"එයයි මමයි අතරේ රණ්ඩු ඇතිවෙන වෙලාවට අම්මා ගත්තේ අයියගේ පැත්ත කියලමයි මට හිතුණේ.." - රයිනි ගුණතිලක

රයිනි ගුණතිලක කියන චරිතයට කලාව ඕපපතිකයක් නෙමෙයි. පුංචි කාලේ ඉදලා ඇයට අහන්න ලැබෙන්නේ සංගීතය හෝ මියුරු ගීත. ඒ නිසාම රයිනිත් මිට ටික කාලෙකට කලින් ගීත ගයන්න පටන් ගන්නවා. දැන් ඇය ජනප්‍රිය ගායිකාවක්. රයිනිගේ ජිවිතේ කවුරුත් නොදන්න රහසක් ගැන මේ විදිහට පුවත්පතක් ගැන ඇය කතා කර තිබුණා. මේ  ඒ ගැනයි.

මේ කතාව පටන් ගන්න වෙන්නේ මගේ බහ තෝරන
වයසේ ඉඳලා. ඒ වයසේ ඉන්න පුංචි ගෑනු ළමයින්ට තියෙන හැසිරීම් රටා ‍නෙවෙයි ඒ කා‍ලේ මට තිබුණේ. පුංචි කොලු ගැටයකුගේ හැසිරීම් තමයි ඒ කා‍ලේ මට තිබුණේ. මම කවදාවත් බෝනික්කන්ට ආශා කළේ නැහැ. කොල්ලෙක් වගේ මම කාර්මික පැත්තටයි ගොඩාක් ආශා කළේ. සෙල්ලම් කාර් එකක් ලැබුණත් කෑලි කෑලි වලට ගලවලා කොහොම හරි තිබුණු විදියට හදන්නයි මට ඕනෑ කළේ. ඔය පුරුද්ද මට දිගින් දිගටම තිබුණා. පස්සේ කාලෙක ගෙදර බල්බ් එකක, ප්ලග් එකක, අලුත්වැඩියාවක් කරන්න ඕන වුණොත් තාත්ති මට තමයි වැඩේ බාර දෙන්නේ. අපි ඇමෙරිකාවේ පදිංචියට ගියාට පස්සේ සිදුවෙච්ච අපූරු සිදුවීමකුත් මට මතක් වෙනවා. ඒ රටේ අල්මාරියක් මිලට ගනිද්දී කෑලි වශයෙන් තමයි ඒක දෙන්නේ. කැටලොග් එක බලලා අපිමයි හයි කරගන්න ඕනේ. අපේ ගෙදරට ගත්තු අල්මාරි ඔක්කොම ඒ විධියට හැදුවේ මමයි.

පුංචි කා‍ලේ මට වැඩිපුරම ආශ්‍රය කරන්න ලැබුණේ පිරිමි ළමයි. අයියා, පුංචිලගේ අයියලා හැමෝම අපේ ගෙදර හිටියේ. ඒ අයත් එක්ක. ඉන්නකොට මටත් දැණුනේ මම කොල්ලෙක් කියලයි. මට ගවුමක් අන්දවන්නත් එදා කාටත් බැරි වුණා. ටී ෂර්ට් එකයි කලිසමයි ඇඳලා තමයි මම හිටියේ. කොණ්ඩය කපලා තිබුණෙත් කොල්ලෙක් වගේ. මම ඉගෙන ගත්තේ ජාත්‍යන්තර පාසලක. ගෑනු ළමයි වගේම පිරිමි ළමයිනුත් ඒකේ හිටියා. ඒ වුණත් මම ගෑනු ළමයින්ට ළං වුණේ හරිම අඩුවෙන්. හැමදාම මගේ හොඳම යාළුවෝ වුණේ පිරිමි ළමයි. ඒත් ගැහැනුන්ට වඩා වැඩි සැලකිල්ලක් පිරිමින්ට හිමිවීම ගැන නම් පුංචි කා‍ලේ ඉඳන් මම තදින්ම විරුද්ධ වුණා. අයියා (යොහාන්)  පුංචි කා‍ලේ හිටියේ අපේ ගෙදර. එයයි මමයි අතරේ රණ්ඩු ඇතිවෙන වෙලාවට අම්මා ගත්තේ අයියගේ පැත්ත කියලමයි මට හිතුණේ. පිරිමි ළමයෙක් වීම මේ සැලකිල්ලට හේතුව කියලා මට හිතුණා. මටත් කොල්ලෙක් වෙන්න ඇත්නම් කියලා ඒ දවස්වල මම තදින්ම කල්පනා කළා.

