බුලත්සිංහල කෝටි දෙකේ බැංකු මංකොල්ලයේ සුපිරි සැලසුම හෙළිවේ !

පසුගිය දිනවල රටේ මහත් කතාබහට ලක්වූ සිදුවීමක් වූයේ බුලත්සිංහල ප්‍රදේශයේදී සිදුවූ දෙකෝටියේ මහා බැංකු මංකොල්ලයයි. පෞද්ගලික බැංකුවක මුදල් ප්‍රවාහනය කරමින් තිබූ වෑන් රථයක් සිය ග්‍රහනයට ගනිමින් මංකොල්ලකරුවන් එම හොරකම සිදු කළ බව කියවුනා. කෙසේ වෙතත් මේ මංකොල්ලය පිළිබදව පොලිස් විමර්ෂන වලින් හෙළිවන්නේ වෙනත් කතාවක්. මේ මංකොල්ලය සිදුවූ අයුරු පිළිබදව සතිඅන්ත පුවත්පතක ලිපියක් පළව තිබුනා.

එම ලිපිය පහතින්,

පසුගිය විසිඅටවැනිදා පස්වරු පහයි තිහට පමණ හොරණ - බුලත්සිංහල මාර්ගයේ පෞද්ගලික බැංකුවල ඒටීඑම් යන්ත‍්‍රවල තැන්පත් කිරීම සඳහා මුදල් ද රුගෙන වෑන් රථයක් ගමන් කරමින් තිබිණි. එහි තිබූ මුදල රුපියල් දෙකෝටි විසිලක්‍ෂයකට අධිකය. එම මුදල් රුගත් වෑන් රියේ පුද්ගලයන් තිදෙනකු ද ගමන් කළහ. මොවුන් කොළඹ - නාරාහේන්පිට ප‍්‍රදේශයේ පෞද්ගලික සමාගමක සේවය කරන නිලධාරීන් පිරිසකි.

‘‘ඉස්සරහ කඬේ ළඟින් නවත්තමු නේද අපි මොනව හරි කාලා යමු’’

වාහනයේ ගමන් කළ පිරිස රියැදුරාට එසේ පැවසූ නිසා බුලත්සිංහල මාර්ගයේම ගෝවින්න පහළ නාරගල ප‍්‍රදේශයේ ආපන ශාලාවක් ඉදිරිපිට ඔහු වාහනය නැවැත්තුවේය. වෑන් රියේ ගමන් ගත් පුද්ගලයන් තිදෙනා ආපන ශාලාවට ගොඩවැදුනේ වෙහෙස මහන්සිය නිවා ගැනීමට යහමින් කුමක් හෝ සප්පායම් වීමටය.

'‘අක්කේ තේ තුනක් දාන්න කන්න මොනව හරිත් ගේන්න’’ වෑන් රියේ ගමන් ගත් රියැදුරා ආපන ශාලාවේ හිමිකාරියට පැවසීය.

පිරිස ආහාර ගැනීම අවසන් කරනවාත් සමගම ආපන ශාලාව ඉදිරිපිටට විදුලි වේගයෙන් සුඛෝපභෝගී ජීප් රථයක් පැමිණියේය. එකවරම එම රථයෙන් එළියට බැස්සේ හැඩිදැඩි පුද්ගලයන් සයදෙනෙකි. ඔවුහු ආපන ශාලාවට කඩාවැදුනේ එහි සිටි පුද්ගලන්ට සිදුවන්නට යන්නේ කුමක් දැයි සිතා ගැනීමටවත් මොහොතක් හෝ ලබා නොදෙමිනි.

