ඇසේ කඳුළු හංගා දස දෙස පීඩා දරා පවුලේ බර කරට ගත් 8 හැවිරිදි පොඩිත්තී

වයස අවුරුදු 08ක දරුවකු යනු තවමත් එහෙ මෙහෙ දුව පැන ඇවිදිමින් මවුපිය රැකවරණයේ සිටිය යුතු අයෙකි. එහෙත් ලොව පුරා මේ වයසේ පසුවන දරුවන් සැමටම ඒ අවස්ථාව හිමි වන්නේ නැත. ඊට හේතුව නම් ඒ ඒ පවුල් අතර පවතින දරිද්‍රතාව හේතුවෙන් ඇතැම් ළමයින් ගෘහ සේවයේ යෙදවීම හෝ වෙනත් විවිධ වැඩෙහි යෙදවීම නිසාවෙන්ය. මෙලෙස ළමයින් හොර රහසේ සේවයේ යෙදවීමේ අවස්ථා ඕනෑ තරම් අපට රට වටින් අසන්නට දකින්නට ඇත. එහෙත් අප අද මේ ලියන්නට
යන්නේ ඊට හාත්පසින්ම වෙනස් වූ කුඩා දියණියක හා පවුලක් පිළිබඳව වූ අනුවේදණීය කතාවක්ය.

තම වයසටත් වඩා මහ බරක් තම හිස මත දරාගෙන කටයුතු කරන දිරිය දියණියක් පිළිබඳව වූ අනුවේදණීය කතාවක් පසුගිය දිනෙක අපට අසන්නට ලැබුණේ ලුණුගම්වෙහෙර කුඩාගම්මාන පහ ප්‍රදේශයෙනි.

අංක 52/1, කුඩාගම්මාන, 05, ලුණුගම්වෙහෙර පදිංචි ජේ.එච්. රමණී 35 වියැති තිදරු මවකි. පොල් අතු සෙවිලි කළ කටුමැටි නිවෙසේ ජීවත් වන මේ පවුල සතුටින් කාලය ගත කළත් ඔවුන්ගේ හිස මතට මහ හෙණගෙඩියක් පාත් වූයේ කිසිවකුත් නොසිතූ පරිදිය. එදිනෙදා කුලී වැඩක් කරගෙන ජීවත් වූ ජේ.එච්. රමණී 2014 වසරේදී එකවරම අසනීප විය. ඒ හේන් වැඩවල නිරතව සිටියදී මියගිය පොළඟකුගේ විෂ කටුවක් පෑගීම හේතුවෙනි. එදා පටන් දැඩි අසරණ තත්ත්වයකට පත් රමණිගේ අසනීප තත්ත්වයන් එන්න එන්නම වැඩි විය. මෙම පොළොන් කටුව පෑගීමෙන් ඇති වූ විෂ ශරීර ගත වීම නිසා ඇය දිනෙන් දින දුර්වල විය. ඇය සුවපත් කරන්නට ඇයගේ සැමියා නොකළ දෙයක් නැති තරම්ය.

බෙහෙත් හේත් සඳහා අධික වියදමක් දැරීමට වීමත් සමඟ නිවෙසේ ආර්ථික අපහසුතාද ඉහටත් උඩින් දෝරේ ගලා යන්නට විය. රමණිගේ පාදය සුවපත් කිරීම සඳහා වෛද්‍යවරුද විවිධ සැත්කම් කිහිපයක්ම සිදු කළද ඇයට කිසිදු සුවයක් නොවීය. නිවෙසේ ආර්ථිකයද බින්දුවටම වැටෙද්දී ස්වාමියා කුලී වැඩක් සොයාගෙන කොළඹ ප්‍රදේශයට ගියේ දරුවන් තිදෙනා සහ බිරිය ජීවත් කරවන්නටය. ස්වාමියා මසකට වරක් දෙකක් පමණක් නිවෙසට පැමිණෙන නිසා රමණී තමන්ට පුළුවන් විදියට දරුවන්ටද කෑම උයා දී පාසල් යැවීම සිදු කරගෙන ආව ඇයට එය සිදු කරන්නට වූයේ කෙටි කලක් පමණි. නිවෙසේ දැඩි ආර්ථික අපහසුතා නිසා වයස අවුරුදු 12ක් වූ වැඩිමහල් පුතු මාතර කඹුරුපිටිය සපුගොඩ පිරිවෙනට ඇතුළත් කර පැවිදි දිවියට ඇතුළත් කෙරිණි.

