සංහිඳියාවට බාධා නිසා දුටුගැමුණු පිළිරුව කතරගම පෙරහැරින් ඉවත් කරන්න යහපාලන ලොක්කෙක්ගෙන් නියෝග

කතරගම දුකට පත් කළ අපල කාලය දුරු විය. කඳසුරිඳු මංගල්‍යයට පැමිණිි මහ සෙනඟ දුටු විට එය හොඳින් පසක් විය. අතුරු සිදුරු නොමැතිව පූජා භූමිය බැතිමතුන්ගෙන් පිරී ඉතිරිණි. දින පහළොවක් පුරාවට පැවැති දේව මංගල්‍යය දිය කැපීමේ උත්සවයත් සමඟ පසුගිය සෙනසුරාදා අවසාන විය.

මෙවර කතරගම දේව මංගල්‍යය වැඩිම බැතිමතුන් පිරිසක් සහභාගි වූ මංගල්‍යයක් ලෙස ඉතිහාසගත වී ඇත. එය කතරගමට පමණක් නොව මුළු රටටම ආශිර්වාදයකි. ඉර හඳ පවතින තුරු කතරගමට
ජනගඟ ගලන බවට කතරගම දෙවියන් දුන් පොරොන්දුව නැවත, නැවත සනාථ කිරීමකි. එමෙන්ම කතරගම දේව මංගල්‍යයේ ඉතිහාසය පුරාවට වැඩිම අලි, ඇතුන් ප‍්‍රමාණයක් සහභාගි කර වූ පෙරහැර මංගල්‍යය ලෙස ද මෙවර පෙරහැර ඉතිහාසයට එකතු වී ඇත. එමෙන්ම මෙවර කතරගම ඇසළ පෙරහැර මංගල්‍යය පෙර වර්ෂවල පැවැති පෙරහැර මංගල්‍යයන්ට වඩා අතිශය විචිත‍්‍රවත් ලෙස පැවැත්වූ බව ද සියලූ බැතිමතුන්ගේ අදහසය. කතරගම පෙරහැරේ ඒ විචිත‍්‍රවත් බව අපිදු දුටුවෙමු. පෙරහැර ආරම්භයේ සිට අවසානය දක්වා නැටුම්, ගැයුම්වලින් සෝබමාන වූ අයුරු දැක සිත් ප‍්‍රීති ප‍්‍රමෝදයට පත් වූ බව නොරහසකි. එමෙන්ම අපේ දේශය එක්සේසත් කළ දුටුගැමුණු මහ රජතුමාගේ පිළිරුව පෙරහැර ඉදිරියෙන්ම වැඩමවන අයුරු දුටු විට සිතට මහත් අභිමානයක් දැනිණි. මොහොතකට මගේ සිතේ කතරගම දේව පුරාණේ පිටු පෙරළෙන්නට විය.

වල්ලි මාතාව දැකබලාගැනීම සඳහා වැඩසිටි කන්දේ සිට පහළට බැස්ස කඳසුරිඳුන්ට කප්පකන්දර නදිය (මැණික් ගඟ) අසබඩ බිම්තැන්නේ ගැල් නතර කර, හරකුන්ට ආහාර ලබාදී ගිමන් හරින දුටුගැමුණු රජුගේ මහා සේනාව දැකගැනීමට ලැබිණි. දුටුගැමුණු රජු සමඟ මහා සේනාව එළාර සමඟ යුද වැදීමට යන බව කඳසුරිඳු දිව්‍යඥානයෙන් දුටහ. කඳසුරිඳු මහලූ වේෂයක් ගෙන සේනාවේ ප‍්‍රධාන අණ දෙන නිලධාරියා හමු වී නතර කර තිබෙන ගැල් තුළ මොනවා තිබේදැයි විමසා ඇත.

‘ගැල් තුළ තියෙන්නේ ආහාර කිව්වොත් මේ මහල්ලා කන්න මොනවහරි ඉල්ලන්නවා. බොරුවක් කියන්න ඕනෑ…’ කියා සිතූ ප‍්‍රධාන නිලධාරියා මේ ගැල් සියල්ලේ ඇත්තේ උඳු බව පවසා ඇත. මහලූ වෙස් ගත් කඳ කුමරුන් එය පිළිගත්තා සේ හිස වනා මැණික් ගඟ දිගේ පහළට ගමන් කළහ. සේනාව ආහාර ගැනීමට සූදානම්ව මලූ බහාලූවේය. ලිහන, ලිහන ගැල්වල ගොඩ ගසා තිබූ ආහාර මලූ, ආයුධ සියල්ලම උඳු බවට පත් වී ඇති ඇයුරු දැක සේනාව විශ්මයට පත් විය. මැණික් ගඟ අසබඩ පිහිටි අෂ්ට ඵල බෝධියට බාරයක් වී සේනාව අතරට පැමිණි දුටුගැමුණු රජුට ප‍්‍රධාන නිලධාරියා වෙච්ච ඇබැද්දිය පැහැදිළි කළේය.

