කුණු කානුවලින් ලක්ෂපතියන් මවන නුවරඑළියේ පණු බිස්නස් !

ඉංග්‍රීසි ජාතිකයින් එදා සේම අදද නුවරඑළිය හඳුන්වනු ලබන්නේ පුංචි එංගලන්තය ලෙසිනි. ඊට හේතුව නම් එංගලන්තයට සමාන වූ සෞම්‍ය සේම ශීත දේශගුණික තත්ත්වයක් නුවරඑළියේ පැවතීමය.

එදා සේම අදත් නුවරඑළියේ තේවලට විදෙස් රටවල
සේම මෙරට අනෙකුත් ප්‍රදේශවලද ඇත්තේ ඉහළ ඉල්ලුමකි.

නුවරඑළියේ තේවලට සමානව නුවරඑළිය නගරයේ කානුවල සෞම්‍ය දේශගුණය යටතේ හැදී වැඩෙන පණුවන්ටද රටේ විවිධ ප්‍රදේශවලින් ඇත්තේ ඉහළ ඉල්ලුමකි.

ඉන් ලක්ෂපතියන් වූ පුද්ගලයින්ද අද නුවරඑළියේ සුර සැප විඳින බව සඳහන් කළොත් ඔබ පුදුම වනවා ඇත.

නුවරඑළිය නගරය ඉතා සුන්දර වූවද, නගරය මැදින් ගලා යන අපජලය සහිත කානු පද්ධති ඉතා අපිරිසිදුය. නිවාස, වෙළෙඳසල්, හෝටල්, රෝහල් ආදියෙන් ගලා බසින අපද්‍රව්‍ය මේ අපජල කානු හරහා ගලා බසින්නේය.

නමුත් එය ඔවුන්ට ධන නිධානයක් වී ඇත. එම කානු පද්ධතිය නුවරඑළිය නගරයේ පදිංචි කිහිප දෙනකුම මේ ධන නිධානයට උරුමකම් කියති. ඒ නිසාම ඔවුන් අද ලක්ෂපතියන් බවට පත්ව සිටිති.

නුවරඑළිය නගරය මැදින් ගලායන සේම නගරය වටා ඇති කානුවල අපජලය අවසානයේ ගලා බසින්නේ ගේ‍රගරි වැවට හෝ හාවාඑළියේ පිහිටි එල්ප් ප්‍ලේන් වැවටය.මේ අපිරිසිදු කානුවල සිටින ලක්ෂ ගණනක් වූ කුඩා රතු පැහැති දිගැති පණුවන් සොයා සෑම දිනකම කානුවල අපද්‍රව්‍ය ගොඩදමන පිරිසක් නුවරඑළියේ සිටින්නේය.

මේ කටයුත්ත සිදුවන්නේ සෑම දිනකම අලුයම් කාලයේදීය. අලුයම හතරට පහට පමණ මේ කටයුත්ත සිදු කෙරේ. ඒ කිසිවෙකුටත් ඇස නොගැටෙන පරිදිය. මේපණුවන්ගෙන් රුපියල් දහස් ගණනක් උපයනු ලැබූවද, පණුවන් ගොඩ දැමීම රහසේ සිදු කරන්නේ එය තවත් අයෙකු දුටුවොත් ලැජ්ජාවට කාරණයක් නිසාවෙනි.

ඉස්සර වැව්වලිනුත් මේ පණුවන් ගත්ත. නමුත් දැන් අපි පණුවෝ එකතු කරන්නේ කානුවලින් විතරයි. ජලය ගලා බසින හැම කානුවකම මේ පණුවෝ නෑ. ආහාර අපද්‍රව්‍ය ඇතුළු දෑ වැඩිපුර තිබෙන කානුවලයි මේ පණුවන් වැඩිපුරම සිටින්නේ. පණුවන් එකතු කරන අයෙක් අප සමග කියා සිටියේ එලෙසය.

අපජලය ගලා බසින කානුවල සිටින මේ කුඩා දිගැති පණුවන් තද රෝස පැහැතිය. නැත්නම් රතු පැහැතිය. කුඩා පැටවුන් අඟලක් පමණ දිගැතිය. වැඩිහිටි පණුවන් අඟල් එකහමාරක්, දෙකක් පමණ දිගැතිය.මේ අතර පණු බිත්තරද වේ. පණුවන් එකතු කරන පුද්ගලයින් මේ පණුවන් හඳුන්වනු ලබන්නේ බ්ලැඩ් වෝම්ස් යන නමිනි.

