තවත් අනියම් ඇසුරක්‌ ගැන සැක සිතී 52 හැවිරිදි කතගේ නිවෙසට ගිනි තැබූ අනියම් සැමියා

යටිනුවර සූරියගොඩ ජනපදයේ පදිංචි කාන්තාවකගේ නිවස ඇයගේ අනියම් සැමියා විසින් ගිනි තබා අළු බවට පත්කොට ඔහු ප්‍රදේශයෙන් පලාගොස්‌ ඇති පුවතක්‌ පේරාදෙණිය පොලිසියෙන් වාර්තා වෙයි.

52 හැවිරිදි මෙම කාන්තාව තිදරු මවක්‌ වන අතර සැමියා ඇය හා දරුවන් අතහැර දමා යැම නිසා ඇය මෙම අනියම් ඇසුර අරඹා ඇත.

ඇයගේ මෙම ක්‍රියා කලාපයට විරුද්ධ වූ දරුවන්ද
ඇය අතහැර දමා ගොස්‌ තිබේ.

අනියම් සැමියා හා ඇය මෙම නිවසේ සිටින අතර මෙම කාන්තාව තවත් අනියම් පෙම්වතකු සොයාගෙන ඇති බවට සැක පහළව අනියම් සැමියා කාන්තාවට පහරදී බහින් බස්‌වී ඇය නිවසින් පන්නා දමා නිවසට ගිනි තබා ඇත. කාන්තාවගේ කෑ ගැසීම නිසා අවට අය පැමිණ බලද්දී ගිනි ගන්නා ගෙයි එක්‌ කාමරයක්‌ තුළ දැඩිසේ බීමතින් සිටි අනියම් සැමියාට පහරදී ඔහු ගෙයින් එළියට ඇද දමා ඇත.

අවට අය මේ බව පේරාදෙණිය පොලිසියට දැන්වීමෙන් පසු පොලිසියට බියවූ ඔහු ප්‍රදේශයෙන් පලාගොස්‌ ඇති බව පවසයි.

දෙනියාය ප්‍රදේශයේ පදිංචි මෙම පුද්ගලයා සොයා ගැනීම සඳහා සියලු පොලිස්‌ ස්‌ථාන දැනුවත් කොට ඇති බව පොලිසිය සඳහන් කරයි. මෙම සිද්ධියෙන් නිවස සම්පූර්ණයෙන් අළුවී ඇත.

මේ සම්බන්ධව පරීක්‍ෂණ කටයුතු පේරාදෙණිය පොලිස්‌ ස්‌ථානාධිපති මහින්ද කල්දේරා මහතාගේ උපදෙස්‌ මත අපරාධ අංශ ස්‌ථානාධිපති උ.පො.ප. කපුකොටුව සිදුකරති.