"ලෝකයේ අරයා මෙයා කියන කතා මට ප්‍රශ්නයක් නෑ. ඒත් සනත් විවාහ වුණා නම් හොඳයි කියලා මම හිතනවා..." - ගීතා කුමාරසිංහ

සිංහල සිනමාවේ ස්වර්ණමය යුගය තුළ ඇයගේ රූපය සිනමා කෘති බෝහෝමයකට අවශ්‍ය වුනා. එදත් අදත් එකසේ ජනප්‍රිය ඇය ගීතා කුමාරසිංහ. දේශපාලනය නිසා නිර්මාණවලින් දකින්න නොලැබෙන ඇය වඩාත් සමීප සිනමා නළු සනත් ගුණතිලකට කියලයි ඇය කියන්නේ. මේ ඒ කතාබහ ගැනයි.

මේ දවස්වල මොනවද කරන්නේ...
සියයට සියයක් ම ඉන්නේ දේශපාලන කටයුතුවල. වෙන දෙයක් කරන්න වෙලාවක් නෑ. සමාජයේ පුද්ගලයන් සමඟ කටයුතු කරද්දි කාලය ගෙවිලා යනවා තේරෙන්නේ නෑ.

සනත්ව මුලින් ඔබට හමුවන්නේ කොහොමද?
මට මතක හැටියට සනතුයි මායි එක අවුරුද්දෙ ඉපදුණේ. පේරාදෙණියේ රූගත කෙරුණු මම රඟපෑ චිත්‍රපටයක රූගත කිරීම් ඔහු දැක්කා කීවා. පසුව අපි සහාය නිෂ්පාදනය කළා. චලිත රංගාලි චිත්‍රපටයේ අපි සමීපව වැඩ කළා. එහි රඟපෑම්වලට අනුරාධපුරේ පොලොන්නරුවේ ගිය ගමන හරිම සුන්දරයි.

සනත්ව හුඟාක් සමීප වුණේ...
අවුරුදු ගාණක් චිත්‍රපට නොකර හිටියා. මට ඕනෑ වුණා දරුවෙක් හදාගන්න. ඉතිං නිෂ්පාදකයෝ අමාරුවෙ දාන්න බෑනේ. ඒ ඉන්න කාලේ කුලසේන ෆොන්සේකාගේ ‘පාලම යට’ කියවන්න ලැබුණා. චිත්‍රපටයක් කරන්න ආසයි. සනත්ට තමයි මුලින් ම කීවේ. එච්.ඩී. ප්‍රේමරත්න නිසා එය හුඟාක් සාර්ථක වුණා.

සනත් ගැන පමණමයි කතා කරන්න කැමතියි කීවේ. ඔහුගේ යහපත් ගතිගුණ...
සනත් හිතවත්, හොඳ යාළුවෙක්. හොඳ මිත්‍රයෙක්. යාළුකම හොඳින් පවත්වාගෙන යනවා. අතළොස්සක් යාළුවෝ අතරින් සනත් තමයි ඒ මිතුරුදම හොඳටම ගෙනයන්නේ. අවුරුදු 5 - 6 කින් හමුවුණේ නැතත් මිතුරුකම එහෙමමයි. සනත් චිත්‍රපටයක් කරද්දි ඒ වෙනුවෙන් කැපවීමක් කරනවා. එයට ගෞරව කරමින් සාධාරණත්වයක් ඉටුකරනවා.

සනත්ගේ ඔයා දකින අඩුපාඩු එහෙම...
ලෝකයේ අරයා මෙයා කියන කතා මට ප්‍රශ්නයක් නෑ. ඒත් සනත් විවාහ වුණා නම් හොඳයි කියලා මම හිතනවා.

සනත්ගේ වෙනත් හැකියාවන් එහෙම...
සනත්ට හොඳට ලියන්න පුළුවන්. ‘සිසිල ගිනි ගනී’ කතාව තෝරාගෙන ඉන්පසු කළ චිත්‍රපට එයා ම ලියූ ඒවා.

සනත්ගේ හොඳ ම රංගනය..
විරාගය අතිශයින් දුර්ලභ හොඳ රංගන වින්‍යාසයක්.

රංගනයේදි සනත් අසාර්ථක වූ අවස්ථා තියෙනවද?
හැම කෙනෙකුටම සාර්ථක, අසාර්ථක තැන් තියෙනවා. හොඳ අධ්‍යක්ෂවරයෙක් යටතේ හොඳ චරිතයක් ලැබුණහොත් සියයට සියයක් සාර්ථක වෙන්න පුළුවන්. හොඳ රංගනයක් ප්‍රේක්ෂකයන්ට දැකගන්න චිත්‍රපටයක අනිකුත් සෑම ශිල්පියෙක් ම හොඳ කැපවීමක් කළ යුතුයි.

