අනුරාධපුරය රවටන රූමත් කතක් අල්ලන්න පොලීසියෙන් මෙහෙයුම්

තමන් ගුවන් නියමුවරියක්‌ බව පවසමින් සුඛෝපභෝගී නිවාඩු නිකේතන හා නිවාසවල නවාතැන් ගනිමින් එම ස්ථානවලට මුදල් නොගෙවා, තමන්ට ලිංගික අතවර සිදුවූ බව පවසමින් මුදල් වංචා කරන රූමත් කාන්තාවක් පිළිබඳ පුවතක් වාර්තා වනවා.

මෙම තරුණිය තම නිවාඩු නිකේතනයේ රැඳී සිට රුපියල් හැටපන්දහසක කාමර කුලිය නොගෙවා
කාමරයේ දොරගුළු දමා පලා ගොස්‌ ඇති බව කියමින් අනුරාධපුර හරිස්‌චන්ද්‍ර මාවතේ පිහිටි ප්‍රසිද්ධ නිවාඩු නිකේතනයක හිමිකරුවකු අනුරාධපුර මූලස්‌ථාන පොලිසියේ විවිධ පැමිණිලි අංශයට පැමිණිල්ලක්‌ ඉදිරිපත් කර තිබෙන බව සදහන්.

ගුවන් නියමුවරියක්‌ යැයි පවසන කොළඹ නුගේගොඩ ප්‍රදේශයේ පදිංචිකාරියක්‌ වන 38 හැවිරිදි මෙම රූමත් කාන්තාව මීට මාස තුනකට පමණ ඉහතදී සිය නිවාඩු නිකේතනයට පැමිණ එහි වායුසමීකරණය කරන ලද කාමරයක්‌ දෛනික කුලී පදනමට ලබාගෙන රැඳී සිටි බවත් පසුව ඇය මුදල් නොගෙවා පලා යැමට උත්සාහ කළ අවස්‌ථාවේ එය වළකාලූ බවත් ආයතනයේ හිමිකරු වන ගාමිණී පතිරාජ මහතා අනුරාධපුර මූලස්‌ථාන පොලිසියට පැමිණිලි කරමින් කියා තිබෙනවා.

මෙම තරුණ කාන්තාව මාස කිහිපයක්‌ තිස්‌සේ සිය නිවාඩු නිකේතනයේ රැඳී සිටි බවත් දිනක්‌ බඩු බාහිරාදිය පටවාගෙන මුදල් නොගෙවා පිටව යැමට උත්සාහ කළ අවස්‌ථාවේ ඊට විරෝධය පෑම නිසා ඇය තවදුරටත් රැඳී සිටි බවත් පැමිණිලිකරු පොලිසියට ප්‍රකාශ කර ඇති බවයි වාර්තා වන්නේ.

දිනක්‌ තම සුරතල් බලු පැටියාට වෛද්‍ය ප්‍රතිකාර ගැනීමට යන බව කියමින් අත් බෑගයක්‌ රැගෙන පිටව ගොස්‌ සති කිහිපයක්‌ ගත වූවත් ඇය නැවත නිවාඩු නිකේතනයට නොපැමිණි බව යි පැමිණිල්ලේ සඳහන් වන්නේ.

හිමිකරුට කාමර කුලී වශයෙන් රුපියල් 65,000 ක මුදලක්‌ හා සති කිහිපයක්‌ තිස්‌සේ කාමරය දොරගුළු දමා වසා යැමෙන් දෛනිකව රුපියල් 3,000 ක පමණ අලාභයක්‌ සිදුවන බවත් ඔහු පොලිසිය හමුවේ සඳහන් කර තිබෙනවා.

එමෙන්ම සැකකාර කාන්තාව අනුරාධපුර නගරයේ විවිධ ස්‌ථානවලට ගොස්‌ තාවකාලිකව නවාතැන් ගෙන මුදල් නොගෙවා පිරිමි පුද්ගලයන් සමඟ ගැටුම් ඇතිකරගෙන ඔවුන් ලිංගික අතවර සිදු කළ බව පවසමින් පොලිසියට බොරු පැමිණිලි ඉදිරිපත් කර එම පුද්ගලයන් අපහසුතාවට පත්කරන්නියක්‌ බවද පොලිසිය පවසනවා.

ඇයට විරුද්ධව මුදල් වංචා කල කෝලාහල කිරීම සම්බන්ධයෙන් අනුරාධපුර මූලස්‌ථාන පොලිසියේ පැමිණිලි රැසක්‌ ලැබී තිබෙන බවත් ඇය පොලිස්‌ ස්‌ථානයටත් පැමිණ තමන් ගුවන් නියමුවරියක්‌ බව කියමින් පරුෂ වචන කියමින් කෑකෝ ගසමින් හැසිරුණු බවත් පොලීසිය අනාවරණය කරනවා.

ඇය සිදුකරන බොරු පැමිණිලි සම්බන්ධයෙන් පොලිසිය ක්‍රියාමාර්ග නොගත් විට ප්‍රදේශයේ උසස්‌ පොලිස්‌ නිලධාරීන්ට හා පොලිස්‌ මූලස්‌ථානයට ව්‍යාජ පෙත්සම් යවමින් පොලිස් නිලධාරීන් ද අපහසුතාවට පත් කරන බවයි පොලිසිය වැඩිදුරටත් සඳහන් කරන්නේ.

මේ අතර මෙම ගුවන් නියමුවරියක් බව පවසන තරුණ කාන්තාව නුගේගොඩ ප්‍රදේශයේ තිබූ සියලු ඉඩකඩම් රුපියල් කෝටි ගණනකට විකුණා අනුරාධපුරයට පැමිණ සිටින බවත් ඇගේ සැමියා හෙරොයින් ජාවාරම් සම්බන්ධයෙන් අත්අඩංගුවට පත්වී රක්‌ෂිත බන්ධනාගාරගතව සිටින අයකු බවත් පොලිසිය අනාවරණය කරගෙන තිබෙනවා.

සැකකාරියගේ පියා භාණ්‌ඩ හා මගී ප්‍රවාහන නෞකාවක කපිතාන්වරයකු වශයෙන් සේවය කරන අයකු බවද පොලිසිය තහවුරු කරගෙන ඇති බව සඳහන්.

නිවාඩු නිකේතන හිමියාට මුදල් වංචා කර පලා ගොස්‌ සිටින මෙම කාන්තාව අත්අඩංගුවට ගැනීම සඳහා අනුරාධපුර මූලස්‌ථාන පොලිසියේ විවිධ පැමිණිලි අංශය වැඩිදුර පරීක්‌ෂණ සිදු කරනවා.

gossip lanka