නිර්මාණ නැතුව ගෙදර හිටියත් මල් කතාවල රඟපාන්නෙ නෑ

ධවල මන්දිරයේ - එතෙල්, ගිරිකුළ ටෙලිනාට්‍යයේ මෙරායා, සුදු හාමිනේ ටෙලි නාට්‍යයේ සුදු හාමිනේ, නන්දනී ටෙලි නාට්‍යයේ නන්දනී සහ ටෙලි නාට්‍ය නිර්මාණයන්හිදී එම චරිතයන් තුළින් පේ‍්‍රක්‍ෂක හදවත් දිනාගත් ඇය ගයනා සුදර්ශනී ඉලේපෙරුම අද කතාබහ තුළින් එකතු කරගන්න හිතුනා. මේ දිනවල මිණිගංදෑල ටෙලි නාට්‍යයේ රංගනයෙන් දායක වන ඇය කලා ජීවිතේ සහ පෞද්ගලික ජීවිතේ තොරතුරුත් සමඟින් අප සමඟ කතාබහට එකතු වුණේ මෙලෙසින්.

ඉතින් කොහොමද ජීවිතේ?

ඉස්සර තරම් ගොඩක් කාර්යබහුල වෙලා වැඩ
කරන්නේ නැහැ. කැප වෙලා කරන්න තරම් චරිත අද ලැබෙන්නේ නැහැ. ජීවිතේ බොහොම නිදහසේ ගතවෙලා යනවා.

ගයනා කරලියට එන්නේ කාලෙකට පස්සෙද?

නැහැ. මම වැඩ කිහිපයක්ම කළා. ඒ අතුරින් මිණිගංදෑළ ටෙලිනාට්‍යය මේ දිනවල විකාශය වෙනවා. ඒ වගේ චරිතයක් ටෙලි නාට්‍යයක් මම කාලයක් තිස්සේ බලාපොරොත්තුවෙන් හිටියා. හොඳ ප‍්‍රතිචාර ලැබෙන මේක ගොඩක් මහන්සිවෙලා කරපු නිර්මාණයක්. අද විකාශනය වෙන එකම රැුල්ලේ ටෙලි නාට්‍ය අතර මිණිගංදෑළ කියන්නේ විශිෂ්ඨ ගණයේ නිර්මාණයක් කියලා මම හිතනවා.

ඒත් පහුගිය කාල සීමාව තුළ ඔබව දකින්න ලැබුණේ නම් හරිම අඩුවෙන්?

ඇත්තටම. මම නිර්මාණවලට දායක වෙන්නේ හොඳට තෝරා බේරාගෙන. එන හැම නාට්‍යයක්ම තෝර ගන්න අමාරුයි. සමහර නාට්‍යවල අවසානයක් නැහැ. ඒ චරිතවල අපට කරන්න දේකුත් නැහැ. ඒ වගේම හොඳ අධ්‍යක්‍ෂවරුන් අද හරිම අඩුයි. මම වෘත්තියෙන් නිළියක් වුණත් නිර්මාණ නැතුව ගෙදර හිටියත් මල් කතාවල නම් රඟපාන්නේ නැහැ. ඒ වගේම ධවල මන්දිර, ගිරිකුළ වගේ නිර්මාණ අද බිහිවෙන්නේ නැහැ. මුදල්වලට නම් මම චරිත පස්සේ යන්නෙත් නැහැ. දැනෙන චරිතයක් විතරක් ලැබුණොත් මම කරනවා. දැන් මගේ කලා ජීවිතේට අවුරුදු විසි හයක් වෙනවා. ධවල මන්දිරේ මගේ පළමු නාට්‍ය. එතෙල් ගේ චරිතයට මිනිස්සු අදටත් ආදරේ කරනවා.

රටේ බොහෝ අය ගයනාව හඳුනන්නේ නිළියක් විදිහට විතරයි. ඒත් ඔබ අද වෙනකොට ටෙලිනාට්‍ය නිෂ්පාදිකාවක් හැටියටත් කටයුතු කරනවා?

