"එයා නිසා හැමදේම වෙනස් වුණා, ඒ දේ වචනයෙන් විස්තර කරන්න බැරි හැඟීමක්.." - ඉෂාරා සඳමිණි - Photos

ඉෂාරා සඳමිණි කියන්නේ රංගන ක්ෂේත්‍රයේ ඉන්න ජනප්‍රිය නිලියක්. ඇය දැන් පුංචි දියණියකගේ ආදරණීය මවක්. කාලයක් තිස්සේ ඇය හීනයක් දැක්කා ආයුර්වේද වෛද්‍යවරියක් වෙන්න. ඒ හීනය සැබෑ කරගන්න ඇයට පුළුවන් වුණා. විවාහයෙන් පසුව වැඩිය දකින්න නොලැබුණු ඇය ගැනයි මේ.

කාලයක් තිස්සෙ දැකපු හීනයක් සැබෑවෙලා තියෙනවා. මොකද හිතෙන්නේ?

ඇත්තටම සතුටුයි. අපි මොන්ටිසෝරි යන කා‍ලේ ඉඳන්ම දකින හීනයක් තමයි හොඳට ඉගෙන ගෙන හොඳ තැනක ඉන්න එක. මටත් වඩා මගේ අම්මට තාත්තට ආසාව වුණේ මම හොඳට ඉගෙන ගෙන ඉදිරියට යන්න ඕන කියන දේ. ඒ අයගේ බලා‍පොරොත්තුව ඉෂ්ට වෙලා තියෙනවා. ඒ හීන සැබෑ කරගත්ත එක ගැන අද තියෙන්නේ වචනයෙන් විස්තර කරන්න බැරි සතුටක්.

ඉගෙන ගත්ත දෙයින් ඉස්සරහට යන්න බලා‍පොරොත්තු වෙනවද?
ඔව්. මේ අවුරුද්ද අවසානයට පෙර අපට පත්වීම් ලැබෙයි. මුල් කාලයේ ටිකක් අමාරු වෙයි. කොහොම හරි හැමදේම කළමනාකරණය කරගෙන මේ දේවල් කරන්න බලා‍පොරොත්තු වෙනවා.

ඒ පැත්තෙන් ඉස්සරහට යද්දි රංගනයෙන් ඈත් වෙනවද?
මම ආයුර්වේද වෛද්‍ය ශිෂ්‍යාවක් ලෙස අධ්‍යාපන කටයුතු කරන කාලෙත් රංගන වැඩවලට සහභාගි වුණා. ඒ වගේම නිවේදිකාවක් ලෙසත් වැඩ කළා. ‍පොඩි කා‍ලේ ඉඳන්ම එකම දේකට කොටුවෙලා ඉන්න ආස නැහැ. එහෙම වුණාම ජීවිතය හරිම කම්මැලියි. වෙනසක් තියෙද්දි ජීවිතේ අලුත් වෙනවා. අමාරුයි රංගනයට කාලය යොදාගන්න. ඒත් කොහොම හරි කාලය යොදාගන්නවා.

මේ දවස්වල බබා එක්කද කාලය ගතවෙන්නේ?
ඔව්. බබා එක්කම ඉන්න නිසා වෙලාවකට පැය විසිහතරකුත් මට මදියි. තවම බබාට මාස තුනයි. ඉපදුණු දවසේ ඉඳන් මේ වෙනකම් ඒ රාජකාරියේ වෙනසක් වෙලා නැහැ. බබාගේ කාලසටහන අනුව තමයි අපි අවදි වෙන්නේ, නිදාගන්නේ.

බබා නිසා ඉෂාරාගේ සැහැල්ලු ජීවිතේ සම්පූර්ණයෙන්ම වෙනස් වුණා නේද?
ඔව්, මම මගේ වැඩත් එක්ක ඉස්සර ගෙදර හිටපු කෙනෙක් ‍නෙවෙයි. දැන් බබා නිසා නිතරම ගෙදර ඉන්නේ. එයා නිසා හැමදේම වෙනස් වුණා. අපි බබෙක් හදනවා නම් එයාට අවශ්‍ය හැමදේම ලබාදෙන්න ඕන. ඒ දේ වගකීමක් වුනත් ඒ ජීවිතය හරිම සුන්දර වෙලා තියෙනවා අපේ දෝණි නිසා. මොකද එයත් එක්ක හැම දවසක්ම නැවුම් වෙලා. අම්ම කෙනෙක් වෙනවා කියන දේ වචනයෙන් විස්තර කරන්න බැරි හැඟීමක්. මම අද ඒ දේ අත්විඳිනවා. ඒ වෙනසට මම ගොඩක් කැමැතියි.