කන වැකුණු කතාවෙන් පුදුමයට පත් වූ රජතුමා ඈත යන මහල්ලා අසළට දිව ගියහ. එහෙත් මහල්ලා අසළට යෑමට නොහැකි ලෙස ක්‍ෂණයෙන් මැණික් ගෙඟ් දිය වැඩි විය. අද දිය කපන වැල්ල පිහිටි ස්ථානයේ මහලූ වෙස් ගත් කඳ කුමරුන් සිටි අතර දුටුගැමුණු රජු ගං ඉවුරේ සිටියහ. මේ නම් මහල්ලෙක් නොව කතරගමට අධිපති බලසම්පන්න කඳසුරිඳු බව දුටුගැමුණු රජුට තේරුම් ගියහ.

‘ස්වාමිනී මේ රට එක්සේසත් කිරීමට එළාර රජු සමඟ සටනට යන දුටුගැමුණු රජු මා වෙමි. මා හට ඔබවහන්සේගේ ආශිර්වාදය අවශ්‍යයි. මට ඔබවහන්සේ අසළට එන්නට අවසර දෙන්නැයි…’ කියා රජු ගං ඉවුරේ සිටම කඳ කුමරුට ඇසෙන්නට කන්නලව් කළහ.

රජුගේ කන්නලව්ව සාවදානම අසා සිටි මහලූ වෙස් ගත් කඳ කුමරුන් රන් අසිපතින් දිය දෙබෑ කරගෙන මා සිටින ස්ථානයට පැමිණෙන්නැයි උස් හඬින් පැවසූහ. පසුව රජු සිය මඟුල් කඩුවෙන් දිය කපා කඳ කුමරු වෙත ගියහ. මෙරට ඉතිහාසයේ ප‍්‍රථම දිය කැපීම ඒ බව කතරගම දේව පුරාණයේ සඳහන් වේ.

දිය දෙබෑ කරගෙන පැමිණි දුටුගැමුණු රජු යුද්ධයෙන් ජය ගත් පසු ඉර හඳ පවතිනා තුරා පුද පූජාවන් පැවැත්වීම පිණිස මැණික් ගඟ අසල රන් උළු මාලිගාවක් ඉදිකරන බවට කඳසුරිඳුන් ඉදිරියේ බාරයක් විය. දුටුගැමුණු රජු යුද්ධයෙන් ජයගෙන රට එක්සේසත් කිරීමෙන් අනතුරුව ‘කඳසුරිඳු ඉදිරියේ වූ බාරය ඔප්පු කිරීම පිණිස දෙවියන් මුණගැසෙත්වා’ යන ප‍්‍රාර්ථනාව පෙරදැරි කරගෙන වැඩසිටි කන්ද ප‍්‍රදේශයට ගියහ. එහිදී කඳසුරිඳු දැක වැඳ නමස්කාර කර බාරය ඔප්පු කිරීම පිණිස දේවාලය ඉදිකිරීමට ස්ථානයක් පෙන්වා දෙන ලෙස දෙවියන්ගෙන් ඉල්ලීමක් කර ඇත. එවිට කඳ සුරිඳුන් පවසා ඇත්තේ ඔබ රන් උළු මාලිගාවක් සෑදීම අනාගතයේදී බිහි වන කලියුගය තුළදී මිනිසුන් කඩා බිඳ වස්තුව පැහැරගෙන යෑමට පුළුවනි. ඒ තුළින් මා හට ද අගෞරවයක් ඇතිවීමට ඉඩ තිබේ. ඒ නිසා රන් කොත් මාලිගාවක් සාදවා පුද පූජා කරන ලෙසට උපදෙස් ලබාදී, වැඩසිටි කන්දේ සිට ඊතලයකින් විද එම ඊතලය වැටුණු තැන දේවාලය ඉදිකරන ලෙස දන්වා කඳසුරිඳුන් නොපෙනී ගියහ.