රමණිගේ සැමියා වූ මංජුල පුෂ්පකුමාර නිවෙසේ සිටි වයස අවුරුදු 08 හා 06 දරුවන් දෙදෙනාගේ පාසල් ගමනට හා රමණිගේ ප්‍රතිකාර කටයුතු සඳහා මුදල් උපයන්නට කොළඹට ගියේ කුලී වැඩක් සොයාගෙනය. සිය සැමියා කොළඹ කුලී වැඩ කරන විට රමණි තමන්ට පුළුවන් අයුරින් නිවෙසේ වැඩකටයුතු සිදු කරගෙන ගියත් මීට මාස දෙකකට පෙරදී රමණි දැඩි අසරණ තත්ත්වයට පත් වූවාය. ඒ ඇයගේ පාදයේ ආබාධයට අමතරව සිය දෙනෙත්ද එකවරම අන්ධ වී යෑම නිසාය. මේ හේතුවෙන් ඇය දැඩි අසරණ තත්ත්වයට පත්වූවා. නිවෙසේ සිටින දරු දෙදෙනාට කෑම බීමද උයා පිහා දීමට වත් ඇයට නොහැකි විය. නිවෙසේ හතරමුල්ල යන්තම් අතපත ගා යමක් උයා ගැනීමට උත්සාහ කළද ඇයට එයද ඉටු කර ගැනීමට නොහැකි වූවාය. කිසිවක් කරකියා ගත නොහැකි වූ රමණිගේ දෙනෙතින් කඩා වැටෙන කඳුළු බිඳු දිහා දකින සියලු දෙනාගේ හදවත් කම්පා කරන්නට විය.

මවගේ මෙම රෝගී තත්ත්වය හේතුවෙන් නිවෙසේ සියලු බර වයස අවුරුදු 08ක් වූ දිනාරා සඳකළණිගේ කර මත පැටවුණේ දෛවයේ සරදමකට මෙනි. මවටද කර කියාගත දෙයක් නොවීය. කුඩාගම්මාන පහ මහානාගපුර මහා විද්‍යාලයේ තවමත් 03 වසරේ ඉගෙනුම ලබන දිනාරා සඳකළණි සිය අධ්‍යාපන කටයුතු කරන ගමන් සිය මවට උවටැන් කරන්නට මෙන්ම මවගේ හා සිය බාල නැඟණියගේ කුසගිනි නිවීමටද පෙරට ආයේ තිබූ අසරණකම නිසාවෙන්මය.

තමන් පත්ව ඇති අසරණකම ගැන ජේ.එච්. රමණි මහත්මිය මෙසේ පැවැසුවාය.

