අනියම් සැමියා සමඟ ගිය තරුණ මව සිඟිති දියණියගේ කරාබුදෙකත් පන්නගෙන ගිහින් - දියණිය සනසන්න පොලිස් නිළධාරිනියකගෙන් උතුම් ක්‍රියාවක්...!

අපේ රටේ නීතිය හා සාමය ආරක්ෂා කරන්න ඉන්න පොලිස් නිළධාරීන් බොහෝ විට සමාජයේ විවේචනයට බඳුන් වනවා පුවත් වාර්තා වනවා. කොහොම වුනත් ඔවුන් සමාජය වෙනුවෙන් අපරිමිත සේවයක් කරන බව අප අමතක නොකළ යුතුයි. පසුගිය කාලසීමාව තුල පොලිසියේ නිළධාරීන් විසින් තම රාජකාරියට එහා ගොස් කළ උතුම් ක්‍රියාවන්
රැසක් අප වාර්තා කළා. තවත් එවැනිම වූ පුවතක් පසුගියදා බදුරලිය පොලිසියෙන් වාර්තා වුනා.

මෙලෙස වාර්තා වන්නේ මවක් තම කුඩා දියණියගේ කරාබු දෙක සහ පංචායුධය ගලවාගෙන අනියම් සැමියා සමඟ පැන ගිය පසු එම දියණියගේ දුක තුනී කිරීම සඳහා සිය පෞද්ගලික මුදලින් කරාබු දෙකක් සහ සෙල්ලම් බඩු ලබා දීමට කටයුතු කළ බදුරලිය පොලීසියේ කාන්තා පොලිස් කොස්තාපල්වරියක් පිළිබඳවයි.

පසුගියදා බදුරලිය පොලිස් වසමේ කිරිගල අද්දරගොඩ ප්‍රදේශයේ තරුණ මවක් අනියම් සැමියකු සමඟ පැන ගොස් ඇති අතර ඉන්පසු සිඟිති දියණියට මවගේ අඩුව නොදැනෙන ලෙස කටයුතු කිරීමට ඇයගේ ආච්චිඅම්මා සහ පියා නිරන්තරයෙන් කටයුතු කර තිබෙනවා. එවන් පසුබිමකදී දියණියගේ මව ආච්චි අම්මාට සහ දියණියට යම් ස්ථානයකට පැමිණෙන ලෙස දන්වා තිබෙනවා. පසුව දියණියගේ මව කළ ඉල්ලීම පරිදි ඇය පැවසූ ස්ථානයට මව විසින් දියණිය හඬා වැටෙද්දී පංචායුධය සහ කරාබු දෙක පන්නාගෙන එම ස්ථානයෙන් වහා පිටවගොස් තිබෙනවා.

පසුව අදාළ සිදුවීම සම්බන්ධයෙන් පැමිණිල්ලක් සිදු කිරීම සඳහා එම සිඟිති දියණිය සමඟ  පවුලේ වැඩිහිටියන් බදුරලිය පොලිසියට ගොස් තිබෙනවා. එහිදී සියළු කරුණු පිළිබඳව විමසා බැලූ බදුරලිය පොලිසියේ කාන්තා පොලිස් කොස්තාපල්වරියක වන යමුනා මහත්මිය විසින් එම දියණියගේ මානසිකත්වය නගාසිටුවීම සඳහා මෙලෙස සිය පෞද්ගලික මුදලින් කරාබු දෙකක් සහ සෙල්ලම් බඩු ලබා දීමට කටයුතු කර තිබුනා.