‘‘කෝ අර වෑන් එකේ ආපු එවුන් ටික හොඳ හිතින් එළියට බැහැපල්ලා නැත්නම් මැරුම් කන්න ලෑස්ති වෙයල්ලා’’

එසේ පවසමින් කැබ් රියේ පැමිණි දාමරිකයන් පිරිස ආපන ශාලාව දෙවනත් වන්නට කෑ ගැසූහ. ඔවුන්ගේ ගෝරනාඩුවට බිය වූ වෑන් රියේ පැමිණි පිරිස හුස්මක් ගැනීමට පවා බිය වූයේ කුමන මොහොතේ ජීවිතය අහිමි වේ දැයි යනුවෙන් සිතමිනි. කලහකාරී ලෙස හැසිරුණු සොර කල්ලිය එකවරම ආපන ශාලාවේ සිටි පුද්ගලයන් තිදෙනාට මිරිස් කුඩු ප‍්‍රහාරයක් එල්ල කළහ. සිදුවන්නේ කුමක් දැයි යන්නවත් හරි හැටි වටහා ගන්නට නොහැකිව එම පිරිස බිරාන්ත වී බලා සිටියේ මරණ බියෙනි.

 ‘‘බුදු අම්මෝ’’ කියමින් මිරිස් කුඩු ප‍්‍රහාරයට ලක්වූ පුද්ගලයන් තිදෙනා බිමට ඇදගෙන වැටුණේ ඉවසාගත නොහැකි තරමේ දැඩි වේදනාවකින්ය. දිගින් දිගටම එල්ල වූ මිරිස් කුඩු ප‍්‍රහාර නිසා කෙලින් සිටගෙන සිටීමට තරම් හෝ ශක්තියක් ඒ අවස්ථාවේ ඔවුනට තිබුණේ නැත. එම මොහොතේ වෑන් රථයේ රියැදුරු සිටියේ ආපන ශාලාව අසල තිබූ ජල කරාමයකින් අත සෝදමිනි. ආපන ශාලාව ඇතුළේ සිදු වූ කිසිදු කලබගෑනියක් ඒ වන විටත් ඔහු දැනගෙන සිටියේ නැත. ඔහුගේ අවාසනාව ලක් වූයේ ද ඒ අතරතුරමය. ක්‍ෂණයෙන් රියැදුරු සිටින ස්ථානයට කඩාවැදුණු මැර පිරිස ඔහුගේ මුහුණටත් මිරිස් කුඩු ප‍්‍රහාරයක් එල්ල කළහ. එකවරම ඔහු අතේ තිබූ වීදුරුව චරස් යනුවෙන් හඬ නංවමින් මහ හඬින් බිඳී ගියේය. ඔහුගේ මුහුණට එල්ල වූ මිරිස් කුඩු ප‍්‍රහාරය නිසා කෙලින් සිටගැනීමටවත් ඔහුට හැකියාවක් තිබුණේ නැත.

'‘මොකක්ද ඒ සද්දෙ බිඳුන ද මොකක් හරි’’

එසේ පවසමින් ආපන ශාලාවේ මුළුතැන්ගෙයි සිට පැමිණියේ එහි හිමිකාරිය ය. වීදුරුව බිමට වැටුන ශබ්දයට ඇය ඉක්මනින් දිවගෙන ආවේ සිදු වූයේ කුමක් ද යන්න දැනගැනීමටය. ඇය පැවසූ වාක්‍ය අවසන් කරගැනීමටවත් ඇයට ඉඩක් ලබා නොදුන් මැර පිරිස හිත්පිත් නැති මෘගයන් සේ ඇයගේ මුහුණට ද මිරිස් කුඩු ප‍්‍රහාරයක් එල්ල කළහ. කපා හෙලූ කෙසෙල් ගසක් බිමට ඇදවැටෙන්නාක් මෙන් ඇය එතැනම ඇදගෙන වැටුනේ මිරිස් කුඩු ප‍්‍රහාරය දරාගත නොහැකිවය. දැඩි වේදනාවක් ඇස් වලින් දැනෙන්නට පටන්ගත් නිසා සිදුවන්නේ කුමක් දැයි සිතා ගැනීමට තරම්වත් ඇයට ඒ මොහොතේ සිහියක් නොතිබිණි.

පහර පිට පහර එල්ල කරමින් දාමරිකයන් පිරිස අතොරක් නැතිව මිරිස් කුඩු ප‍්‍රහාර එල්ල කරන්නට වූහ. ආපන ශාලාව එකම යුද්ධ පිටියක් බවට පත් විය. මැර පිරිසේම තවත් සාමාජිකයන් කිහිප දෙනෙක් වෑන් රථයේ පැමිණි මුදල් අයකැමි ලෙස කටයුතු කරන පුද්ගලයාව බලහත්කාරයෙන් වෑන් රථය දෙසට ඇදගෙන ගියේ ඒ අතරතුරය.

