එයා කැමැති වුණේ මගේ සාමාන්‍ය සරළ ජිවන ස්වභායටයි

පේ‍්‍රමය වෙනුවෙන් තිරය මතදී හිත රිදවාගත්ත මේනකා හැබෑ දිවියේ ප‍්‍රීතිමත් පේ‍්‍රමයක අයිතිකාරියක්. ජිවිතය පිරෙන්න ආදරණීය බලාපොරොත්තු පුරවාගෙන හිදින මේනකාව අපිට හමුවුණා. ආදරණීය හීන වලින් තිස්තුන් පැයම ගෙවන ඇය සොදුරු කුළගෙයක බලාපොරොත්තුව දෝත දරාගෙන ඉන්නවා අපි දුටුවා.
ඉතින් ඇගේ ආදරයෙන් අද අපව හැඩකරන්න මම මේනකාට ඉඩදුන්නා.


මේනකාගේ හිත ආදරය හදුනාගන්නේ ?

ඉස්කොලේ කාලේදී මම කොල්ලෙක් වගෙයි. ක‍්‍රීඩාවලට වගේම මම නර්ථනය ඉගෙන ගන්නත් උනන්දු වුණා. මගේ මේ දක්ෂතා නිසා මාව පාසැලේ බාලිකාවන් අතර ජනප‍්‍රිය චරිතයක් වෙලා හිටියා. හැබැයි පාසැල් වියේ මට පේ‍්‍රම සබදතා නම් තිබිලා නැහැ.

ඉස්කොලෙන් පස්සේ ?

ඊට පස්සෙත් මම දිගටම නර්ථනය හැදෑරුවා. මට ඕනෑවුණේ නිළියක් වෙන්න නෙවෙයි නර්ථන අංශයෙන් ඉදිරියට යන්න. බුදවත්ත සර් යටතේ නැටුම් ඉගෙන ගන්න කාලෙ අපිට රූපවාහිනී නාලිකවක නර්ථන තරගයක් වෙනුවෙන් නර්ථනය ඉදිරිපත් කරන්න අවස්ථාව හිමිවුණා.

මේනකාගේ ජිවිතයට ආදරයක් හමුවන්නේ ?

ඔය කාලේම තමයි මට මගේ ප‍්‍රථම පේ‍්‍රමය හමුවෙන්නේ. ඒත් ඒ ආදර කතාව වැඩිදුර යන්නේ නැහැ. මට රංගයට සම්බන්ධ වෙන්න අවස්ථාව හිමිවුණා. හැබැයි ඔහු මම කලාවට එනවට කැමැති වුණේ නැහැ. මේ දේවල් එක්ක එ් ආදර කතාව මැකිලා ගියා.

තිරයේ මේනකාට ඉස් ඉස්සරලාම ‍පෙම්කරන්න හමුවෙන්නේ ?

තිරයේ මට ඉස්සරලාම පෙම්කරන්න ලැබෙන්නේ මගේම නම තියෙන කෙනෙකුට. ඒ මේනක රාජපක්ෂ. වැඩියෙන්ම මට රගපාන්න ලැබෙන්නේ පරාජිත පෙම්වතියගේ චරිතයයි. මට හිතෙනවා මට සාර්ථකව රගපාන්න පුළුවන් පරාජිත පෙම්වතියගේ චරිතය කියලා. එහෙම වුණාට මම පෞද්ගලිකව වෙනස් චරිත රගපාන්න කැමැතියි.

මේනකාගේ ජිවිතය දිනාගත් ආදරය කලාවෙන්ද හමුවෙන්නේ ?

එයා මට හමුවුණ විදිහ මේ යැයි මට විස්තර කරන්න අපහසුයි. මම මෙහෙම කියන්නම්. ජිවිත ගමනේ ඉදිරියට යද්දි මට දෛවය විසින් ඒ ආදරය මුණගස්වනවා. එයා කලාවට සම්බන්ධ කෙනෙක් නෙවෙයි. ඒ වගේම මම නිළියක් කියලා හිතලා මට සමිප වුණ කෙනෙකුත් නෙවෙයි. එයා කැමැති වුණේ මගේ සාමාන්‍ය සරළ ජිවන ස්වභායටයි.

