ආදරේ පෙන්නන්න හැදුවට සැර මුහුණමයි මගෙන් එන්නේ-දේශපාලනය මගේ ජීවිතෙන් අයින් කරලා ගොඩක් කල්

කාලයක්ම ඇය මව්පදවියත් සමඟ කලාවෙන් ටිකක් ඈත් වෙලා සිටියත් නැවත ඇය කලාවත් සමඟ එකතු වුණේ විවිධ වූ චරිත හරහා. මේ දිනවල අහස් මාලිගා, නේත්‍රා ටෙලි නිර්මාණයන් ද්විත්වයෙන්ම කරළියට එන උපේක්ෂාට ලැබෙන ප්‍රතිචාර නම් වෙනදාට ලැබෙන ප්‍රතිචාර තරම් ආදරණීය නම් නැහැ. මේ කාරණාවන් එක්ක කලකට පස්සේ උපේක්ෂාව කතාබහකට එකතු කර ගන්න හිතුවා. කලා ජීවිතේ වගේම පෞද්ගලික ජීවිතේ තොරතුරත් සමඟ ඇය
කතාබහට එකතු වුණේ මෙලෙසින්.

 පුංචි තිරයේ අහිංසක වුණු පබා එකපාරට නපුරු වුණේ ඇයි?

ඇත්තටම මම නපුරු කෙනෙක් නොවෙයි. මම නපුරු චරිතෙට විතරයි. ඒත් චරිතෙකට හරි මේ තරම් මම නපුරු වුණේ කොහොමද කියලා මට දැන් හිතෙනවා. සමහර දෙබස් තරහෙන් කියද්දි ඔළුව පැලෙන්න තරමට කැක්කුමක් එනවා. අම්මෝ චරිතෙකට වුණත් නපුරු වෙනවා කියන එක ලේසි නැහැ.

අහස් මාලිගා, නේත්‍රා ටෙලි නිර්මාණයන් ද්විත්වයෙන්ම ඔබ ප්‍රේක්ෂකයා අතරට එන්නේ වෙනස්ම රාමුවකින්?

ඇත්තටම ඔව්. අහස් මාලිගා ටෙලි නාට්‍ය ගත්තොත් රයිනිගේ චරිතය තමයි ටෙලි නාට්‍යයේ තියෙන කළු චරිතය. මෙගා ටෙලි නාට්‍ය නිසා මේ චරිතය ඇතුළේ හෙට මොනවා වේවිද කියලා කියන්න බැහැ. හැබැයි මගේ රංගන ජීවිතය ඇතුළේ පළමු වතාවට තමයි මේ තරම් නපුරු චරිතයක් රඟපාන්නේ. නපුරු වෙනවා කියන එකත් ලේසි නැහැ. ගොඩක් අමාරුයි.

 උපේක්ෂාව මේ තරම් නපුරු කළේ කවුද?

ඇත්තට අහස් මාලිගා ආරම්භයේදී හිටපු අධ්‍යක්ෂතුමා නිවන්ත ප්‍රසාද්ට පින් සිද්ද වෙන්න, එයාගේ මඟ පෙන්වීමත් එක්ක තමයි මේ චරිතය මට හදාගන්න පුළුවන් වුණේ. දැන් නම් රයිනිගේ චරිතය බොහොම සතුටින් කරගෙන යනවා. දැන් මේ චරිතය කරන්න අරගෙන මාස ගණනාවක් වෙනවා. ඒත් අදටත් මේ චරිතය කරන්න ගත්තම මගේ රුධිර පීඩනය වැඩිවෙනවා වගේ දැනෙනවා. ඒ නපුරු සැර මානසිකත්වය මට හරිම නුහුරු දෙයක්. ඇත්තටම මට මුලදි නම් මේ චරිතය කරන්න ගොඩක් අපහසු වුණා.

 රයිනිට කොහොමද ලැබෙන ප්‍රතිචාර?

ප්‍රතිචාර හොඳයි. හැබැයි මුලදි නම් ලැබෙන ප්‍රතිචාර එක්ක ගොඩක් දුක හිතුනා. මොකද පබා වගේ චරිත හරහා ප්‍රේක්ෂක ආදරය උපරිමයෙන් ලැබුණ කෙනෙක් මම. ඇත්තම කියනවා නම් මම දේශපාලන ජයග්‍රහණ ලැබුවෙත් පබාට ආදරේ ප්‍රේක්ෂකයෝ නිසා. පබාගෙ චරිතයට ලැබුණු ප්‍රේක්ෂක ආදරය මම අත්වින්දා. හැබැයි දැන් මට තියෙන්නේ ඊට හාත්පසින්ම වෙනස් ප්‍රතිචාරයක්. පබා කරපු කාලේ අනේ ඇත්තටම උපේක්ෂා අහිංසකයි කියලා හිතාගෙන හිටපු ප්‍රේක්ෂකයෝ දැන් අහනවා අනේ ඇත්තටම ඔයා මේ තරම් නපුරු ද කියලා. කතාව බලලා මගේ චරිතයට මමත් අවංකවම බනිනවා. රයිනිට වැඩිපුරම ප්‍රතිචාර ලැබෙන්නේ බැනුම්වලින්. සමහරු කියනවා ආ දැන් තමයි උපේක්ෂාගේ ඇත්ත චරිතය එළියට ඇවිත් තියෙන්නේ කියලා කොහොම වුණත් මම හිතනවා චරිතයට මම හොඳ සාධාරණයක් කරලා තියෙනවා කියලා.

 ඒ කියන්නේ කරපු චරිතයෙන් ඔබ සාර්ථකයි කියන එක ද?