 ‘‘ඇරපන් දොර මැරුම් නොකා’

මැර පිරිස තර්ජනය කොට මුදල් අයකැමි ලවා වෑන් රථයේ දොර විවෘත කරවා ගත්හ. ඔවුන්ට අවශ්‍ය වූයේ වෑන් රථයේ පැමිණි ආරක්‍ෂක නිලධාරියාගේ ගිනි අවිය ඔවුන්ගේ පාලනය යටතට ගැනීමටය. ආරක්‍ෂක නිලධාරියා එය වෑන් රථය තුළ තබා තේ බීමට ගොස් තිබිණි.

‘‘මිටිය ගෙනෙන් මේ ඉබි යතුර ලේසියෙන් කඩන්න බෑ. මිටියෙන් ගහන්න වෙනවා.’’

වෑන් රථයේ පිටුපස දොර විවෘත කරගත් ඔවුන් එහි තිබූ මුදල් බහාලූ යකඩ පෙට්ටියට දමා ඇති ඉබි යතුරට මිටියෙන් වැරෙන් පහර දෙන්නට පටන් ගත්තේය.

 සොර කල්ලියෙන් එල්ල වූ මිරිස් කුඩු ප‍්‍රහාර ඉවසා ගනිමින් වෑන් රථයේ රියැදුරා ආපන ශාලාව පිටුපසින් මහ මඟට දිව්වේය.

‘ඉක්මන් කරලා අර යන ජීප් එකේ අංකෙ ලියාගන්න. උන් අපේ වාහනේ තිබුණු සල්ලි සොරකම් කරගෙන පැනලා යනවා. ඒ මොහොතේ මහ මඟ යමින් තිබූ යතුරුපැදියක් නවතා ගත් ඔහු එහි වූ යුවළට පින්සෙන්ඩු විය. ගමන් කළ යුවළ ඉතා ඉක්මනින් එම ජීප් රථයේ අංකය ඔවුනගේ දුරකථනයේ සටහන් කර ගත්හ.

නමුත් ඒ වන විටත් දෙකෝටි විසිහතර ලක්‍ෂයකට අධික මුදලත් රුගෙන මැර කල්ලිය පලා ගොස් තිබිණි. ඔවුන් පැමිණි වාහනය සුඛෝපභෝගී ජීප් රථයකි. එය 64 කාණ්ඩයට අයත් නුගේගොඩ ප‍්‍රදේශයේ පදිංචි පුද්ගලයකුට අයත් එකක් බවට අනාවරණය වී ඇත. ඔවුන් පැමිණි වාහනයේ අංක තහඩුව ව්‍යාජ එකක් බවට පොලිසිය සැක කරයි.

මුදල් බහා තිබූ මලූ 19 න් 12 ක් ම සොරුන් විසින් පැහැරගෙන ගොස් තිබිණි. ඉතිරිව තිබූ මලූවල තිබූ රුපියල් එක්කෝටි පහළොස් ලක්‍ෂ හැටදෙදහස් හයසීයක මුදලක් පසුගිය 28 වැනිදා රාති‍්‍රයේ පොලිසිය විසින් ඔවුන්ගේ භාරයට ගනු ලැබීය.

පොලිස් පරීක්‍ෂණ වලින් හෙළි වී ඇත්තේ වෑන් රථයේ රියැදුරු වසර අටක් තිස්සේ මෙම පෞද්ගලික සමාගමේ සේවය කර ඇති බවයි. නමුත් එම අවස්ථාවේ වෑන් රථයේ ආරක්‍ෂාවට සිටි ආරක්‍ෂක නිලධාරියා සේවයට පැමිණ ඇත්තේ මීට මාස දෙක තුනකට ඉහතදීය. එම ආරක්‍ෂක නිලධාරියා හිටපු නාවික හමුදා සෙබළෙක් බවද පොලිසිය විසින් සොයාගෙන ඇත.