''මට දරුවෝ තුන්දෙනෙක් ඉන්නවා. වැඩිමහල් පුතා අවුරුදු 12යි. එයා පැවිදි වෙලා මාතර සපුගොඩ පිරිවෙනේ අධ්‍යාපනය ලබනවා. නිවෙසේ මාත් එක්ක අවුරුදු අටේ සහ හයේ දුවලා දෙන්නෙක් ඉන්නවා. ගෙදර තියෙන දැඩි ආර්ථික අපහසුතා නිසා මහත්තයා කොළඹ කුලී වැඩට ගියා. 2014 වසරේදී තමයි හේන් වැඩ කරගෙන ඉඳිද්දී කකුලේ මැරුණු පොළඟකුගේ විෂ කටුවක් ඇනුණේ. එදා ඉඳන් නොයෙක් ප්‍රතිකාර කළා. සැත්කම් කිහිපයක් පවා කළා. නමුත් අසනීප තත්ත්වය එන්න එන්නම වැඩි වුණා. ඇවිදින්න කරන්න බැරි වුණාට මම කිහිලි කරු දෙකක ආධාරයෙන් කොහොම කොහොම හරි ගෙදර උයන පිහන වැඩ ටික කළා. නමුත් දැන් මීට මාස දෙකක ඉඳලා මගේ ඇස් දෙකත් එක සැරේම පේන්නේ නැතිව ගියා. මම පුදුම තරමේ අසරණ තත්ත්වයකට පත්වුණා. දරුවෝ දෙන්නට කන්න ටිකක් උයලා දෙන්න මට බැරි වුණා. මම ගෙදරට වෙලා දවසේම ඇඬුවා. ඒත් මගේ ලොකු දුව (අවුරුදු 08යි) ඉස්කෝලේ ගිහින් ඇවිත් අම්මේ අඬන්න එපා මම කෑම උයලා ගෙදර වැඩ ටික කරන්නම් කිව්වා. මගේ පපුව පිච්චිලා ගියා. අදටත් මටයි මගේ පොඩි දුවටයි කන්න උයලා දෙන්නේ මේ අවුරුදු 8ක් වෙච්චි ලොකු දූයි.

මගේ කකුලේ තියෙන තුවාලයට බෙහෙත් දාන්න සතියකට රුපියල් 2,000ක් යනවා. කුලී වැඩ කරන අපිට ඒක ලොකු මුදලක්. මාසෙකට රුපියල් දහ ‍ෙදාළොස්දාහක් ඕනේ මගේ බෙහෙත්වලට විතරක්. මේ වෙනකොට කකුලේ සැත්කමක් කරලා අස්ථියක් ඉවත් කරලා තියෙන්නේ. කරාපිටියේ ‍ෙදාස්තර මහත්වරු කිව්වා කකුලේ තුවාලය සුවපත් කරන්න ඊට අදාළ සැත්කම් කරන්න රුපියල් ලක්‍ෂ තුනහමාරක් විතර යනවා කියලා. ඇස් දෙක පිළිබඳවත් මහනුවර රෝහලට ගිහින් පෙන්නුවා. එහිදී වෛද්‍යවරු කිව්වේ ඇස් දෙක සුවපත් කරන්න සැත්කමක් සිදු කළ යුතු බවයි. ඒ සඳහා රුපියල් ලක්‍ෂ පහළොවක් පමණ යනවා කියලයි. එදා වේල සොයා ගන්න බැරිව ඉන්න අපිට මේ සැත්කම් කරනව කියන්නේ හීනයක් විතරයි මහත්තයෝ, යැයි රමණි අප හට පැවැසුවේ ඇයගේ දෙනෙතින් රූරා වැටෙන කඳුළු බිඳු පිසදමමිනි.

