'වික්ටර්' කියලා කිව්වොත්, ලංකාවටම එකයි

මේ නම කණ වැකෙනකොටම මතකය ඉගිල්ලිලා යන්නේ අපේ පාසල් සමයට. මට මතක විදියට ඒ අපේ පාසල් ජීවිතයේ අවසාන වසර. යොවුන්විය එලිපත්තේ ඉන්න වයස. සෞන්දර්ය වපසරියෙ එවක තිබුණු ප්‍රබලතම මාධ්‍යය සිනමාව වුනත්, මහනුවර නගරයටම ඇවිත් චිත්‍රපටයක් නැරඹීමේ හැකියාවක් අප වැනි ළමුන්ට තිබුණේ නෑ. ඉඳහිට හඟුරන්කෙත ඇසළ පෙරහැරට අටවන කූඩාරමක සිනමා පටයක් නැරඹුවොත් මිසක. ඒකත් එවකට තිබුණු පැරණිම චිත්‍රපට. මේ හින්දම අප පිනවූ ඊළඟ සන්නිවේදන
වාහකය වුණේ ගුවන්විදුලිය.

සරසවි පිවිසුම්පෙළ විභාගයට ලහි ලහියේ පාඩම් කරමින් හුන් අපට ගුවන්විදුලියෙන් විසිරෙන අලූත්ම අලූත් හැඩයේ නැවුම් ගීයක් නිසා දෙසවන් එයින් ගලවාගන්න අපහසු වුණා. නැවත කොයි මොහොතේ හෝ එකී මියුරු ගායනය මතුවී එතැයි හිත අපේක්ෂාභරිත වුණා. ගුවන් විදුලියෙන්ම හැරෙන්න ගීතයක් රස විඳගැනීමේ වෙනත් මානයක් නොවූ බැවින්. ඇස පාඩම් පොතේ රැඳුනත්, දෙසවන ගුවන්විදුලි යන්ත්‍රය අසලම එකල මෙකල වුණා. සති දෙක තුනක් ඇතුළත පන්තියේ විවේක හැම මොහොතකම මේ රසාලිප්ත ගීතය හැම කොලූවෙකුගෙම දෙතොල් අතර තෙරපෙමින් තිබුණ. කෙනෙක් එම තනුව නිබඳවම සුරුවම් බෑවා. යොවුනන්ගේ එකම රසවතිය එකම පෙම්වතිය බවට මේ ගීතය අභිෂේක ලැබුවා.

....... සිහිල් සුළං රැල්ලේ

ඔබේ සුවඳ මුසුවේ.......

මගේ ඒ මතකය පියාඹා ගියේ එක්දහස් නවසිය හැටහය වසරට. හීතල කඳුකරයේ පොරමඩුල්ල මැදිවිදුහල් පන්ති කාමරයකට. දැන් ඉතින් අඩසියවසකටත් වැඩි කාලයක් ගෙවිලා ගිහිල්ලා. ඒ වුණත්, ඒ සොඳුරු සිහිල් සුළංරැල්ල තවමත් අප හදවතේ සුවඳ දෙනවා? එදා මෙදාතුර අප වයසින් වැඞී ජීවිතයේ අවපස වෙත ළඟාවුවත්, සිහිල් සුළං රැල්ලේ දවටා සෝක සැනසුම් වේදනාවන් මිහිරෙන් කැළැතූ ඒ මධුර මනෝහර ගායනා කෞශල්‍යය අදටත් භද්‍රයෞවනයේම රැඳී පවතිනවා.

වසර පනහකට අධික කාලයක් මුළුල්ලේ ශ්‍රී ලංකාවේ මෙන්ම, ශ්‍රී ලංකාවෙන් පිටත වෙසෙනා ශ්‍රාවක රසිකයන්ගේද ගී රසාස්වාදය ප්‍රමෝදවත් කළ වික්ටර්, සංවිධිත දීර්ඝ ඉතිහාසයක් නොමැති ශ්‍රී ලාංකේය ගීත විකාශන ධාරාවෙහිලා හුදු ගායකයෙකු ලෙස පමණක්, නම් කිරීම නිවැරදි නොවන වගයි අපගේ කියැවීම, සිංහල ගීත කලාව විෂයයෙහිලා හැරවුම් ලක්ෂ්‍යයක් සටහන් කළ, එම ශිල්පය, ‘කලාව’ නම් වූ පුළුල්, ගැඹුරු, සංකීර්ණ වපසරිය තුළ සාධනීය අයුරින් ස්ථාපිත කිරීමෙහිලා පුරෝගාමී මෙහෙවරක් කළ සෞන්දර්යවේදියකු ද ඒ තුළ වන බව විශේෂිතව සටහන් කළ යුතුයි.