විශේෂිතම කරුණ වන්නේ ආරක්‍ෂක නිලධාරියා මෙන්ම වෑන්රියේ එම අවස්ථාවේ ගමන් කළ මුදල් අයකැමිවරුන් දෙදෙනාම සේවයට පැමිණ ඇත්තේ මීට මාස කිහිපයකට පෙර වීමය. සිද්ධිය දෙස විමර්ශනාත්මක දෑසකින් දුටුවහොත් ඕනෑම පුද්ගලයකුට කුඩා හෝ සැක සංකාවක් මෙම නිලධාරි පිරිස කෙරෙහි ඇතිවීම ස්වභාවිකය. මෙම මුදල් මංකොල්ලය සම්බන්ධයෙන් සැකපිට ප‍්‍රශ්න කිරීම සඳහා වෑන් රථයේ රියැදුරු සහ ආරක්‍ෂක නිලධාරියා අත්අඩංගුවට ගෙන ඇත. මෙම සැකකරුවන් දෙදෙනා අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව පැය 48 ක් රඳවාගෙන ප‍්‍රශ්න කිරීම සඳහා පොලිසියට ලබාදී ඇත.

ලංකාවේ මෑතක් වනතුරුම මංකොල්ල කෑවේ ගිනි අවියේ පිහිටෙනි. එසේත් නොමැතිනම් දෙපැත්ත තියුණු ලෙස මුවහත් කළ පිහියක් දික් කිරීමෙනි. මේ තරම් කාලයකට මේ සා විශාල මුදලක් මිරිස් කුඩු ගසා සොරකම් කළ එම මැර කල්ලිය ඉතිහාසගත වන බවද කිව යුතුය. මේ තරම් තාක්‍ෂණය දියුණු ලෝකයේ මිරිස් කුඩු බෝතලයක් යොදාගෙන කෝටි ගණන් වලින් සොරකම් කිරීම එක්තරා අන්දමක අපූරු වැඩකි. කොතරම් උපක‍්‍රමශීලී වුවද සොරකම සොරකමම වෙයි. ඒ වැරුද්ද නිවැරුදි කිරීමට හෝ සාධාරනීකරණය කිරීමට හදවතට එකඟව අපට නොහැකිය.

සාමාන්‍යයෙන් නීතියට අනුව නම් මෙලෙස විශාල මුදලක් ප‍්‍රවාහනය කිරීමේදී පිළිපැදිය යුතු නීති රීති ඇත. ඒ සඳහා අනුගමනය කළ යුතු ආරක්‍ෂක ක‍්‍රමවේද ඇත. විශාල මුදල් තොගයක් ප‍්‍රවාහනය කිරීම ලේසි පහසු කටයුත්තක් නොවන බව කුඩා දරුවකු පවා දන්නා කාරණයකි. නමුත් විමතියට කරුණ නම් මෙම මුදල් ප‍්‍රවාහනය කළ පෞද්ගලික සමාගම මේ පිළිබඳව කිසිදු සැලකිල්ලක් නොදැක්වීමය. ඔවුන් ඒ සඳහා විධිමත් ක‍්‍රමවේදයක් අනුගමනය කොට නොමැති බව ආරක්‍ෂක නිලධාරියාගේ හැසිරීමෙන්ම තේරුම් යන කාරණාවකි.

ඔහු සතුව තිබූ ආරක්‍ෂක ගිනි අවිය ද වෑන් රථයේ දමා ගිය මෙම පුද්ගලයා එය සොරුන් අතට පත්වන තුරුත් කිසිදු කි‍්‍රයාමාර්ගයක් නොගත්තේ මන්ද යන්න ද ගැටලූවකි. මුදල්වල ආරක්‍ෂාවට පැමිණි නිලධාරියා කිසිදු වගකීමකින් තොරව ගිනි අවිය වෑන් රථයේ දමා ගොස් සතුටු සාමීචියේ යෙදෙමින් තේ පානය කරමින් සිටීම හැමවිටම සැකයට හේතු වන කරුණකි. සිද්ධීන් එකින් එක ගැලපෙන විට පොලිසියේ සැකය රියැදුරා සහ ආරක්‍ෂක නිලධාරියා වෙත එල්ල විය. මුදල් අයකැමිවරුන් දෙදෙනාගේම දුරකථන දෙක ද කොල්ලකරුවන් විසින් පැහැරගෙන ගොස් ඇත. එයද එක්තරා අන්දමේ සැක කටයුතු කි‍්‍රයාවකි. මුදල් කොල්ලකන්නට ආ පිරිසට ඔවුන්ගේ ජංගම දුරකථන අවශ්‍ය වන්නේ කුමන කාරණයකට ද යන්න විශාල ගැටලූවක් මතුවේ.