මේ පණුවන් රටේ විවිධ ප්‍රදේශවලට යවන්නේ විසිතුරු මසුන්ගේ ආහාර සඳහාය. කොළඹ, ගම්පහ ආදී ප්‍රදේශවල විසිතුරු මත්ස්‍යයන් ඇතිකරන පුද්ගලයින්ගෙන් මේ පණුවන් සඳහා ඇත්තේ ඉහළ ඉල්ලුමකි. නමුත්, එම ඉල්ලුමට අවශ්‍ය සැපයුම ප්‍රමාණවත් නැත.

රොන් මඩ, නිවාස, හෝටල්වලින් ඉවත් කරන ආහාර අපද්‍රව්‍ය ආදිය තියෙන කානුවල තමයි මේ පණුවෝ වැඩිපුරම ඉන්නේ. මුලින්ම කානුවේ තියෙන මඩ ටික ගොඩ දානවා. ඊට පස්සේ වතුර ටික බහින්න මඩ ටික පෙරළනවා. ඊට පස්සේ පණුවෝ ටික කුඩා මඩ ගුලි සමග එකතු කර ගන්නවා.

ජෑම් බෝතලයක ඇසිරිය හැකි ප්‍රමාණයේ කුඩා ගුලි ගහල කොළවල (අල කොළ) ඔතනවා. ඊට හේතුව තමයි මේ පණුවන්ට ජලය සහිත තෙතමනය ඕනේ. නැත්නම් මැරෙන්න පුළුවන්. යැයි පණුවන් එකතු කරන පුද්ගලයකු කීවේය.

මෙලෙස ගහල කොළවල අසුරනු ලබන පණුවන් දහස් ගණනක් සහිත ගුලි කාඩ්බෝඩ් පෙට්ටිවල අසුරා බස් රථ මාර්ගයෙන් රටේ විවිධ ප්‍රදේශ වලට යවන්නේය. මෙම පණුවන් කානුවෙන් ගොඩදැමූ පසු ජීවත් වන්නේ ඉතා සීමිත පැය ගණනක් බව පණුවන් ගොඩ දමා අලෙවිකරන්නන් පවසති. උදේ වරුවේ නුවරඑළියේ කානුවලින් ගොඩ දමන පණුවන් සවස් කාලය වනවිටදී බස් රථවලින් කොළඹට ප්‍රවාහනය කෙරෙන්නේය.

පණුවන් ඕන ප්‍රමාණය අපිට දවසකට කලින් දැනුම් දෙන්න ඕනේ. ඒ වගේම ඒ සඳහා මුදලත් එවන්න ඕනේ. අපි පහුවදා උදේට පණුවෝ අල්ලලා කාඩ් බෝඩ් පෙට්ටිවල අසුරලා පණුවෝ ටික සී.ටී.බි. බස් එකට බාර දෙනවා.

ඕඩරේ අයිතිකාරයාට අපි බස් එකේ ඩ්‍රයිවර්ගේ නොම්මරේ දෙනවා. පණුවෝ ටික ගන්න කෙනා අදාළ තැනේදී ඩ්‍රයිවර්ට සල්ලි දීලා පණුවෝ ඉන්න පෙට්ටිය ගන්නවා. මේ වැඩේ අපි කාලයක් තිස්සේ කරගෙන යනවා. යැයි පණුවන් ගොඩ දමන්නා කීවේය.

ලංගම රියැදුරන්, මගීන් සමග පණුවන්ද ප්‍රවාහනය කරන්නේ මහත් කැමැත්තකිනි. ඊට හේතුව නම් පණුවන් ප්‍රවාහනය කිරීම නිසා ඔවුන්ට සන්තෝසම් ලැබෙන නිසාවෙනි.
දැනට වසර කීපයකට පෙරදී පණුවන් සහිත ජෑම් බෝතලයක ප්‍රමාණයක් අලෙවි කෙරුණේ රුපියල් හැටකට පමණය.

