මට රඟපාන්න පුළුවන් බවක්‌ මම දැනගෙන හිටියේ නැහැ

ඔබ රඟපෑ පළමු චිත්‍රපටයෙන්ම සිග්නීස්‌ සම්මාන උළෙලේදී නිර්මාණශීලී සහාය නිළිය (සිනමා) සම්මානය හිමිවෙනවා. ඒ අත්දැකීම මොන වගේද?

මම මේ චිත්‍රපටයට සම්බන්ධ වුණේ රඟපෑම් අත්දැකීම් ඇතිව නෙවෙයි. මගේ පෙනුම ඒ චරිතයට ගැලපෙන බවට එහි අධ්‍යක්‌ෂවරයා තීරණය කළ නිසා. මට රඟපාන්න පුළුවන් බවක්‌ මම දැනගෙන
හිටියේ නැහැ. එහෙත්, ඔහුගේ උපදෙස්‌ මත මම ඒ චරිතය කළා. ඒ වගේම මට රඟපාන්න ලැබුණේ ඉතාම පරිණත රංග ශිල්පීන් දෙන්නෙක්‌ එක්‌ක. එක්‌කෙනෙක්‌ ස්‌වර්ණා මල්ලවාරච්චි. අනිත් කෙනා ඉන්දියානු රංගන ශිල්පී චැටර්ජි. මේ දෙදෙනාම රංගනයෙහි ප්‍රවීණයන්. ඔවුන් සමග රඟපානකොට රඟපාන බවක්‌ මට දැනුණේ නැහැ. ඒ තරමටම, ඒ අමාරු කාර්යය තාත්විකව සැහැල්ලුවෙන් කෙරුණා. මට ඒ සඳහා ඇගයීමක්‌ ලැබීම ගැන මම සතුටු වෙනවා. මට පැවරුණු වගකීම කිසියම් සාර්ථක මට්‌ටමින් කළා වගේ හැඟීමක්‌ දැනෙනවා.

‘ඇගේ ඇස අග’ චිත්‍රපටයට සම්බන්ධ වෙනකොට සම්මානයක බලාපොරොත්තුවක්‌ තිබුණාද?

සම්බන්ධ වෙනකොටම කොහොමද සම්මානයක්‌ ගැන බලාපොරොත්තු වෙන්නේ? මට තිබුණේ බයක්‌. කවදාවත් නොකළ මේ වැඩේ හොඳින් කරන්න පුළුවන් වෙයි ද කියල. චරිතයක්‌ රඟපානවා කියන්නේ බරපතළ වගකීමක්‌. නිර්මාණයට අවශ්‍ය චරිතය ගොඩනැඟුණේ නැත්නම් මුළු නිර්මාණයම කඩාවැටෙනවා. ඒ නිසා සම්බන්ධ වෙනකොට සම්මාන ගැන බලාපොරොත්තුවක්‌ තියෙන්න කොහොමටවත් බැහැනේ. ඒ වගේම රඟපාලා ඉවර වුණාට පස්‌සෙත්, ප්‍රදර්ශනය කරලා ඉවර වුණාට පස්‌සෙත් එහෙම බලාපොරොත්තුවක්‌ ඇති වුණේ නැහැ. මට මගේ රඟපෑම ගැන අදහසක්‌ නැති නිසා.

පළමු චිත්‍රපටයෙන්ම ලැබුණු සම්මානය ගැන අධ්‍යක්‍ෂවරු ඔබට මොනවාද කිව්වේ?

මට එහෙම වෙනත් අධ්‍යක්‌ෂවරු මොකුත් කිව්වේ නැහැ. සම්මාන උළෙලේදී මුණගැහුණු හැම දෙනෙක්‌ම සුබ පැතුවා. මේ චිත්‍රපටයේ අධ්‍යක්‌ෂවරයා මේ සම්මානය මට ලැබුණු එක ගැන සතුටු වුණා.

නමුත් ඉන්පසු ඔබ නිර්මාණයක දකින්න ලැබුණේ නැහැ?

මට නිර්මාණ කිහිපයක රඟපාන්න ආරාධනා ආවා. ඒත් මම වෘත්තීය රංගන ශිල්පිණියක්‌ නෙවෙයි, මට ආස හිතෙන චරිතයක්‌ ලැබුණොත් විතරයි මම රඟපාන්නේ. මගේ හැකියාවන් අනුව මට කළ හැකි යෑයි කියලා හිතෙන, කළ චරිතයට වඩා වෙනස්‌ චරිතයක්‌ ලැබුණොත් විතරක්‌ රඟපානවා. මට එහෙම චරිතයකට ආරාධනා ලැබුණේ නැහැ. ඒ නිසා මට ඒ ආරාධනා ප්‍රතික්‌ෂේප කරන්න සිදු වුණා. මම ජීවත් වෙන්න රඟපාන කෙනෙක්‌ නෙවෙයි.

නැවත චිත්‍රපටයක රඟපාන්නේ කවදාද?

ඒ ගැන දැන්ම කියන්න බැහැ. මට ආසා හිතෙන චරිතයක්‌ ලැබුණොත් විතරක්‌ මම භාර ගන්නවා.

රිතිකා නිළියක්‌ විදිහට හඳුන්වනවාට කැමැතිද?

නැහැ. මම නිළියක්‌ නෙවෙයි. චිත්‍රපටයක දෙකක රඟපෑ පමණින්, පළමු රඟපෑමට සම්මානයක්‌ ලැබුණු පමණින් මම නිළියක්‌ කියලා හිතන්න මම කැමැති නැහැ. රංගනය කියන්නේ භාර ධූර විෂයයක්‌. ආවාට ගියාට ඒක කරන්න බැහැ. මගේ මුළු ජීවිත කාලයටම හොඳ මතක හිටින චරිතයක්‌ දෙකක්‌ කරන්න ලැබුණොත් මට සතුටක්‌ දැනෙයි.

සිග්නීස්‌ සම්මාන උළෙල ඔබේ ජීවිතයට බලපෑවේ කෙසේද?

සම්මානයක්‌ කොහොමද කෙනකුගේ ජීවිතයට බලපාන්නේ කියලා මම දන්නේ නැහැ. ජීවිතයකට බලපාන තව කොයි තරම් දේවල් තියෙනවද? මේ ලැබුණු සම්මානය මම අවතක්‌සේරු කරනවා නෙවෙයි. ඒක මගේ ජීවිතයේ මිහි§රි මතකයක්‌ වෙයි. ඒත් ජීවිතය කියන්නේ සම්මානයකට වඩා ලොකු දෙයක්‌. සම්මානයක්‌ නිසා ජීවිතයට කම්පනයක්‌ දැනෙන්නේ නැහැ.

මහේෂ් එදිරිසිංහ

gossip lanka