රංගනය කියන දේ මා තුළ යම්කිසි මට්ටමක පැවතුණා

ගායන ශිල්පියෙකු හා ගුරුවරයෙකු ලෙස බොහෝ දෙනෙකු හඳුනා ගත් හේෂාන් ගමගේ රංගන ශිල්පියෙකු ලෙස සිනමා නිර්මාණයකට දායක වෙයි. ඔහුගේ මෙම සිනමා නිර්මාණය හා සංගීත කටයුතු පිළිබඳ කතාබහ කිරීමට මෙලෙස සම්බන්ධ කර ගතිමු.

සංගීතය ගැන උගන්වන ගුරුවරයෙකු ලෙස වැඩි කාලයක් ගතකළ හේෂාන්, මේ වන විට රංගන ශිල්පියෙකු ලෙස කටයුතු කරනවා?

තාත්තාගේ කැමැත්ත නිසා තමයි මට රංගන
ශිල්පියෙකු ලෙස කටයුතු කරන්න සිදු වුණේ. ඒක මගේ තනි කැමැත්ත නෙමෙයි. අම්මා සහ තාත්ත කළ ආරාධනාවක් නිසා තමයි මම ‘අනෝරා’ කියන මගේ තාත්තා අධ්‍යක්‍ෂණය කරන චිත්‍රපටයට රංගන ශිල්පියෙක් ලෙස දායක වෙන්නේ. රංගධරයෙක් විදියට ඉදිරියට යන්න බලාපොරොත්තුවක් මට නැහැ.

රංගන ශිල්පියෙකු ලෙස කටයුතු කිරීමේ පරිසරය හේෂාන්ගේ පවුල තුළම නිර්මාණය වී තිබුණා. නමුත් ඔබ එයට යොමු වෙන්නේ නැහැ?

ඔව්. මම පොඩි කාලයේ සිටම දකින්නේ වේදිකා නාට්‍යය පසුබිම් කරගෙන ගොඩ නැගෙන්නා වූ පවුලක්. සංගීතයට වැඩි ඉඩක් ලැබුණ පවුල් සංස්ථාවක් තුළ නෙමෙයි මම හැදී වැඩෙන්නේ. මම දකින්නේ තාත්ත ලියන දේවල්, තාත්ත අධ්‍යක්‍ෂණය කරන දේවල්, තාත්ත අම්මාට ඩයලොග් කියනවා අම්මා රඟපානවා මේ දේවල් තමයි මම කුඩා කාලයේ සිට දැක්කේ. රංගනය කියන දේ මා තුළ යම්කිසි මට්ටමක පැවතුණා. නමුත් රංගනවේදියෙක් ලෙස සමාජය තුළට එන්න අවශ්‍යතාවක් මට තිබුණේ නැහැ. මට අවුරුදු තිහත් පසු වුණාට පස්සේ තමයි ඔයා මේ චිත්‍රපටයේ රඟපාන්න එන්න කියන යෝජනාව කරන්නේ. ඒ වනතුරු වේදිකා නාට්‍යයකවත් තාත්තා මට අවස්ථාවක් දීලා නැහැ. ඒ නිසා ඒ අවස්ථාව මම ආදරයෙන් බාර ගත්තා. එහෙම තමයි මේ චිත්‍රපටයේ රංගන කටයුතු සිදු වුණේ

ඒ ආරාධනාව එක්ක බාරගත්ත සිනමා නිර්මාණය ගැන කතා කළොත්?

‘අනෝරා’ තමයි මේ සිනමා නිර්මාණයේ නම. ‘අනෝරා’ කියන්නේ ප්‍රධාන නිළියගේ නම. මේ කතාව ගොඩ නැගී තිබෙන්නේ ගුරුවරයෙක් නර්තන ශිල්පියෙක් හා ගුරුවරයාගේ නර්තන කණ්ඩායමේ සාමාජිකාවක් අතර. නර්තනාචාරවරයා තමන්ගේ ආදරවන්තිය සොයමින් සිටින තැනකදී තමයි චිත්‍රපටය ආරම්භ වෙන්නේ. වෙනස් කුතුහලය පිරි අත්දැකීමක් බවට මෙය පත්වේවි. සංක්‍රාන්තික ලිංගිකයෙකුගේ කතා පුවතක් අන්තර්ගත කතාවක්. මේ පරිවර්තනය දේශපාලනික සාමාජීය කාරණා ආදර කතාවක් ඇතුළේ කතාබහට ලක්වෙනවා.

සංගීතය උගන්වන ගුරුවරයෙක් ලෙස කටයුතු කළත් නිර්මාණ ශිල්පියෙක් ලෙස කටයුතු කරන්න වැඩි වශයෙන් යොමු වුණේ නැහැ?