ඒ ආදරයෙන් හා හා පුරා කියලා මේනකා ලද තිළිණය මොකක්ද ?

මට එයාගෙන් ලැබුණේ ලස්සන මුද්දක්.

කලාවට සබදතා නැති ඔහුගෙන් මේනකාගේ කලා දිවියට ලැබෙන උදව් උපකාර කොතරම්ද ?

සහයෝගයක් කියන්නේ ලොකුවට උදව් ලැබෙනවා කියලා නැහැ. එහෙමයි කියලා බාධා කිරීමකුත් නැහැ. නමුත් ඉතින් ආදරය කරන කෙනා අකමැති වුණොත් හරි කලාව මගේ පෞද්ගලික දිවියේ කටයුතු වලට බාධාවක් වෙනවා නම් හරි කලාවෙන් ඈත්වෙන එක මට අසීරු දෙයක් නෙවෙයි. මම කැමැති නිළියක් විදිහට ඉදිරියට යනවට වඩා ව්‍යාපාරික පැත්තෙන් ඉදිරියට යන්නයි.

මේනකාගේ ආදර කතාවේදී දෙමව්පිය ආශිර්වාදය කොයි තරම් දුරට වැදගත් වුණාද ?

ඒක මට හරිම වැදගත්. දෙමව්පියන්ගේ ආශිර්වාදය මම අනිවාර්යෙන්ම බලාපොරොත්තු වුණා. මගේ අම්මයි තාත්තයි මගේ සතුට ගැන හිතනවා. මම තෝරාගත් පේ‍්‍රමයට අම්මලාගෙන් ආශිර්වාද ලැබුණා.

හෙට අනිද්දාම මේනකා පෙම්වතියගේ චරිතයෙන් බිරියකගේ චරිතයට මාරුවෙන්න සුදානමින්ද ?

මේ අවුරුද්ද අවසන් වෙද්දි විතර ඒ ගැන තොරතුරු කියන්නම්. කොහොමටත් මම කැමැතියි ඒ කටයුතු ආසන්නයට එනතුරු එයාගේ වෘත්තීය නම වගේම අපේ විවාහ මංගල්‍ය ගැන තොරතුරු ප‍්‍රසිද්ධ වෙනවාට.

මේනකාගේ ආදර කතාව රටට කියන එක කරදයක්ද?

ඔව්. ගොඩක් වෙලාවට නිදහස සීමා වෙනවා. වෙලාවකට එහෙම වුණ එක ගැන දුකක් ඇතිවෙනවා.

මේනකාගේ ආදර කතාවේ මත ගැටුම් හැල හැප්පීම් වලින් නිසංසලේ ගලායනවාද ?

එහෙම කියන්න බැහැ. මේ ලොකේ කාටවත් සියයට සියයක් ගැළපෙන සමාන විදිහට හිතන පතන අය හුමවෙන්නේ නැහැ. දෙදෙනෙක් එකතුවෙලා ජීවත් වෙද්දි ඒ නොගැලපීම් හදුනාගෙන ඒ දෙවල් ඉවසගෙන ඉදිරියට යෑම තමයි සිදුවිය යුත්තේ.

ඔබගේ වෘත්තීය ස්වභාවය අනුව කටකතා විශ්වසායන් බිදියන අවස්ථා වැඩියි නේද ?

කලා ක්ෂේත්‍රයේ නෙවෙයි ඕනෑම ක්ෂෙත‍්‍රයක කටකතා වලට කෙනෙකුට මුහුණ දෙන්න සිිදුවෙනවා. එ්වා සාමාන්‍ය දේවල්නේ. අපි ආදරය කරද්දි අපි තෝරගන්න ඕනෑ අපිව විශ්වාස කරන කෙනෙක්වයි. මම ආදරය කරන කෙනා මාව විශ්වාස කරන නිසා මට එවැනි ප‍්‍රශ්න ඇතිවෙලා නැහැ.

දම්මිකා සුරංජි පතිරණ