නමුත්, එම ප්‍රමාණය දැන් අලෙවි කෙරෙන්නේ රුපියල් හයසීයට, හත්සීයටය. ඊට ප්‍රධානතම හේතුව නම් මෙම පණුවන් සඳහා ඉහළ ඉල්ලුමක් පැවතීමය. ලීටර් හතරේ බාල්දියක පණුවන් සහිත ගුලි දහයක් හෝ දොළහක් අසුරන්නේය.

රුපියල් තුන්දාහේ තොගයක් කඳාන, ජාඇල ආදී ප්‍රදේශවලදී රුපියල් 3600 කට විතර විකුණන්න පුළුවන්. මේ බිස්නස් එක ඒ පැතිවල කීප දෙනෙක්ම කරනවා.ඒ අය අපෙන් පණුවෝ ගෙන්වාගෙන වැඩි මිලට විකුණනවා. මේක අමාරු බිස්නස් එකක් ‍නෙවෙයි.

මොකද මේ පණුවන්ට හොඳ ඉල්ලුමක් තියෙනවා. ඒ නිසා වැඩි මිලකට විකුණන්න පුළුවන්. ජොබ් එකක් කරනවාට වැඩිය මේ වැඩෙන් ලාභ උපයන්න පුළුවන්. මොකද වියදමක් නෑනේ. යැයි පණුවන් එකතු කරන්නා පැවසුවේය.

කඳාන, ගම්පහ ආදී හැම තැනෙන්ම ඉල්ලනවා.නමුත් දෙන්න බඩු නෑ. මොකද ඉස්සර වගේ ‍නෙවෙයි. මේ පණුවෝ ගොඩ දාන්න ගෝලයෝ දාන්න ඕනේ. ඒ අයටත් දවසකට රුපියල් දෙදහක් විතර දෙන්න ඕනේ. මේ බිස්නස් එක හරියට කරනවා නම්රුපියල් තුන්දාහක් විතර හොයා ගන්න පුළුවන්. අපි මේ වැඩේ කරන්නේ තවත් රස්සාවක් කරන ගමන්. යැයි ඔහු වැඩි දුරටත් කියා සිටියේය.

ඔහු පවසන පරිදි නුවරඑළිය බස් නැවතුම අසලින් ගලා බසින කානුවේද මේ පණුවන් සිටින්නේය. නමුත්, එම පණුවන් ඉක්මණින් මිය යන්නේය. එම නිසා ලැයින් කාමර පිටුපසින් ගලා බසින අපද්‍රව්‍ය සහිත කානු, නුවරඑළිය මහ රෝහල අසලින් ගලා යන අපජල කානුවලින් පණුවන් එකතු කරන බව ඔහු පවසන්නේය.

මෙම පණු ගුලි තුළ පණු බිත්තරද ඇත්තේය. පැටවුන්ද සිටින්නේය. මෙම පණුවන් බෝකරන ස්ථානද නුවරඑළියේ තිබෙන අතර, ගම්පහ, කොළඹ ආදී ප්‍රදේශවලද එම කටයුත්ත සුළු පරිමාණයෙන් සිදු කෙරේ. කුඩා ප්‍රමාණයේ ටැංකි සකසා පණුවන් බෝ කිරීම සිදුකෙරේ. නමුත් කොහේ කෙරුණත් මේ කටයුතු සිදු කෙරෙන්නේ ඉතා හොර රහසේය. ඊට හේතුව නම් ඊට ආගමික අංශවලින් විරෝධතා එල්ලවීමය.

මෙම පණු ව්‍යාපාරයේ යෙදී සිටින්නේ නුවරඑළියේ පදිංචිව සිටින සීමිත පිරිසකි. දීර්ඝ කාලීනව මෙම කටයුත්ත සිදු කිරීම නිසා ඔවුන්ගෙන් කිහිපදෙනකු අද ලක්ෂපතියන්ය. සුපිරි පන්නයේ නිවාස, වාහන ඔවුන් සතුය. නමුත්, එම ලක්ෂපතියන්ද තවමත් සෑම දිනකම අලුයම් කාලයේදී නුවරඑළියේ කානු අවුස්සා තවමත් පණුවන් සොයන්නේ හෙට දිනයේ කෝටිපතියන් වීම සඳහාය.

– සාලිය කුමාර ගුණසේකර
– රිවිර