ශාන්තිකර්ම, යාතුකර්ම, බලිතොවිල් ආදියෙහි පැනෙන නාද රටා තුළ ඉපැදී සොකරි, කිඳුරු, කෝලම් වැනි ගැමිනාටකයන් හී ඇතුළත්, කොට කවි, දිගුකවි ඔස්සේ ඉදිරියට විත්, පාස්කු, නාඩගම් ආකෘතීන් තුළ වර්ධනය වී, නූර්ති නාටකයේදී මධුරස්වරයෙන් කලඑළි දුටු කේවල ගීතය, ශ්‍රී ලාංකික ශ්‍රාවක රසවතුන් අතර ප්‍රචලිතවන්නට පටන්ගන්නේ නොසිතූ වේගයකින්. දහනවවැනි සියවසෙහි අග කාර්තුවේදී සහ විසිවැනි සියවසෙහි මුල් කාර්තුවෙහි නුර්ති රංගශාලා කරා ජනී ජනයා රොද බැඳගත්තේ හුදෙක් නාට්‍ය නැරඹීමට වඩා ගීත රස විඳීමට බව පොතපතෙහි සටහන් වෙනවා. නාඩගමේදී දක්ෂිණ භාරතීය කර්නාටික රාගධාරී සංගීතය මගින් මෙන්ම නුර්තියේදී උත්තරභාරතීය හින්දුස්ථානී රාගධාරී සංගීතය මගින් අනුප්‍රාණය ලැබූ සිංහල ගීතය, ශ්‍රී ලාංකික සෞන්දර්ය ක්ෂේත්‍රය පුරා අතිශය ජනප්‍රිය කලා අංගයක් බවට පත්වුනේ එය අපගේම මූලයකින් පැවැත එන ධාරාවක්ය වැනි විශ්වාසයකින්. කෙසේ වෙතත් සිංහල ගීතය එක්තරා අන්දමකින් සංවිධානාත්මකව ස්ථාපිත වෙන්නෙ විසිවැනි සියවසෙහි මුලපටන් නගර ගම් දනම් පුරා පැතිර යන ග්‍රැමපෝන් යන්ත්‍රයේ අනුභාවයෙන් එච්.එම්.වී. කොලොම්බියා, පාර්ලෝෆෝන්, ඕඩියන් වගේ ගී තැටි කපන සමාගම්වලට ගීත ගායනා කළ රුක්මණිදේවි, කේ.කේ. රාජලක්ෂ්මී, ඒ.ආර්.එම්. ඊබ්‍රහිම්, ලාතීෆ්බායි, ලක්ෂමීබායි, එච්.ඩබ්. රූපසිංහ, ස්ටැන්ලි මල්ලවාරච්චි, ගේ‍්‍රටා ජෙනට් ආදීන්ගේ මධුර ස්වරය ගීතය නම්වූ සංක්ෂිප්ත කලා මාධ්‍යය වඩාත් ජනතාව අතරට රැගෙන ගියා.

මින්පසු එක්දහස් නවසිය තිහ දශකයේදී ඉන්දියාවේ සිට රවීන්ද්‍රනාත් තාගෝර්තුමා ලංකාවට සැපත් වීම සහ රවීන්ද්‍ර සංගීතය හඳුන්වා දීම, බොහෝ සිංහල ගායකයන් සහ සංගීත වේදින් වංගදේශයේ ශාන්ති නිකේතනයට ගොස් විධිමත් සංගීත අධ්‍යයනයක් ලැබීම, සුනිල් ශාන්ත, ආනන්ද සමරකෝන්, අමරදේව වැන්නන් එකී අධ්‍යයනයන් පාදක කර ගනිමින් දේශිය සංගීත රටාවක් ගොඩ නැංවීමට ස්වකීය නිර්මාණශ්‍රමය වැයකිරීම, මකුලොලූව, සී.ද එස්. කුලතිලක, ලයනල් රංවල, රෝහණ බැද්දගේ වැන්නවුන් දේශීය ජනගායනා සහ නාදරටා අනුසාරයෙන් සිංහල ගීතයේ අපේ උරුමය සොයා යාම ආදී වූ සංසිද්ධීන් නූතන සිංහල ගීතයේ උදාවට සහ උද්දීපනයට බෙහෙවින්ම ඉවහල් වුණු බව ඉතා පැහැදිලියි.

