ගණන් මිණුම් පසෙක තබා චිත්‍ර අඳින පුංචි කෙල්ල....

ලක්නා ඔයාගේ දෙවන ඒකපුද්ගල චිත්‍ර ප්‍රදර්ශනයට මේ දවස්වල සූදානම් වෙනවා...? අපිට ඒක ගැන විස්තර ටිකක් කිව්වොත්...? ඔව්. මම 2015 අවුරුද්දේ මගේ පළමු චිත්‍ර ප්‍රදර්ශනය පැවැත්වූවා. ඒක මම නම් කළේ ‘Sparking Spirit’ නමිනුයි ඒක මම ගොඩක් වෙලාවට තෙල් සායම් උපයෝගී කරගෙන තමයි චිත්‍ර නිර්මාණය කළේ. ඊට පස්සේ තමයි මේ අවුරුද්දේ මේ චිත්‍ර ප්‍රදර්ශනය කරන්න තීරණය කළේ. මේකෙදීත් එක දෙයකට පමණක් සීමා නොවී අත්හදා බැලීම් එක්ක මේ චිත්‍ර ප්‍රදර්ශනය සිදුකරනවා. මම සතුව තියෙන චිත්‍ර ශෛලියන් කිහිපයක්ම උපයෝගී
කර ගනිමින් තමයි මේ චිත්‍ර ප්‍රදර්ශනය කරන්නේ. මේකෙදි අපේ ඉතිහාසයත් එක්ක, යුග අතර, කාලයත් අතර, සංස්කෘතීන් අතර, ජාතීන් අතර මෙන්ම ඉතිහාසයේ හිටි කලාකරුවන්ගේ චිත්‍ර සහ දැන් ඇති චිත්‍ර අතර වෙනස පෙන්නන්නත් මම උත්සාහ ගෙන තියෙනවා. මේ ප්‍රදර්ශනයට චිත්‍ර විස්සක් පමණ ප්‍රදර්ශනය වෙනවා.

කවදාද මේ චිත්‍ර ප්‍රදර්ශනය දැකබලා ගන්නට ලැබෙන්නේ?

මේ චිත්‍ර ප්‍රදර්ශනය අගෝස්තු මස 4 සහ 5 වෙනිදා උදේ 9.00 සිට රාත්‍රී හත දක්වා කොළඹ ලයනල් වෙන්ඩ්ට් ප්‍රදර්ශනාගාරයේදී පවත්වන්නට තීරණය කරලා තියෙනවා. මෙම ප්‍රදර්ශනයේදී එක ශෛලියකට පමණක් චිත්‍ර කොටුවෙලා නැහැ. ඒ නිසා මම මේ චිත්‍ර ප්‍රදර්ශනය ‘ශෛලී’ කියලා තමයි නම් කරලා තියෙන්නේ.

ලක්නා චිත්‍ර අඳින්න පටන් ගත්තේ පුංචි කාලේ ඉඳන්මද?

ඔව්. පුංචි කාලේ ඉඳන්ම මම චිත්‍රවලට ආසයි. හැබැයි මම පාසලේදී බාහිර ක්‍රියාකාරකම්වලට කළේ ක්‍රීඩාවයි. මම ඉගෙන ගත්තේ කොළඹ යශෝදරා බාලිකාවේ. පාසලේදී මම ක්‍රීඩා උප නායිකාව ලෙසින්ද වසර කිහිපයක් කටයුතු කළා. උසස් පෙළට වාණිජ අංශයෙන් තමයි පෙනී හිටියෙ. ඉතින් උසස් පෙළ අවසන් වුණාට පස්සේ තමයි චිත්‍රවලට වඩාත්ම මගේ හිත නතර වුණේ. ඇත්තටම චිත්‍ර කලාව සම්බන්ධව මට මුල ඉඳන්ම ඉගෙන ගන්න කියලා ගුරුවරයෙක් හිටියේ නැහැ. මම ගොඩක් දේවල් ඉගෙන ගත්තේ තනියමයි. මමම බොහෝ දේවල් උත්සාහ කරලා ඉගෙන ගත්තා. මම තාත්වික චිත්‍රවලට වැඩිපුර කැමැත්තක් දක්වනවා. ඒ නිසාම ඒ ගැන ඉගෙන ගන්න තිබුණු ආසාව මගේ වැඩිවුණා.

ලක්නාගේ ගෙදරින් මොනවගේ සහයෝගයක්ද ලැබෙන්නේ?

ඇත්තටම ලොකු සහයෝගයක් ලැබෙනවා. මුල්ම ප්‍රදර්ශනයේදීත් මගේ ගෙදරින් ඒ සහයෝගය උනන්දු කිරීම ලැබුණා. මගේ අම්මාගේ අයියාට චිත්‍ර අඳින්න හොඳට පුළුවන්. මාමාත් චිත්‍ර ප්‍රදර්ශනයක් කළා. ඉතින් ඒවා දැකලා ඒ ආභාෂයත් මට තිබුණා. ඒ වගේම මගේ තාත්තාත් විනෝදාංශයක් විදිහට චිත්‍ර ඇන්දා. ඉතින් ඒ හැමදේම දැකලා මටත් ආසාව ඇතිවුණා. ඒ වෙනුවෙන් ගෙදරින් ලොකු සහයෝගයක් ලැබුණා. ඉස්කෝලේදී නම් මට චිත්‍ර කලාවට එහෙම ලොකුවට නැඹුරුවක් තිබුණේ නැහැ. ඒ කාලේදී චිත්‍ර අඳින්න මට එච්චර බැහැ. ඉස්කෝලේ ගුරු මෑණිවරු මාව දැනගෙන හිටියේ ක්‍රීඩාවෙන් තමයි. උසස් පෙළ ඉවරවුණාට පස්සේ මට ක්‍රීඩාව අතහැරුණා. ඊට පස්සේ චිත්‍ර කලාව පටන් ගත්තා.

පළමු ප්‍රදර්ශනයෙන් පස්සේ නේද ඔබට රුකියාවක් ලැබුණේ?

ඔව්. ඒක ඇත්ත. මම දැන් ඇඟලුම් ක්ෂේත්‍රයේ රුකියාවක් කරනවා. මම දැනට ‘Fashion Print designer’ කෙනෙක් විදිහට වැඩකරනවා. ඉතින් ඒ රුකියාව ගැනත් මම තෘප්තිමත්.

චිත්‍ර කලාවට අමතරව ලක්නා ඡායාරෑප කලාවට ආසයි නේද?

ඔව්. පාසැල් ජීවිතෙන් පසුව මට ඡායාරෑප ශිල්පය හදාරන්න ලොකු ආසාවක් ඇතිවුණා. ඉතින් මමම ෆොටෝ එකක් අරගෙන ඒ ගත්තු ෆොටෝ එක මම ආයෙමත් අඳින්න පුරුදු වුණා. ඒ වගේ අලුත් දෙයක් කරන්න මම හැමවෙලේම උත්සාහ කළා. ඇත්තටම මම ගත්ත ෆොටෝ එක මටම නැවත චිත්‍රයට අඳිද්දි හිතට ලොකු සතුටක් දැනෙනවා. ඉතින්.... මම ආරාධනා කරනවා මේ ‘ශෛලී’ සිතුවම් ප්‍රදර්ශනය නැරඹීමට එන්න කියලා. ඒක වෙනස්ම අත්දැකීමක් වේවි.

Text – Dishani