ඔය වගේ අදහස් එක්ක තමයි මම ටිකෙන් ටික නව යෞවනයට පත් වුණේ. අවුරුදු 14-15 වෙද්දී ගෑනු ළමයින්ට පිරිමි ළමයි ගැන, පිරිමි ළමුන්ට ගෑනු ළමයි ගැන උනන්දුවක් ඇති වීම සාමාන්‍යයිනේ. ඒ හින්දම ඒ අය තමන්ගේ රූපය ගැන සැලකිලිමත් වෙනවානේ. හැබැයි මට නම් එහෙම වුණේ නැහැ. පිරිමි යාළුවෝ හිටියත් කිසි කෙනෙක් මට ආදරය ප්‍රකාශ කළේත් නැහැ.

කවුද බං අර ලස්සන කෙල්ල... එයාගේ තොරතුරු හොයලා දියංකෝ වෙන ගෑනු ළමයි, පෙන්නලා කොල්ලෝ මටයි එහෙම කිව්වේ. සමහර වෙලාවට එයාලගේ පෙම්වතියන්ගේ ගෙදරට ඇමතුම් ගන්න මගෙන් උදව් ඉල්ලපු අවස්ථාත් තිබුණා. මමත් ඒ වෙලාවට ඒ ගෑනු ළමයගේ හොඳම යාළුවා විදියට ඒ ගෙදරට කෝල් කරනවා. ඒ ගෑනු ළමයගේ අම්මා එයාට ෆෝන් එක දුන්නම මම එයාගේ පෙම්වතාට කතා කරන්න අවස්ථාව ලබා දෙනවා. මම ඒ දේවල් කළේ හරිම සතුටින්. මට ඒ දේවල් දැනුණේ කොල්ලෙක් තමන්ගේ යාළුවට උදව් කරන්න කරන දඟ වැඩක් විදියටයි.

හැබැයි මගේ මේ හැසිරීම් රටාව අම්මටයි තාත්තිටයි කිසිම ප්‍රශ්නයක් වුණේ නැහැ. ඒ දෙන්නා නංගිවයි මාවයි හැදුවේ හරිම ස්වාධීන විදියටයි. පුංචි කා‍ලේ අපේ කන් විද්දෙත් නැහැ. ඇයි මේ හොඳට තියෙන කන් හිල් කරන්නේ. එයාලට ඕන නම් දවසක කන් විද ගනියි කියලා තාත්ති කිව්වා. මට ගෙදරට කතා කළේ  ටුයින කියලා නංගිට කිව්වේ පූපර් කියලා. කරාබු දෙකකුත් නැතුව කොණ්ඩයත් කපල කොල්ලෙක් වගේ හැදුණු මේ ටුයින නිදහසේ තමයි හැදුණේ.

ඒත් අවුරුදු 16ක් විතර වෙද්දී පිරිමි ළමයි ගැන මටත් උනන්දුවක් ඇති වුණා. ඒ නිසාම මගේ රූපය ගැන තිබුණු උනන්දුවත් ටිකක් ඇති වුණා. කන් විදලා කරාබු දාන්න, ලස්සනට අඳින්න, කෙල්ලෙක් වගේ හිතන්න මමත් පටන් ගත්තා. අවුරුදු 18දි තමයි අඛිල (මගේ සැමියා) හා හා පුරා කියා මට හමුවුණේ. ඊට පස්සේ අර ගති ගුණ ටිකෙන් ටික යටපත් වෙලා ගියත් අදත් මම කාර්මික වැඩ වලට නම් ගොඩාක් දක්ෂයි.


gossip lanka