අපේ යුගයේ වික්ටර් ස්වකීය ගායනා කෞශල්‍යයන් සංගීතඥයන් කැටුව ගීත කලාවට පිවිසෙන්නේ මේ පසුබිම යටතේ. ඔහු උපත ලබන්නේ එක්දහස් නවසිය හතළිස් දෙක වසරේදී. ඒ කන්ද උඩරට කඩුගන්නාව සොඳුරු ගම්පියසේ. මව්පිය දෙපළ වුනේ රත්නායක වෙද මහතා සහ අබේකෝන් මුදියන්සේලාගේ සුමනාවතී. පියා ඇපොතිකරි කෙනෙක් වශයෙන් වෘත්තියේ යෙදී සිටියත්, සංගීතයට ඇලූම් කරන්නෙක් වුණා. ඉඳහිට නූර්ති ගීයක් දෙකක් ගායනා කළා. සියපුතු වික්ටර්ගේ ගායන හැකියාවක් පිළිබඳව පාසලෙන් ලද ආරංචිය මත පියා වික්ටර්ට නවවැනි උපන් දිනයේදී හාර්මෝනියම් වාද්‍ය භාණ්ඩයක් තිළිණකොට දීම සංගීතය කෙරෙහි වික්ටර් තුළ වූ ආදරයේ උල්පත බවට පත්වෙනවා.

සංගීතය විෂයෙහි ලා උපතින් ගෙනා යම් වාසනා ගුණයක් හඳුනාගන්නා වික්ටර් තම ආශාවද මුවහත් කරමින් විධිමත් ලෙස ගීතයෙහි සහ සංගීතයෙහි අක් මුළු සොයායාමට පෙළැඹෙනවා. එහි මූලාරම්භක අවස්ථාවක් උදාවෙන්නෙ එක්දහස් නවසිය පනස්හත වසරේදී එනම්, එවකට කන්ද උඩරට කීර්තිමත් සංගීත ආචාර්ය වරයෙක් ලෙස පන්ති පැවැත්වූ සිරිල් පෙරේරා ඇඳුරානන්ගේ මුල්ගම්පල පිහිටි සරසවි කලායතනයට ඇතුළත්වීමයි. එහිදී වික්ටර් ගේ අධ්‍යාපනය වුනේ ගායනය පමණක් හැදෑරීම නොවේ. ඒ හා සමගාමීව වාදනයත් ප්‍රගුණකර ගැනීම. ඔහු තෝරාගත් වාද්‍යභාණ්ඩය වුණේ වයලීනය.

ඔහුගේ සංගීත දිවියේ මීළඟ සවිමත් කඩඉම බවට පත්වන්නේ සංගීත අධ්‍යයනය පිළිබඳව එවකට සිරිලක ප්‍රමුඛතම තක්සලාව වශයෙන් ගිණිය හැකි හේවුඞ් ආයතනය හෙවත් රජයේ සංගීත විදුහල වික්ටර්ගේ නිර්මාණ දිවිය පෝෂණය කළ විශිෂ්ට ගුරුවරුන් යටතේ සංගීතය හදාරන ඔහු ගායනය, වාදනයට අමතරව ගේයපද රචනය පිළිබඳව ද උනන්දුවක් දැක්වූවා. බුදුගුණ වර්ණනාවන ගී රචනයක් පළමුවතාවට නිමවන හෙතෙම එය ගුවන්විදුලියේ විකාශය සඳහා ඉදිරිපත් කරනවා.

