රොටී, පාන් හදනවා වගේ මෙගා නාට්‍යත් හදනවා

1992 වසරේදී වේදිකා නාට්‍ය රංගන ශිල්පියෙකු ලෙස කලාවට අවතීර්ණ වන ඔහු මේ වන විට ටෙලිනාට්‍ය මෙන්ම වේදිකා නාට්‍ය කිහිපයකටම රංගන දායකත්වය ලබා දෙමින් දක්ෂ රංගන ශිල්පියෙකු බවට පත්ව ඇත. ඔහු නිමල් ජයසිංහය. මේ කතා බහ ඔහු සමගය.

මේ දිනවල සිදුවන නිර්මාණ කටයුතු ගැන අපි මුලින්ම කතා කරමු?

මේ දිනවල දායක වන වේදිකා නාට්‍ය ගැන මුලින්ම
කතා කළොත් මම සුසිල් වික්‍රමසිංහ මහතාගේ කොළඔ පාර වේදිකා නාට්‍ය, සුභ යස යස ,මහාසාර, ගුරු තරැව,අන්දරේලා, හඬ නිහඬ, හැම්ලට්, රාමායණය, දෙසීය තුන්සීය සකුන්තලා, කෝළම්පුරය වැනි නාට්‍ය කිහිපයකටම දායක වෙනවා. ටෙලිනාට්‍ය ගැන කතා කළොත් ජයලත් මනෝරත්නගේ සූරිය කුසුම ටෙලිනාට්‍ය විකාශයට දායක වුණා. මේ දිනවල හිරු නාළිකාවේ කිරුළි කියන නාට්‍ය විකාශය වෙනවා. එයටත් රංගනයෙන් දායක වුණා. ඒ වගේම මේ මස 16 වැනිදා සිට ලලිත් රත්නායකගේ ‘තාත්ත’ කියන ටෙලිනාට්‍ය සිරස නාළිකාවේ විකාශය වීමට නියමිතයි. එයටත් දායක වෙනවා. ඒ වගේම පසුගිය කාලේ ඒකාංගික නාට්‍ය කිහිපයකටම මම දායක වුණා.

ඔබ වැඩි නිර්මාණ කාර්යයක් සිදුකරන්නේ වේදිකාව තුළ. එයට විශේෂ හේතුවක් තියනවද?

හීනටිගල ප්‍රේමදාසගේ හතළිස් ඇඳිරිය නාට්‍යයෙන් තමයි මම වේදිකාවට ආවේ. එදින සිට මම බොහෝ සේ ඇලුම් කළේ වේදිකාවට. ඒ අතරතුර ජාතික රූපවාහිනියේ ශ්‍රිමතී ලියනගේ මහත්මියගේ ළමා නාට්‍යවලට හා ස්වාධීන රූපවාහනියේ ළමා නාට්‍ය වලට සම්බන්ධවී සිටියා. ප්‍රධාන වෙන්නේ වේදිකාවම තමයි. ඉරඅවර ටෙලිනාට්‍යයේ ප්‍රධාන චරිතයකට දායක වුණා. ලලිත් රත්නායකගේ වන්නිය වැනි නාට්‍ය කිහිපයකටම දායක වුණා. එහෙත් අද මෙගා නාට්‍ය තමයි වැඩි පුර නිර්මාණය වෙන්නේ. එහිදී ගුණාත්මක භාවය හා ඔවුන් කතා කරන විලාශය නිසා දායක වෙන්නේ නැහැ. ලෝ බජට් කියන කාරණය මුල් කරගෙන රංගන ශිල්පියාට ගෙවීම පිළිබඳ තමයි මුලින්ම ඔවුන් කතා කරන්නේ. මම ටෙලිනාට්‍ය කිහිපයකටම සම්බන්ධ වුවත් ඒ සඳහා වන අපේ ප්‍රතිලාභය ගන්න ඔවුන් පසුපස යන්න සිද්ධ වුණා. ඒ නිසා ටෙලිනාට්‍යවලට සම්බන්ධවීම සීමා වුණා. ටෙලිනාට්‍ය ක්ෂේත්‍රය තුළ බහුලව මෙය සිදුවෙනවා. වේදිකාවේදී මුදලම අපේ මුලික අරමුණ වෙන්නේ නැහැ. අපිට ඒ වටිනාකම ලැබෙනවා. ඉන් ලැබෙන ආත්ම තෘප්තිය නිසා වේදිකාවට ලොකු ඇල්මක් තිබෙනවා.