නිවෙසේ ආර්ථික දුෂ්කරතාව මැඬ ගැනීමට රැකියාවක් සොයා කොළඹට ගිය රමණිගේ සැමියා මේ වනවිට අසරණ වී තිබෙන්නේ දෛනිකව ඔහු ලබන කුලී වැඩ මුදල් රමණිගේ ප්‍රතිකාර සඳහා ප්‍රමාණවත් නොවීම නිසාය. රමණි මහත්මියගේ කකුලේ තුවාලය සඳහා දමන එක බෙහෙත් ටියුබ් එකක් රුපියල් 2,000කි. මසකට මෙවැනි බෙහෙත් ටියුබ් හතරක් හෝ පහක් පමණ මිලදී ගැනීමට සිදුව තිබේ. වයස අවුරුදු අටේ දියණිය තමන්ගේ වයසටත් වඩා මහමෙරක් වූ බරක් හිස මත තබාගෙන සිටින්නීය. උදෑසනින් අවදි වන මෙම දියණිය මවට හා සිය බාල සහෝදරියටද කෑම බීම උයා, බාල දියණියද සූදානම් කරගෙන පාසලට යන්නේ සිය මවගේද මුහුණ කට සෝදා ඇයටද බත් කවාය. පාසල ඇරී එක මිනිත්තුවක්වත් පරක්කු නොවී මෙම දිරිය දියණිය නිවෙසට දිව එන්නේ මවට උවටැන් කිරීමටය. ඇතැම් දිනවල මවගේ අසනීප තත්ත්වයන් වැඩි වූ පසු මෙම දියණිය සිය පාසල් ගමනද නවතා දමා නිවෙසේ නතර වෙන්නේ මවට උවටැන් කරන්නටය.

මේ කරදර අස්සේ ඇය මේ වන විට තවත් කරදරයකට මුහුණ දී තිබේ. කටු මැටි පැලක ජීවත් වූ මෙම පවුලට නිවාස හා ඉදිකිරීම් අමාත්‍යාංශය යටතේ ණය මුදලක් ලබාදී මත්තල ප්‍රදේශයේ ඉඩමක් ලබාදී නිවෙසක් ඉදිකර ගැනීමට සලස්වා තිබේ. රමණිගේ මේ හදිසි අසනීප තත්ත්වය හේතුවෙන් ඔවුන්ට එහි වැඩද අවසන් කර ගැනීමට හැකි වී නැත. එහෙත් මේ වන විට නිවාස අධිකාරියෙන් ලබාදුන් ණය මුදලේ වාරිකය වන රුපියල් 2,900ක මුදලද ගෙවා ගැනීමට නොහැකි වී ඇත. මේ හේතුව නිසා ඔවුන්ට එරෙහිව නඩු පවරන බවට නිවාස හා ඉදිකිරීම් අමාත්‍යාංශයෙන් ලිපියක්ද එවා තිබේ. තවත් ගැටලුවක් මතු කර ඇත.

මේ වනවිට මෙම පවුල පත්ව ඇත්තේ දැඩි අසරණකමකටය. ඔවුන්ට අද වන විට කරකියා ගත දෙයක් නොමැති තැනට පත්ව තිබේ. අපත් සමඟින් කතා කරමින් සිටි රමණිගේ දෙනෙතින් කඩා වැටෙන කඳුළු පිසදමමින් වරක පැවැසුවේ ''දැන් මැරෙනවා ඇරෙන්න අපට වෙන කරන්න දෙයක් නෑ'' කියාය. මේ වන විට අසල්වැසියන් හා විවිධ පුද්ගලයන්ගෙන් ලැබෙන උපකාර හේතුවෙන් එදාවේල පිරිමසා ගැනීමට හැකි වුවත් රමණිගේ අසනීප තත්ත්වය සුවපත් කර ගැනීමට තරම් හැකියාවක් ලැබී නොමැත. පසුගිය දින රුහුණු මාගම්පත්තුවේ ප්‍රධාන සංඝනායක, තිස්සමහාරාම අංජලි පව්ව රජමහ විහාරාධිපති පූජ්‍ය මාගම මහනාම හිමියෝ මේ අසරණ පවුල සඳහා මසකට කෑමට බීමට අවශ්‍ය වියළි ආහාර ද්‍රව්‍ය ගෙනැවිත් දීමට පියවර ගත්හ. මේ අසරණ පවුලට පිහිටක් විය හැකි යම් අයකු වේ නම් එය මහත් පුණ්‍යකර්මයක් වන බවද අපි සිහිපත් කරන්නට කැමැත්තෙමු.

සටහන සහ සේයා රූ
මත්තල - ඩී.එන්. ජයසේකර


gossip lanka