කඳසුරිඳුන්ගේ උපදෙස් පරිදි

දුටුගැමුණු රජතුමා ඉසිවරයන් ගෙන්වා කතරගම දේවාලය නිර්මාණය කර, පුද පූජා ක‍්‍රම ගැන දැනුවත් වී කතරගම දෙවියන් උදෙසා පුද පූජා පැවැත්වීම ආරම්භ කළහ. දේවාලයේ පැවැත්ම උදෙසා ගොඩ, මඩ ඉඩම් අක්කර අනූනවදහසක් පූජා කර, දේවාලයේ කපු පරපුරට දස මහා යෝධයන්ගේ පරපුරේ උසස් කුලයේ අය පත් කරනු ලැබූහ. එමෙන්ම දේවාලයේ රාජකාරි ඉටු කිරීම පිණිස රාජකාරිකරුවන් පන්සිය පනස් දෙකක් පත් කර ඇත. එකී රාජකාරිකරුවන්ගේ පැවැත්ම සඳහා ඔවුන්ට ද ගොඩ මඩ ඉඩම් ලබාදී, දේවාලයේ ඉඩම් බදු දී ලැබෙන ආදායමෙන් ඉර හඳ පවතිනා තුරු දෙවියන් උදෙසා පුද චාරිත‍්‍ර ඉටු කරන ලෙසට රාජ ආඥාවක් ද පනවා ඇත. එදා සිට අද දක්වා වසර 2246 ක් පුරා කතරගම දෙවියන් සඳහා මෙම පුද සත්කාර ඉෂ්ට සිද්ධ කරනු ලැබේ.

කතරගම දේව පුරාණය මගේ සිතේ ඇදෙන විට දෙනෙත් නැවතත් පෙරහැරේ වැඩමවනු ලබන වීර වික‍්‍රමාන්විත රාජ තේජස පතුරුවන දුටුගැමුණු පිළිරුව ඉදිරියේ නතර විණි. ගරු ගාම්භීර ලෙස පෙරහැර ඉදිරියෙන් ගමන් ගත්

දුටුගැමුණු පිළිරුව මැදි කොටගත් අපේ කාලයේ යෝධයන්ගේ තේජස දැක සිත මහත් ආඩම්බරයකින් වෙළා ගත් බව නොකිවමානය. එසේ දස මහා යෝධයන් ලෙස වෙස් ගෙන සිටියේ දේශයේ මුර දේවතාවූන් වූ සිවිල් ආරක්‍ෂක නිලධාරීන්් දසදෙනෙකි.

කතරගම පෙරහැරේ පළමු වතාවට දුටුගැමුණු රජතුමාගේ පිළිරුව වැඩමවනු ලැබුවේ පසුගිය වර්ෂයේ පැවැති කඳසුරිඳු දේව මංගල්‍යයේදීය. දුටුගැමුණු රජතුමාගේ පිළිරුව කතරගම පෙරහැරේ වැඩමවීමට යෝජනා කර, අවශ්‍ය සියලූ කටයුතු සම්පාදනය කිිරීමට මූලිකත්වය ගෙන ඇත්තේ රුහුණු මාගම් පත්තුවේ ප‍්‍රධාන අධිකරණ සංඝ නායක කතරගම ශ‍්‍රී අභිනවාරාමාධිපති ශාස්ත‍්‍රපති කපුගම සරණතිස්ස හිමියන්ය. දුටුගැමුණු පිළිරුව පෙරහැර ඉදිරියෙන් ගමන් කරන විට සරණතිස්ස හිමියන් එය නරඹමින් නිරාමිස සතුටක් විඳින අයුරු ඈතින් මම දුටිමි. සෙනඟ පීරමින් මම උන්වහන්සේ අසලට ගමන් කළේ අති උතුම් මේ උපහාර පූජාව ගැන මොහොතක් කතා බහ කිරීමටය.

‘‘කතරගම දෙවියන්ට වැඩ වාසය කරන්න මේ දෙවොල ඉදිකරලා දුන්නේ දුටුගැමුණු රජතුමා. කතරගම දෙවියන් උදෙසා මේ සිදු කරන සියලූ පුද පූජා ආරම්භ කළේ