රංගන ශිල්පියෙකු ලෙස වැඩක් කරන්න පුලුවන් පසුබිමක් මේ වන විට ටෙලිනාට්‍ය ක්ෂේත්‍රය තුළ නිර්මාණය වී නැද්ද?

එලෙස කරන්න හැකියාව තියෙන නිර්මාණ අල්ප වශයෙන් තමයි බිහිවෙන්නේ. ගුණාත්මක ටෙලිනාට්‍යයත් නිර්මාණය වෙනවා. හොඳ රංගන ශිල්පීන් ඉන්නවා. අද විකාශය වන සමහර ටෙලිනාට්‍යවල නමවත් මතක නැහැ. ඒ අතරතුර හොඳ ටෙලිනාට්‍ය විකාශය වෙනවා. ලලිත් රත්නායක මහතාගේ ටෙලිනාට්‍යයට දැන් වසර තුනක් පමණ වනවා. දැන් තමයි එය විකාශය වෙන්නේ. නමුත් දැන් විකාශය වෙන මෙගා නාට්‍යය බලන්න. මේ සතියේ රූගත කිරීම් සිදු කරනවා. ලබන සතියේ විකාශය වනවා. ඔය වන අතර තුර කොටස් දහය දහය රූගත කරනවා. රොටී, පාන් හදනවා වැනි තත්ත්වයක් තමයි එහි දැන් ඇති වී තිබෙන්නේ. ගුණාත්මක නාට්‍යයට එහෙම ඉඩක් ලැබෙන්නේ නැහැ.

ඔබ වැඩිපුරම කාලය දෙන්නේ වේදිකා නිර්මාණ වලට. මේ තුළ ආර්ථිකමය කාරණාව අභියෝගාත්මක නැද්ද?

මම වෘත්තීය ලෙස කලාවේ තමයි නියැළෙන්නේ. නමුත් මම වෙන ආර්ථික පසුබිමක් ගොඩනගාගෙන තිබෙනවා. ඒ නිසා මේ තුළ ලොකු ගැටලුවක් වෙලා නැහැ. ටෙලිනාට්‍ය බොහෝ ප්‍රමාණයක හඬ කැවීම් ශිලිපියෙකු ලෙසත් කටයුතු කිරීම නිසා ආර්ථිකමය අතින් යම් සැහීමකට පත්වෙන්න පුලුවන්. ඒ නිසා වේදිකාව වෙනුවෙන්ම වැඩි කාලයක් වෙන් කිරීම ගැටලුවක් වෙලා නැහැ.

විදේශීය ටෙලිනාට්‍ය විකාශය කිරීම සම්බන්ධයෙන් ඔබ තුළ තිබෙන්නේ කෙබඳු අදහසක්ද?

අවරගනයේ හරසුන් විදේශීය නාට්‍ය අපේ රටේ ප්‍රදර්ශනය කරනවා කියලා බොහෝ විරෝධතා ඇතිවෙනවා. නමුත් මගේ පෞද්ගලික මතය මම කියන්නම්. ප්‍රධාන රූපවාහිනි ආයතනයකම වගේ මම හඩ කැවීමේ ශිල්පියෙකු ලෙස කටයුතු කරනවා. ඒ තුළ හරසුන් නාට්‍ය නැහැ කියලා මට කියන්න බැහැ. නමුත් ඊටත් වඩා හරසුන් නාට්‍ය තමයි දේශීයව නිර්මාණය වෙන්නේ. එතනයි ගැටලුව තියෙන්නේ. හොඳ ගුණාත්මක ටෙලිනාට්‍ය කර අයට විදේශීය ටෙලිනාට්‍ය නිසා ගැටලුවක් ඇතිවෙලා නැහැ. හොඳ නාට්‍ය කරනවා නම් මෙහෙම ගැටලුවක් වෙන්නෑ. එහෙම නිර්මාණවල තිබෙන දුර්වලතාව නිසා තමයි විදේශීය නාට්‍ය විකාශය වෙන්නේ.

