙන් බැහැරවීම ආදී සරල පිළිවෙත් ක‍්‍රියාත්මක කිරීමට හැකිනම් ලස්සන වීම කෙනෙකුට අපහසු දෙයක් නොවේ.



අසුන්තා එදිරිසූරිය / ඡායාරූප: කවීත් මිලින්ද

gossip lanka