හඳහන ගැන එහෙම කොහොමද විශ්වාසය?
මම හඳහන විශ්වාස කරන්නෙත් නෑ. නොකරන්නෙත් නෑ. මට ඕනෑ දේ මම කරනවා. සමහර අය කියන දේවල් ඒ කනින් අහලා මේ කනින් පිට කරනවා. ඒකටම එල්ලී ගැලී සිටින්නෙ නැහැ. උත්සාහයෙන්, උනන්දුවෙන් කිසියම් ඉලක්කයක් කරා යා හැකියි. මම ජ්‍යොතිෂය හදාරලා තියෙනවා. මට කේන්දර හදන්න පුළුවන්. පොත්පත් කියවලා ශාස්ත්‍රය ප්‍රගුණ කළා. සමහරු ඒරාෂ්ටකයක් කියලා කිසි දෙයක් හරියන්නෙ නෑ කියලා නිකං ඉන්නවා. ඒත් උත්සාහය උනන්දුව තියෙනවා නම් ඒරාෂ්ටකය වුණත් පරදවන්න පුළුවන්. මම කටක ලග්නයේ. සනත් සිංහ ලග්නයේ වෙන්න ඕනෑ. මට මතක හැටියට ‘රන්දිය දහර’ කරද්දි අපි කේන්දරය ගැන කතා කළා.

බුදු දහම ගැන ඔබ හිතන්නේ...
මම හුඟාක් ආසයි. ශ්‍රී මහා බෝධිය ළඟ, රුවන්වැලි සෑය ළඟ, කිරිවෙහෙර ළඟ අසිරිමත් ආශ්චර්යය විඳින්න. මම වෙන කිසි ම ආගමකට ගරහන්නේ නැහැ. නමුත් බුදුදහමේ පුදුමාකාර සත්‍යයක් මා දකිනවා. අපි පාලම යට කරද්දි ලොකු ගංවතුරක් ආවා. අපි හිතුවේ, චිත්‍රපටය කරන්න බැරි වෙයි කියලා. අපි එහෙ මිනිසුන්ට හුඟාක් උදව් කළා. කඳුබොඩ විපස්සනා භාවනා මධ්‍යස්ථානයේ සුධර්මා සිල්මාතාව යටතේ ආනාපාන සතිය පුහුණු කළා.

සනත්ගේ රංගන ශෛලිය....
සනත්ට ආවේණික රංගන ශෛලියක් තියෙන්නේ. හැම වෙලාවෙම උත්සාහ කරන්නේ තාත්වික රංගනයක් කරන්න. මුලින් අපි අධ්‍යක්ෂ කියන දේම කළා. ඒක අසාර්ථකයි. ඒ නිසා අපි සමහර දේවල් කතාබස් කරගෙන ඒ ඒ චරිතවලට ගැළපෙන පරිදි කරනවා. ඒ රඟපෑ චරිතවලට මිනිස්සු ආදරෙයි.

ඔබත් සනතුත් දේශපාලනය කළා...
මම තෝරා ගත්තේ දකුණේ දේශපාලනය. ඒක හරියට දැළි පිහියෙන් කිරි කනවා වගේ වැඩක්. දේශපාලනය නිසා මට ස්විට්සර්ලන්තයේ පුරවැසිභාවය ඉවත්කරගන්න සිදුවුණා. ඒ නිසා මට මාසයකට එහෙන් ලැබෙන රුපියල් ලක්ෂ 9 බැගින් වන මුදල් අහිමි වෙනවා. ඒ මුදල් තිබුණා නම් මට හුඟාක් අයට සේවය කරන්න තිබුණා. සනත්ට පවුලේ කිසිම ගැටලුවක් නැති නිසා දේශපාලනයට බාධකයක් නෑ. ඒත් එයා දේශපාලනෙන් ඉවත්වෙලා. සමහරවිට කලකිරීමෙන් වෙන්න ඇති. ‘අප්පමාදෝ අමතපදං’ ප්‍රමාදවීම පසුතැවීමට හේතුවයි. ජීවත්වෙන ටික කාලෙදි පින් රැස් කළ යුතුයි. අපි හැමටම පොදු දේ මරණයයි. මිනිසුන්ට හැකි පමණින් උදව් කිරීම තුළින් මා සැනසුමක් ලබනවා. මම කාටවත් කරදර දෙන්නෙ නෑ. කාගෙන්වත් කරදර බලාපොරොත්තු වෙන්නෙත් නෑ. මම දෙවියන්ගෙන් ඉල්ලන්නේ හොඳින් ජීවත් වෙන්න ඉඩහසර පමණයි.