කාලයක් රංගන ශිල්පියෙකු ලෙස ක්ෂත්‍රය තුළ කටයුතු කළත් ජනප්‍රිය ශිල්පියෙකු ලෙස ප්‍රේක්ෂකයන් අතරට ගෙන එන්න ඔබ අසමත්ව තිබෙනවා?

මෙහෙමයි. මම ජනප්‍රියත්වම බලාපොරොත්තුවෙන් මේ ක්ෂේත්‍රයට ආව කෙනෙක් නෙමෙයි. මට තිබුණු ආසාව නිසා තමයි මම මේ ක්ෂේත්‍රයට යොමු වුණේ. මට ජනප්‍රිය වෙන්න අවස්ථා බොහෝ ලැබුණා. මෙගා නාට්‍ය වලට බොහෝ ආරාධනා ලැබුණා. මම කාලයක් වේදිකාව තුළ රංගන ශිල්පියෙකු ලෙස දෙයක් කරලා තියනවා. මම සරච්චන්ද්‍ර හා ජයලත් මනෝරත්න මහත්වරුන්ගේ නාට්‍ය කණ්ඩායම් එක්ක හිටියා. වේදිකාව තුළ එවැනි ප්‍රබල භූමිකා සඳහා දායකත්වය දැක් වූ අයෙකු මෙගා ටෙලිනාට්‍යවලට දායක වුණාම ඔහුට හානියක් සිදු වෙනවා. ඒ නිසා තමයි මම ඒ දෙයට යොමු නොවෙන්නේ.

අද වෙද්දි වේදිකා නාට්‍ය ප්‍රේක්ෂකාගාරය ගැන ඔබේ අදහස මොකක්ද?

අද වේදිකාව තුළ වැඩි ඉල්ලුමක් තියෙන්නේ හාස්‍යය නාට්‍ය වලට.කෙනෙක් රංග ශාලාවට ඇවිත් විනෝද වෙලා යන තැනක් බවට වේදිකාව හැඩ ගස්සලා. එය කිසියම් පිරිසක් විසින් ඇති කළ දෙයක්. එහෙම වුණත් රසඥතාවක් තිබෙන ප්‍රේක්ෂකාගාරයක් සිටිනවා. වෙළෙඳපොළ බිහිව තිබෙන්නේ මේ දේවල් මග හරිමින්. මේ අරමුණ එක්ක නිර්මාණය වන වේදිකා නාට්‍යයවල පිටපත කාලෙන් කාලෙට වෙනස් කරනවා. සමාජයේ කතා කරන මාතෘකා වේදිකා නාට්‍යයට බද්ධ කරගන්නවා. සුභ සහ යස ,අන්දරේලා, ගුරුතරුව, මහාසාර වැනි වේදිකා නාට්‍ය ගත්තොත් එහි පිටපත එහෙම වෙනස් වෙලා නැහැ. ගුණාත්මක වේදිකා නාට්‍ය වේදිකාගත වනවාට වඩා මෙගා නාට්‍ය වගේ හුදු වින්දනය පමණක් සපයන වේදිකා නාට්‍ය නිර්මාණය වෙනවා. අද වෙද්දි එහෙම රැල්ලක් වේදිකාවේ තියනවා. එහෙම වුණත් දේශපාලනික සමාජ කියවීමක් තිබෙන නාට්‍ය ප්‍රේක්ෂකයන් ඉතා හොඳින් භාර ගන්නවා. ඒ වගේම එවැනි පැරණි නිර්මාණවල තිබෙන ගුණාත්මක භාවය සදාකාලිකයි.

අවසන් ලෙස ඔබේ ඉදිරි නිර්මාණ ගැන කතා කළොත්?