දුටුගැමුණු රජතුමා. ඒත් දුටුගැමුණු රජතුමාගේ නමක්වත් මේ පූජා භූමියේ කොහේවත් සඳහන් වෙලා නෑ. කාලයක ඉඳලා මේ වරද මම දැක්කා. දේවාලය ඉදිකර, ඉර හඳ පවතිනතුරු පුද පූජා පැවැත්වීමට රාජ ආඥාවක් නිකුත් කළ දුටුගැමුණු රජතුමාට උපහාර පූජා පැවැත්වීමේ වැදගත්කම නිළමේතුමා, කපු මහත්වරුන්ව දැනුවත් කළා. පස්සේ මගේ වියදමෙන් දුටුගැමුණු පිළිරුවක් ඉදිකරලා දේහධාරී තරුණයන් දහදෙනෙක් හොයාගෙන පෙරහැර ඉදිරියෙන්ම පිළිරුව වැඩමවීම සිදු කළා. ඒ කටයුත්ත උතුම් ක‍්‍රියාවක් සේ සලකා බොහෝ දෙනා මට ප‍්‍රශංසා කළා. දහස් ගණන් හොඳ කියන අතරේ කිහිපදෙනකුට දුටුගැමුණු පිළිරුව ජාතිවාදි ප‍්‍රතිරූපයක් වුණා. ඒත් මම දුටුගැමුණු පිළිරුව පෙරහැරෙන් ඉවත් කරන්න ඉඩ දුන්නේ නෑ. ඒ ප‍්‍රශ්න ඉදිරියේ නිළමේතුමාත් මාත් එක්ක හිටියා. ඒක මට ලොකු ශක්තියක් වුණා. ඒ වගේම මෙවර පෙරහැර බොහොම හොඳට කෙරුණා. පහුගිය අවුරුදුවල වගේ මෙවර ඇසල මංගල්‍යයට පාද වන්දනාවේ පැමිණි බැතිමතුන්ට වන සතුන්ගෙන් කරදර වුණා කියලා ආරංචි වුණේ නෑ. රිය අනතුරු සිදු වුණේ නෑ. පෙරහැර අතරතුර කිසිවකුට අනතුරක් සිද්ධ වෙලා නෑ. ඒ වගේම පහුගිය පෙරහැර මංගල්‍යයන්ට වඩා මෙවර පෙරහැර නැරඹීමට විශාල බැතිමතුන් පිරිසක් පැමිණියා. ඒත් කිසිම බැතිමතෙක්ව අතරමං වෙලා අසරණ තත්ත්වයට පත් වුණේ නෑ. ප්ලාස්ටික්, පොලිතින් පරිභෝජනයෙන් බැතිමතුන් බොහෝ සෙයින් වැළකිලා හිටියා. මෙවර පෙරහැරේ සාර්ථකත්වයට ප‍්‍රධාන හේතුව අපේ අලූත් නිලමේතුමා පෙරහැර මංගල්‍යය කල්තියා හොඳින් සැලසුම් කිරීමයි. ඒ නිසා පෙරහැර මංගල්‍යයේ සාර්ථකත්වයේ ගෞරවය නිලමේතුමාට හිමි වෙන්න ඕනෑ..’’ අභිනවාරාමාධිපති කපුගම සරණතිස්ස හිමි පෙරහැර නරඹින් සිටි කතරගම දේවාලයේ වැඩබලන නිලමේතුමා දෙසට හැරුණහ.

දිල්රුවන් රාජපක්‍ෂ බස්නායක නිලමේවරයා දැහැනට සමවැදී මෙන් පෙරහැර නරඹමින් සිටින අයුරු පෙනේ. සරණතිස්ස හාමුදුරුවන්ගෙන් සමුගත් මම බස්නායක නිලමේවරයා වෙත පැමිණ ඔහුගේ දැහැන බින්දෙමි.