බබාගේ වැඩ ඉෂාරා තනියමද කරන්නේ?
මගේ අම්මගෙනුයි, හස්බන්ඩ්ගේ අම්මගෙනුයි මට ලොකු සහයෝගයක් ලැබෙනවා. අපි දෙන්නත් බබාගේ වැඩ කරනවා.

 සැමියගෙන් ලැබෙන්නේ මොන වගේ සහයෝගයක්ද?
ඔහුගෙන් සියයට දෙසීයක්ම සහයෝගය ලැබෙනවා. අනුර හරි ආසාවෙන් හිටියේ දුවෙක්ට. මොකද තාත්තලා වැඩියෙන්ම ආදරේ දුවලට නිසා. මටත් වඩා හොඳට දුවයි අප්පච්චියි යාළුයි. වැඩවලට යන්න ඕන වුණාමත් ඔහු තමයි මාව නිතරම දිරිගන්වන්නේ. උපාධි ප්‍රදානෝත්සවයට මම සහභාගි වෙන්න ‍නෙවෙයි හිටියේ. මහත්තයාගේ බල කිරීම නිසා තමයි මම එයට සහභාගි වුණේ.

නිර්මාණවලට ආරාධනා ලැබෙනවාද?
ඔව්. රංගනයට වගේම නිවේදනයටත් ආරාධනා ලැබෙනවා. තවම බබාට මාස තුනයි. ඒ නිසා දැන්ම වැඩ භාරගන්නේ නැහැ. තව කාලයක් බබා එක්කම ඉන්න ඕන කියලා හිතුණා. අපේ දෝණි ලෝකය දකින්නෙ අපේ ඇස්වලින්. ඒ නිසා එයාට තමයි මේ දවස්වල වැඩිපුර අවධානය දීලා තියෙන්නේ.

ආපස්සට හැරිල බලද්දි මොකද හිතෙන්නේ?
මට මේ ළඟදිත් ඔය දේම හිතුණා. උපාධි ප්‍රදානෝත්සවයේ ඡායාරූප මම ෆේස්බුක් එකේ දැම්මට පස්සේ සමාජ ජාලා වබේ අඩවිවලත් දාලා තිබුණා. ඒ සඳහා මිනිස්සු දාලා තියෙන ප්‍රතිචාර, සුබ පැතුම් දකිද්දි මට සතුටුයි. අධ්‍යාපනය, රැකියාව, පවුල් ජීවිතය යන ජීවිතේ හැම පැත්තෙන්ම මම සාර්ථක කරගෙන තියෙනවා නේද කියලා හිතුණා. ඒ නිසා මට නිහතමානී ආඩම්බරයක් තියෙනවා. මේ හැමදේම ලබාගත්තේ පහසුවෙන් ‍නෙවෙයි. ගොඩක් දුක් විඳලා, කටු කාලා තමයි මේ තැනට එන්නේ. අද ආපස්සට හැරෙද්දි සතුටක් තියෙන්නේ. මට වෙලාවකට බයත් හිතෙනවා මේ ලැබුණු දේවල් නැතිවෙයිද කියලා.

ඉෂාරාට ඉටුකර ගන්න හීන තියෙනවාද?
පාසල් යන කා‍ලේ ගොඩක් හීන තිබුණා. හොඳ සැමියෙක්, දරුවෙක්, හොඳට ඉගෙන ගෙන රැකියාවක් කරන්න ඕන කියන දේ. දැන් ඒ හැම හීනයක්ම මම සැබෑ කරගෙන තියෙනවා. මෙතැනින් එහාට තියෙන්නේ  ඒ දේවල් තව තවත් සාර්ථක කරගැනීම තමයි.

තිළිණි කරුණාරත්න


gossip lanka