ඔව්. මගේ පළමු නාට්‍ය නිෂ්පාදනය ‘‘ආයෙමත් ඇවිදින්’’ කියන ටෙලි නාට්‍යය. මගේ සැමියා සහන් ‘‘සාගා ෆිල්ම්ස්’’ කියලා ටෙලි නාට්‍ය නිෂ්පාදන ආයතනයක් පවත්වාගෙන යනවා. ඔහුත් සමඟ එකතු වෙලා තමයි මම මේ ටෙලි නාට්‍යය කළේ. තව දුර්ගතරණය කියලත් ටෙලි නාට්‍යයක් නිෂ්පාදනය කළා. මේ ටෙලි නාට්‍යය දෙකේම මම රංගනයෙන් දායක වෙනවා. එහි නිර්මලා කියන ප‍්‍රධාන චරිතෙට පණ පොවන්නේ මම.

සහන් කරන හැම ටෙලියකම චරිතයක් ගයනටත් ලැබෙන්නේ, සහන්ගේ බිරිඳ නිසාද?

අපෝ නැහැ. පිටපත ලැබුණම ඒකට අදාල චරිත තෝ්රන්න සහන්ට හොඳ දැනුමක් තියෙනවා. මුලින්ම එයා බලන්නේ මේ නිර්මාණෙට කවුද ගැලපෙන්නේ කියලා. මට හරියන චරිතයක් තියෙනවා නම් විතරක් මට කතා කරන්නේ. නැත්නම් එයා කියනවා ඔයාට කරන්න මේකේ චරිත නැහැ කියලා. එයා මම වෙනුවෙන්ම කරපු නිර්මාණයක් තමයි දුර්ගතරණය කියන්නේ. සහන් මගේ සැමියත් මේ ටෙලිනාට්‍යයේ සී.අයි.ඞී. ඔෆිසර් කෙනෙක් විදිහට රඟපානවා. ඔහු මම ගැනත් හිතලා නිර්මාණ තෝර ගන්න අවස්ථා තියෙනවා. දැන් ඉතින් කරපු නාට්‍ය නිෂ්පාදන දෙක ටෙලිකාස්ට් වෙනකම් ඇඟිලි ගැන ගැන ඉන්නවා.

ඉදිරියට අලූත් නිර්මාණවලට ආරාධනා ලැබිලා තියෙනවද?

ඔව්. නිර්මාණ කිහිපයකට ආරාධනා නම් ලැබිලා තියෙනවා. කරපු නිර්මාණ හතරක් විතර ඉදිරියේදී විකාශනය වෙන්න තියෙනවා. ඊට අමතරව මහචාර්ය සුනිල් ආරියරත්න සර්ගේ අලූත් චිත‍්‍රපටය විජයබා කොල්ලය චිත‍්‍රපයට දායක වෙලා ඉන්නවා. ඒ විදිහට වැඩ කටයුතු කරගෙන යනවා.

ඔබ කිව්වා කලා ජීවිතේට දැන් වසර විසිපහක් විතර වෙනවා කියලා. ඒක ලොකු කාලයක්. මෙතෙක් කරපු චරිත ඔස්සේ ගොඩනගා ගත්ත දේවල්වලට අද නියම වටිනාකමක් ලැබෙනවද?

පේ‍්‍රක්‍ෂකයන්ට මම හැමදාමත් ආදරෙයි. ඒ ආදරය හැමදාවත් මම ආරක්‍ෂා කරනවා. මොකද මගේ රංගනයට වටිනාකමක් දුන්නේ පේ‍්‍රක්‍ෂකයෝ නිසා.

කරපු චරිත හරහා මට ලොකු වටිනාකමක් ලැබුණා. ඒ වටිනාකමට මම ගොඩක් ආදරෙයි. මම කලාවට ආවේ අහම්බෙන්. මගේ හීනේ තිබුණේ නර්ථන ගුරුවරියක් වෙන්න. ඒ අතරතුරදී තමයි මට රඟපාන්න අවස්ථාව ලැබෙන්නේ. නර්ථන ගුරුවරියක් වීමේ හීනය පැත්තක දාලා මට ලැබුණ රංගනය භාර ගත්තා. නිළියක් වුණු එක ගැන නිහතමානීව අද මට සතුටු වෙන්න පුළුවන්.