රජයේ සංගීත විද්‍යාලයෙන් අධ්‍යාපන කටයුතු නිමවා ඉන් පිටවන වික්ටර් ස්වකීය ජීවන චාරිකාවේ තවත් වැදගත් ඉසව්වක් සටහන් කරන්නෙ එක්දහස් නවසිය හැටහය වසරෙදි. ඒ, අධ්‍යාපන අමාත්‍යාංශයේ සංගීත උපදේශක තනතුරක් ලබමින් බණ්ඩාරවෙල ඇත්තලපිටිය මහාවිද්‍යාලයේ සේවයට වාර්තා කිරීමෙන්. කඳුකර අඩවියක අතිශය සුන්දර ගම්පියසක් වූ ඇත්තලපිටිය, ඔහුගේ සෞන්දර්යකාමී ජීවිතයට එකතු කළේ අපූරු සිතුවිලි සමුදායක්. නිවාඩු සමයකදී අගනුවර මිතුරුකැළ සමග සාමීචියේ යෙදෙන වික්ටර්, ගැමි දරුවනට සිප් සතර බෙදාදෙන සෞන්දර්ය ස්වභාවයෙන් අනුන වූ කඳුකර ගම්පියස ගැන කරන අපූරු වර්ණනය විඳින සේන වීරසේකර ප්‍රාණසරි මිතුරාණන්ව උනන්දු කරවන්නේ එම පසුබිමෙන් ගීතයක් රචනා කරවා ගන්න. ලිපිය ආරම්භයේදී අප රසවිඳිමින් සටහන් කළ ‘සිහිල් සුළං රැල්ලේ’ පදපෙළ වීරසේකරයන් මුමුණන්නේ මෙබඳු සොඳුරු මිතුරු හමුවකදී වියහැකියි. මෙයින් අනතුරුව ගෙවීයන වසර කීපය වික්ටර්ගේ ජීවන ගමන්මගෙහි පමණක් නොව, ශ්‍රී ලාංකික සංස්කෘතික ජීවිතයෙහි ද එක්තරා පැතිකඩක් වර්ණවත් කළ කාලසීමාවක් වුණා. එනම් හැට දශකයෙහි පැවැති ඒකාකාරී හෝ ඉන්දීය අනුකාරක ගායනා වපසරිය පරිපහදුකරමින්, නැවුම් ආරක ස්වාධීන ගායනා විලාසයක් ගොඩනැංවීමට වික්ටර් දැක්වූ හපන්කම. මෙය ඔහු තනියෙන් කළ වෑයමක් නොව, සමකාලීන, සමවයස්, සම අදහස් දරන, නිර්මාණශීලී මිතුරු රසවතුනගේද අනුප්‍රාණයෙන් උදාවූ බරසාර ව්‍යායාමයක්. එම දුෂ්කරවුත්, නිෂ්පාදනාත්මකවූත් කාර්යභාරයෙහි කූඨප්‍රාප්තිය සනිටුහන් වනුයේ එක්දහස් නවසිය හැත්තෑතුන වසරේදී. මේ වනාහි වික්ටර්ගේ ජීවිතයෙත්, ශ්‍රී ලාංකික සංගීතයෙත්, සිංහල ගීතයෙත් විවිධ වූ වාර්තා තැබීමට මුල්ගල සැපයූ වසරක්. එනම් 1973 පුරෝගාමී ශ්‍රී ලාංකික සංගීතවේදීන් වූ අමරදේව, නන්දාමාලනී වැන්නවුන් මේ වනවිට ශ්‍රවණ ආරාධනා බඳු වේදිකා සුසංහිත ගීත ප්‍රසංග පවත්වමින්. ගීත කලාවේ රස අනුභාව, බරසාර ගුණසාර අන්දමින් ශ්‍රාවකයා තුළ වපුරමින් තිබුණා. වික්ටර්ගේත් ඔහු අසළ සිටි දැනුවත් හිත මිතුරන්ගේත් අධ්‍යාශයට අනුව, ඒක පුද්ගල ගී ප්‍රසංගයක් ගොඩනැංවීමට සිතුවිලි පහළ වනුයේ මේ වසරේදී. එනම් 1973 දී. ප්‍රේමකීර්ති ද අල්විස් සුනිල් ආරියරත්න, කේ.ඞී.කේ. ධර්මවර්ධන, ආර්.ආර්. සමරකෝන්, චින්තන ජයසේන, බණ්ඩාර කේ. විජේතුංග සහ තවත් යෞවන මිතුරන්ගේ නිබඳ කතිකාවන් එම ගී ප්‍රසංගයේ විධිමත් සන්දර්භය ගොඩනැංවුවා. මේ අරුමැසි ප්‍රසංගාත්මක ගී දැහැන රසිකයන් වෙත තිළිණ කිරීමට භාවපූර්ණ අර්ථපූර්ණ නමක අවශ්‍යතාව මතුවුණා. විවිධ නාමයන් හැම රාත්‍රියකදීම යෝජනා වුණා. අවසානයේ චින්තන ජයසේන නම් වූ යුගයේ පෙරළිකාර නිර්මාණවේදියාගේ මුවින් ‘ස’ අකුර කියැවුණා. තනි අකුරෙ නමක්? අල්ලලා යයිද? මිනිස්සු හිනාවෙයිද? කවුරුහරි ඇහුවොත් මොකද්ද මේ ‘ස’ කියලා? මිතුරු කැළ ප්‍රශ්න වරුසාවක් අතඇරියා. චින්තන ඉතාම සාවධානව විග්‍රහ කළා. මේ තනි අකුර තමයි මේකෙ තියෙන ආතල් එක. ගැඹුර, වෙනස, නිර්මාණාත්මක බව, ඉතිහාසෙ කොතැනකවත් චිත්‍රපටයක, නාට්‍යයක, ගී ප්‍රසංගයක තනි අකුරෙ නමක් නෑ. සිංහල සංගීතයේ හෝඩිය මොකද්ද? සරිගමපදනි.... ඒකෙ මුල්ම අකුර සංගීතය තියෙන්නෙ සරස්වතියගෙ අතේ. එයාගෙන් මුල් අකුර සෞභාග්‍යය, සුන්දරත්වය, සුලලිත බව, සාරගර්භබව, සම්පත, සුකොමලබව, මේ සේරම වදන්වල අර්ථය ‘ස’ අකුර ඇතුළෙ තියෙනවා. මේක වැඩකරනවා සිකුරුයි.