පොලිසිය විසින් සිදු කළ පරීක්‍ෂණවලදී අනාවරණය කරගෙන ඇති තවත් කාරණයක් ඇත. සිද්ධිය සිදුවූ අවස්ථාවේ පිරිස ආහාර අනුභව කරමින් සිටි ආපන ශාලාවටම මීට පෙර අවස්ථා කිහිපයකදීම ඔවුන් ගොස් ඇති බව එහිදී හෙළිවී ඇත. මංකොල්ලය සිදුකිරීමට සොරුන් පිරිස පැමිණි ජීප් රථය මීට පෙර නුගේගොඩ ප‍්‍රදේශයේ පදිංචි පුද්ගලයකුට අයත්ව තිබූ එකක් බව පොලිසිය විසින් සොයාගෙන ඇති අතර ඔහු කලකට ඉහතදී එම රථය විකුණා දමා ඇති බව එහිදී හෙළි වී ඇත.

කොල්ලකරුවන් පිරිස සහ වෑන් රථයේ පැමිණි පිරිස අපූරු නාට්‍යයක් රඟදැක්වූ බවට දැන් සක්සුදක්සේ පැහැදිලිය. කොල්ලකරුවන් රඟපෑවේ වෑන් රියේ ගමන් ගත් පිරිසට ද රඟපෑමට ආරාධනා කරමින් බව දැන් ඔප්පු වී ඇත. මිරිස් කුඩු ගසා සිදු කළ නාටකය දෙපාර්ශවයේම අනුදැනුම මත සිදුවූ එකක් බවට පෙනී යන බවට පොලිසිය පවසයි. මිරිස් කුඩු ගැසීම මගින් ඔවුන් බලාපොරොත්තු වන්නට ඇත්තේ පොලිසිය විසින් සිදු කරන පරීක්‍ෂණ නොමඟ යැවීමට බව පොලිසිය පවසයි.

කෙසේ නමුත් මේ තරම් කදිම ලෙස රඟපෑ මංකොල්ලකරුවන් පිරිසක් තවත් සිටින්නට නොහැකිය. ඔවුන්ගේ පිටපත්වලටම ඔවුන් රඟපෑවේ පොලිසිය මුලාවේ දැමීමේ අරමුණින් වුවද හැම නැටුමක්ම නටන්නට වෙන්නේ එළිපිට බැවින් ඔවුන්ගේ කැරුට්ටුව දැන් රටට හෙළි වී අවසානය.නාටකය හෙළි වී හමාර වුවත් නළුවන් පිරිස තවමත් සොයා ගැනීමට පොලිිසිය සමත් වී නැත. එම පිරිස අත්අඩංගුවට ගැනීමේ පරීක්‍ෂණ කටයුතු සඳහා කළුතර පානදුර කොට්ඨාස භාර පොලිස් අධිකාරි උපුල් ආරියරත්න, සහකාර පොලිස් අධිකාරි පී. බී. එන්. ජයසිරි යන නිලධාරීන්ගේ අධීක්‍ෂණය යටතේ බුලත්සිංහල පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්‍ෂක කෝසල රංග පෙරේරා, අපරාධ අංශයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්‍ෂක උපුල් චමින්ද සහ කොස්තාපල්වරුන් වන තරංග, රෝහිත, ශී‍්‍රමාල් හා කාන්තා පොලිස් කොස්තාපල් ජයකොඩි යන මහත්ම මහත්මීන් සහභාගි වෙති.

සටහන : අශිකා ජයවීර/දිවයින