ඔව්, මේ චරිතය ගැන ප්‍රේක්‍ෂකයෝ කතා නොකළ නම් තමයි මම අසාර්ථක. බනින්න හරි මිනිස්සු ප්‍රතිචාර දක්වනවා කියන්නේ මම හිතන්නේ මම සාර්ථකයි. දවසින් දවස අහස් මාලිගා ටෙලි නාට්‍යයට ඉහළ ප්‍රතිචාර ලැබෙනවා. එක තැන දුවන්නේ නැති වර්තමානයට ගැලපෙන හොඳ මෙගා නිර්මාණයක් කියලා මම හිතනවා. අපේ මුළු කණ්ඩායමේම කැපවීම තමයි අහස් මාලිගා සාර්ථක වීමේ එකම ජයග්‍රහණය.

නේත්‍රා ටෙලි නාට්‍යයේ අඹගස්වැව කුමාරිහාමි ගැන කතා කළොත් රයිනිට වඩා හාත්පසින්ම වෙනස්. ඔබට කොහොමද ඒ චරිතය දැනෙන්නේ?

ඇත්තටම මම මෙතෙක් කරපු චරිතවලට වඩා හාත්පසින්ම වෙනස් අභියෝගාත්මක චරිතයක් තමයි අඹගස්වැව කුමාරිහාමි කියන්නේ. අභියෝගාත්මක වුණ එකම හේතුව තමයි පැරණි සිංහල කතා කිරීම. සිංහල වචන කතා කරද්දී වැරදි උච්චාරණයක් වේවි කියලා මම හරිම බයෙන් තමයි වචන හසුරවන්නේ. මුලින්ම මේ චරිතයට මට කතා කරද්දීත් නිෂ්පාදකතුමාට මම කිව්වා මේ චරිතය මට කරන්න පුළුවන් වේවි ද දන්නේ නැහැ කියලා. බොහොම බයෙන් තමයි භාරගත්තේ. මුලදි කොටස් කිහිපයක් යනකම්ම භාෂාව හැසිරවීම, කතාබහේ විලාශය හුරුවෙන්න ගොඩක්ම අමාරු වුණා.

දැන් මන්තර ගුරුකම් එහෙමත් හොඳට පුළුවන් ඇති නේද?

ඒ දේවල් හදාගන්න මට ගොඩක්ම අමාරු වුණා. අධ්‍යක්ෂවරයා ඇතුළු සියලූම දෙනා මට උදව් කළා. ඇත්තටම අධ්‍යක්ෂවරයාගේ ඉවසීම නිසා තමයි මම මේ චරිතයේ තාමත් ඉන්නේ. කොච්චර වැරදුණත් නෑ නෑ ඔයාට පුළුවන් කියලා ඔහුගෙන් ලොකු දිරිගැන්මක් තියෙනවා. ඔව් ඔව් දැන් නම් හොඳට මන්තර ගුරුකම් පුළුවන්.

පබා එක්ක ප්‍රේක්‍ෂකයා අතර ජීවත් වුණු අහිංසක පෙම්වතිය ඉස්සරහට නපුරු චරිතවලටම කොටු වේවිද?

ඇත්තටම නපුරු සැර චරිත කරලා මට දැන් ප්‍රේම ජවනිකාවක් කරන්න කිව්වම මනස හදාගන්න හරි අමාරුයි. ආදරේ පෙන්නන්න හැදුවට සැර මුහුණමයි මගෙන් එන්නේ. ඒත් වෙනස් චරිතවලට යන්න ලැබීම මට ලැබුණු ලොකු වාසනාවක් වගේම භාග්‍යයක් කියලා හිතනවා. සමහර දෙබස් මතක හිටින්නෙම නැති වුණාම ඇයි මම මේක භාරගත්තේ, මොකද්ද මේ කරුමෙ කියලා දාලා යන්න හිතුන වාර අනන්තයි.

 කලා කටයුතු එක්ක මවගේ කාර්යභාර්ය උපේක්ෂාගෙන් මඟ ඇරෙන්නේ නැද්ද?

මම එහෙම ගොඩක් වැඩ භාර ගත්තේ නැහැ. ඉස්සර නම් ෂූටින් යද්දි දුවව අරගෙන ගියා. දැන් එයා හරිම දඟයි. මහත්තයාගේ අම්මා ලොකු සහයෝගයක් දෙනවා දුවගේ වැඩ කටයුතු කරගන්න. පුළුවන් හැම වෙලාවෙම දුව වෙනුවෙන් කාලය වෙන් කරනවා. මගේ ජීවිතේ ගොඩක් දේවල් ලැබිලා තියෙනවා, නැති වෙලා තියෙනවා. ඒ හැමදේම අස්සේ මම අම්මා කෙනෙක් වෙන්න ලොකු ආසාවකින් හිටියේ. පසුතැවුණු ජීවිතේට ආලෝකයක් දුන්නේ මගේ දුවයි, මගේ සැමියයි. අද මම හරිම සතුටින් ජීවත් වෙනවා.

 උපේක්ෂාට නැවත දේශපාලනය ඇරයුමක් ලැබුණොත්?

අම්මෝ නැහැ. දේශපාලනය මගේ ජීවිතෙන් අයින් කරලා ගොඩක් කල්. මැරෙනකම් මම කලාව කරගෙන ඉන්නවා. දැන් මට රැකගන්න පවුලක් ඉන්නවා. ඒ නිසා මම ඒ දේවල් ජීවිතෙන් ඈත් කළා. කරපු මෝඩකම් ආයෙම කරන්නේ නැහැ.



නදීශා අතුකෝරළ


gossip lanka