එතැනින් එහාට විවාදයක් තිබුනේ නෑ. ප්‍රසංගය ‘ස’ නමින් එළිදක්වන්නට ඒකමතිකවම තීන්දු වුණා. 1973 ජූලි මාසයේ 20 වෙනිදා ප්‍රසංග කලාවේ මහගෙදර එනම් හැවුලොක්ටවුමේ ලූම්බිණි රඟහලේදී, වික්ටර් රත්නායක නම්වූ නැවුම් ගී මිහිර සිරිලක ශ්‍රාවකයනට පුදකළ යොවුන් සංගීතවේදියාගේ ‘ස’ ප්‍රසංගයේ මංගල දර්ශනය විභූෂිත වුණා. පිරී ඉතිරීගිය රංගශාලාව පුරා හමාගිය සිහිල් සුළං රැල්ලක් බඳුවූ ගීත ස්වරයෙන්, ශ්‍රී ලංකාවේ මෙතෙක් පැවැත්වූ දීර්ඝතම ගී ප්‍රසංග චාරිකාව එසේ ආරම්භ වුණා.

2012 වසරේ ජූලි මස 20 වැනි දින ලූම්බිණි රඟහලේදීම ‘ස’ ප්‍රසංගයේ 1450 වැනි අවසන් දැක්ම වනතුරුම වසර 39 ක් පුරා මේ ජවසම්පන්න නිර්මාණශිලී ගායකයාගේ ගී නාදය, පිරීඉතිරියේය රසික කැළ සමග විසිර ගියේ ශ්‍රී ලංකාවේ නගර, උපනගර, ගම්, නියම්ගම් තුළ පමණක්ම නොවේ. ලොව බොහෝ රටවල වෙසෙන ශ්‍රී ලාංකික රසවතුනගේ දෙසවන්ද පිනවාලමින් ලොව පුරාමය. මෙය අසිරියක්ම පමණක් නොව විශ්වකර්ම ව්‍යායාමයක් වික්ටර්ගේ ‘ස’ ප්‍රසංගය මේ සා දීර්ඝකාලයක් මුළුල්ලේ රසික ප්‍රසාදය දිනාගැනීමේදී රහස ලඝුකොට සැළකිය නොහැකි බවයි අපගේ කියැවීම. වසර හතළිහකට ආසන්නවූ එකී ඉතිහාසය තුළ ප්‍රසංගය නැරඹූ ලක්ෂ සංඛ්‍යාත වූ රසික ජනයා නැවත නැවත එම රමණීය අවස්ථාව විඳගැනීමට රොද බැඳගන්නේ කවරාකාර හේතු නිසාද? රංගශාලාවල අතුරු සිදුරු නැති අවකාශයෙහි ගී රසය විහිදී යන රාත්‍රියක, ශාලාවෙන් පිටත කොපමණ නම් ජනතාවක් එය ශ්‍රවණය කිරීමට උත්සුක වූයේද? ශාලාවල දොර අගුල් බිඳලෑමේ අවස්ථා කීයක් නම් උදාවන්නට ඇද්ද? ප්‍රවේශපත්‍ර නොමැති වීමෙන් රසික කලකෝලාහල කොපමණ ඇතිවන්ට ඇතිද? එක ප්‍රසංගයකදී එක කෙස්ගසක් පරිදි ගෙන ගොස් කෙස්ගස් හතළිස් නවයක් එකතු කරගත් රසිකාවියක පිළිබඳ අපූරු අත්දැකීමක් නොඇසී ඇද්ද?