මම සහ මගේ බිරිඳ ආචාර්ය අංජලී මිෂා ඉන්දියාවේ සිට පැමිණෙන්නේ 2005 දී. මට සෞන්දර්ය විශ්වවිද්‍යාලයේ නර්තන පීඨය ලැබෙන්නේ. සංගීත පීඨය මට ලැබෙන්නේ නැහැ. එහිදී යම්කිසි සිත් තැවුලකට පත් වුණා. විශ්වවිද්‍යාලයේ සිටින විද්‍යාර්ථීන්ට සංගීතය ඉගැන්වීමට බැරි වීම නිසා තමයි මම මගේ ඇකඩමි එක පටන් ගන්නේ. වඩා දක්‍ෂ ප්‍රායෝගික, න්‍යායාත්මක විද්‍යාර්ථීන් බිහිකිරීමේ පදනමින් තමයි මම මගේ ඇකඩමිය පටන් ගන්නේ. මට අවශ්‍ය වෙලා තිබුණේ හොඳ ගුරුවරයෙක් වීමට. මම එය ‘ආවාෂ්’ ඇකඩමිය හරහා සිදු කළා. අවුරුදු පහළොවක කාලය තුළ මගේ ඇකඩමියේ අලුත් දෙයක් කරන්න පටන් ගත්තා. ඒ ‘ආලාප්’ නමින්. විශ්වවිද්‍යාලයට යොමු වුණේ නැත්නම් ‘ආලාප්’ හරහා සිදුකරන්නේ මේ අයගේ දක්‍ෂතාවන් එළිදක්වන්න ඕඩියෝ හා විඩීයෝ එළිදක්වන්න උත්සාහ කිරීමක්. මෙලෙස ඒ කටයුතු සිදුවන අතර, ‘අනෝරා’ චිත්‍රපටයේ සංගීත නිර්මාණයටත් මම යොමු වුණා එහි වැඩකටයුතු මේ වන විට අවසන්ව තිබෙනවා. එහි ගීත හතරක් නිර්මාණය කළා. එය එකිනෙකට වෙනස් ගීත. ඒ වගේම මගේ ගීත ඇල්බමයේ වැඩකටයුතු සිදු වෙනවා.

ගායන ශිල්පීන් සංයුක්ත තැටියක් වෙළෙඳ පොළට යොමු නොකරන කාලයක ඔබ එසේ සිදු කරන්න යොමුවෙන්නේ ඇයි?

අද කාලයේ ඇල්බම් එකක් එළියට දාන්න ගායන ශිල්පීන් යොමුවෙන්නේ නැහැ. මගේ එක ගීතයක්වත් නොමැති නිසා තමයි මෙය කරන්න යොමු වෙන්නේ. යූ-ටියුබ්වල පවා තිබෙන්නේ මගේ යාළුවෝ විසින් මට කරලා දුන්න ගීත. මගේම කියලා නිර්මාණ ප්‍රේක්‍ෂකයන්ට අහන්න ලැබිලා නැහැ. නිර්මාණයක් කරලා කෙනෙක් බලාපොරොත්තු වෙන්නේ ගායකයෙක් ලෙස ජනතාව අතරට එන්න. නමුත් මම මේ සිදු කරන්නේ එය නෙමෙයි. මට රසික පිරිසක් නිර්මාණය වී තිබෙන නිසා මම මගේ ඇල්බමයක් නිකුත් කරන්න හිතුවා. ඒ ගීත දොළහ නිර්මාණය වෙන්නේ වෙනස් තේමාවලින්. මම ගීතයක් නිර්මාණය කරද්දි මගේ අම්මා හෝ තාත්තාගේ පද රචනා තමයි මම යොදා ගන්නේ. ප්‍රවීණයන්ගේ පද රචනාවලට යොමු නොවී මා වඩාත් කැමැති අයගේ ගීත රචනා තමයි මේ ඇල්බමයට මම තෝරාගෙන තිබෙන්නෙ.

රංගන ශිල්පියෙකු ලෙස ඉදිරියේදී නිර්මාණ කටයුතුවලට දායක වෙන්න බලාපොරොත්තු වෙනවාද?

මා තුළ තිබෙන්නේ සංගීතඥයෙකු වීමේ ආශාව. මම මේ චිත්‍රපටයට සාධාරණයක් කරලා තිබෙනවා නම්, රංගනයට ආරාධනා ලැබෙයි. ඒ ආරාධනා ගැන එහෙම වුණොත් හිතලා බලනවා. මේ වන විටත් මම නිර්මාණය කළ ගීත කිහිපයක් තිබෙනවා තවම රසිකයන්ට ඒ ගීත අසන්න ලැබී නැහැ. මම ගොඩක් කැපවුණේ මගේ සංගීත ඇකඩමියට. ඉන්දියාවේ සිට ලංකාවට පැමිණි පසු ගෝලයන් බිහිකිරීමේ ක්‍රියාවලියට සහභාගි වුණා. අවුරුදු පහළොවක කාලයක් මම එය හොඳින් කර තිබෙනවා කියලා දැන් හිතෙනවා. දැන් ඒ ගෞරවය ලැබී තිබෙනවා. දැන් ඉගැන්වුවා ඇති, දැන් මගේ නිර්මාණකරණය කරන්න ඕන කියන තැන මම ඉන්න. මේ තුළින් තමයි අපි වැඩ කරමින් සිදු කරන්නෙ. අන්තර්ජාලය හා දුරකථන හරහා අපි හා සම්බන්ධ විය හැකියි. දක්‍ෂයන්ට අතහිත දෙන්න අපි කැමැතියි. තව විශේෂම දෙයක් සඳහන් කළ යුතුයි. මාස හයක කාලයක් නවාතැන් පහසුකම් ලබාදී නොමිලේ සංගීතය උගන්වන්න සිසුන් හත්දෙනෙකු අප සොයමින් ඉන්නවා. එලෙස කැමැත්තක් දක්වන අයට ආරාධනා කරනවා.

නිදුක් මදුෂික