‘‘මම වැඩ බලන බස්නායක නිළමේ ලෙස පත් වෙලා දවස් හතරකින් අවුරුදු මංගල්‍යය කරන්න වුණා. දේවාලයේ කපුමහත්වරුන් හා විහාරස්ථාන හිමිවරුන් එක්ක සාකච්ඡුා කරලා අවුරුදු මංගල්‍යය හොඳින් කළා. ඊළඟට මට පැවරුණු වගකීම වුණේ ඇසළ මංගල්‍යය. මට මහා විශාල අත්දැකීමක් නැති වුණාට සියලූ චාරිත‍්‍රානුකූලව පෙරහැර මංගල්‍යය හොඳින් සංවිධානය කළා. වෙන වසරවල පෙරහැර මංගල්‍යය පවත්වන්න බැංකුවලින් ණය අරගෙන තිබුණා. මෙවර අපි කිසිම බැංකුවකින් ණය ගත්තේ නෑ. මගේ හිතවතුන්ගෙන්, පරිත්‍යාගශීලී බැතිමතුන්ගෙන් ලැබුණු සහයෝගයෙන් තමයි පෙරහැරට අවශ්‍ය වියදම් හොයාගත්තේ. ඊට අමතරව කතරගම ශ‍්‍රී අභිනවාරාම විහාරාධිපති කපුගම සරණතිස්ස හිමි, කිරිවෙහෙර රාජමහා විහාරාධිපති කොබවක ධම්මින්ද හිමි, සිතුල්පව්ව රාජමහා විහාරාධිපති ශාස්ත‍්‍රපති මැටරඹ හේමරතන හිමි, තිස්සමහාරාම රාජමහා විහාරාධිපති ආචාර්ය දේවාලේගම ධම්මසේන හිමි, වැඩසිටිකන්ද රාජමහා විහාරාධිපති ශාස්ත‍්‍රපති හීල්ලේ ඤාණානන්ද හිමි, මහාසේන රාජමහා විහාරාධිපති පුජ්‍ය බඩල්ගම ජිනානන්ද හිමියන් අනුශාසනා ලබා දෙමින් විශේෂ උපකාර රුසක් කළා. කතරගම දේවාලයේ ප‍්‍රධාන කපු මහත්තයා සොමිපාල ටී. රත්නායක මහතා ප‍්‍රමුඛ කපු මණ්ඩලය සිය දේව රාජකාරිය නිසි ලෙස ඉටු කරමින් මට උපරිම සහයෝගය දැක්වුවා. අනවශ්‍ය වියදම් සීමා කරලා අඩු පිරිවැයකින් හරි ලස්සනට පෙරහැර මංගල්‍යය සිදු කළා. දේව මංගල්‍යයට පැමිණි සියලූ බැතිමතුන්ට දිවා, රාත‍්‍රි කෑම බීම ලබාදෙන්න අපිට පුළුවන් වුණා. මේ සියලූ දේ සාර්ථකව කරන්න පුළුවන් වුණේ සියලූ දෙනා එකමුතුකමින් වැඩ කරපු නිසයි…’’ දිල්රුවන් රාජපක්‍ෂ බස්නායක නිළමේවරයාගේ මුහුණේ ජයග‍්‍රාහී හසරුළි මැවිණි. ඒ දිදුළන දෑස් නැවතත් වීථි සංචාරය වන පෙරහැර දෙසට යොමු විය. පෙරහැර අවසානයේ වාසනා ඇත් රජු පිට කතරගම දෙවියන් වැඩමවන විට මාස ගණනකින් නොතැමුණු කතරගම මල් වැස්සකින් තෙමිණි. ඒ මල් වැස්සත් සමඟ කතරගම පූජා භූමිය සාදු නදින්, හරෝ හරා නාදයෙන් දෝංකාර දෙන්නට විය. ඒ අතරේ විථි සංචාරය කරමින් සිටි කතරගම දෙවියන් නැවත දේවාලයට වැඩමවනු ලැබූහ.

මනා පෞරුෂයක් සහිත උගත්, බුද්ධිමතුන් නායකත්වයට පත් වූ විට ඕනෑම අභියෝගයක් ජයගත හැකිය. එවැනි සත් පුරුෂයන්ට දෙවි දේවතාවුන්ගේ ආශිර්වාදය ද නොඅඩුව ලැබෙනු නියතය. අද අපි කතරගම පුදබිමේදී පෙර නොදුටු පෙරහැර මංගල්‍යයක අසිරිය සිත් පුරා විඳගන්නේ කතරගම දේවාලයේ වැඩ බලන බස්නායක නිළමේ දිල්රුවන් රාජපක්‍ෂ මහතාගේ කැපවීමේ ප‍්‍රතිඵලයෙනි. එමෙන්ම මෙරට පවත්වනු ලබන පෙරහැර මංගල්‍යයන් අතරින් වසර 2246 ක්

පැරුණි කතරගම පෙරහැරේ කාලයක් ගත වී හෝ දුටුගැමුණු රජතුමාගේ පිළිරුවක් වැඩමවීමට කටයුතු කිරීම ජාතියක් වශයෙන් අප ආඩම්බර විය යුතුය. ඒ උපහාර පූජාව සිදු කිරීමට මූලිකත්වය ගත් කපුගම සරණතිස්ස හිමියන්ට සියලූම බැතිමතුන්ගේ ගෞරවාදරය හිමිවිය යුතුය. එමෙන්ම වසර දෙකක සිට කතරගම පෙරහැර පෙරමුණේ ගමන් කරන දුටුගැමුණු පිළිරුව ඉවත් කිරීමට වලි කන අසිංහලයන් ඉදිරියේ අප එඩිතරව නැඟී සිටිය යුතුය. එසේ නොවුණහොත් කතරගම පෙරහැරේ ගමන් කරන දුටුගැමුණු පිළිරුවේ ආයුෂ අඩුවියහැකි බවද අපි සිහිපත් කර සිටිමු.

තරංග රත්නවීර
කේ. ඞී. දේවප‍්‍රිය

-Divaina_


gossip lanka