මේ සියළු ආනුභවයන්ට පාදකවූයේ වික්ටර් ගේ මියුරු කටහඬ බව සැබෑය. එහෙත් ‘ස’ ප්‍රසංගය පුරා විහිිදී තවත් කාරණා කීපයක්ම මෙසේ දර්ශනවාර 1450 ක් සපුරාළීමට උපස්තම්භක වන්නට ඇති. මෙම ගීතාවලියෙහි ඇති විවිධත්වය ඉන් එක් කරුණක්. අන්තර්ගතයෙහි මෙන්ම ආකෘතින් තුළද මේ විවිධත්වය හඳුනාගත හැකියි. එසේම වික්ටර්ගේ ගැයුම්වල වූ සංවේදී බව, සංශෝකී බව, ශෘංගාරාත්මක බව, ප්‍රහර්ෂය, උද්දාමය, උද්‍යෝගී බව, ජවසම්පන්නතාව, දේශීයත්වය බඳු විශේෂිත කරුණු. ඔහු තෝරාගන්නා ගීතවල විවිධ තානයන් විශේෂයෙන් ‘තනිතරුවේ’ වැනි ගීයක් ගායනා කිරීමේදී වසර හතළිහ පුරාම ඔහු දැක්වූ සපලතාවය. රසික අපේක්ෂා සපුරාලමින්, විශ්වාස කඩනොකිරීම, වාද්‍ය වෘන්දයේ සදාජීවනයේ පිරි සුසංයෝගය බටහිර ලැදි හින්දුස්ථානී, ශාස්ත්‍රිය, ජන ආදී වූ සංගීත විලාශයන්ගේ මුසුව. පූර්වගාමී ශ්‍රී ලාංකික සංගීතවේදීන් වූ සුනිල් සාන්ත, ආනන්ද සමරකෝන්, සී.ටී. ප්‍රනාන්දු වැන්නවුන්ගේ නිර්මාණශීලී ව්‍යායාමයන්හී ආභාසය ලබාගැනීම. ආදරයේ සිට ගැඹුරු මානව විද්‍යාව හෝ බෞද්ධ දර්ශණය මත පිහිටා රචිත ගේයපද ඇසුර සහ තවත් බොහෝ සාධක මේ සාර්ථක චාරිකාවේ සටහන් විය යුතුයි.

වික්ටර් ගායකයෙක් පමණක් නොවන මැද පෙරබවද සටහන් කළා. ඔහු දක්ෂ වයලීන වාදකයෙක්. සංගීත සංයෝජකයෙක්. සංගීත අධ්‍යක්ෂවරයෙක්. සංගීත ගුරුවරයෙකි. ගේයපද රචකයෙක්. මාතරආච්චි, සිරිබෝ අයියා, පොඩිමල්ලී, සරුංගලය, හුලවාලි, අතුරුමිතුරු වැනි ප්‍රශස්ථ සිනමාකෘතීන් හී සංගීත අධ්‍යක්ෂවරයෙක්.

මේ සියලූදේටම වඩා අතිශය හෘද සංවේදී මිනිසෙක්... ඉදින් මෙබඳු සෞන්දර්යකාමියෙකුගේ, ගවේෂකයෙකුගේ, තීර්ථ යාත්‍රිකයෙකුගේ නිර්මාණ ‘රසෝඝයේ’ කෙළවරක් දැකිය හැකිද? ශ්‍රී ලාංකික සංගීත ක්ත්‍ෂ්ත්‍රය සහ ගීත ප්‍රසංග කලාව පෝෂණය කරමින් දශක හතරක් පුරා ගලාගිය ‘ස’ රස මංජුසාවට නැවතීමේ ලකුණක් තැබුවද, වික්ටර් යළිත් වතාවක් ස්වකීය නිර්මාණවේශය උද්ජවලිත කරනුයේ මෙම 11 දා මහනුවරදී අප දෙසවනට තිළිණකරන ‘සරස’ ගීතප්‍රසංගය ඔස්සේ බව ප්‍රචලිතයි.

වික්ටර් ඔබේ මධුර මනෝහර, භාවපූර්ණ අර්ථපූර්ණ කටහඬ යළිත් ශ්‍රවණය කිරීමට සුවහසක් රසිකයින් සැදීපැහැදී සිටින බව අපගේ විශ්වාසයයි. ඔබට ජය.



ජයලත් මනෝරත්න

gossip lanka