මුදලින් ලක්ෂ පහක්, පරිගණකයක් සහ ගුවන් බලපත්‍ර දෙකක්..! ත්‍රීරෝද රථයේ අමතක වී ගිය දේවල් රැගෙන හිමිකරු සොයා ගිය උතුම් ත්‍රීරෝද රථ රියදුරා..!

නෙන් දින පිරිහී යන මිනිස් සමාජය තුල උතුම් මිනිසුන්ද සිටින බව පසක් කරමින් රුපියල් ලක්‍ෂ පහකට අධික මුදල් ප්‍රමාණයක්, ජංගම පරිගණකයක්, ගුවන් ගමන් බලපත්‍ර දෙකක් සමඟ ත්‍රීරෝද රථයක අමතක කර දමා ගිය ගමන් මල්ලක් නැවත එහි හිමිකරු සොයා දුන් ත්‍රීරෝද රථ රියදුරෙකු පිළිබඳ තොරතුරු වාර්තා වනවා.

දෙහිවල, කළුබෝවිල විමලසාර පාරේ පදිංචි ත්‍රිරෝද
රථ රියදුරෙකු වන එන්. සෙල්වරාජ් නමැති දෙදරු පියෙකු වන ඔහු පසුගිය 28 වනදා උදෑසන තම ත්‍රීරෝද රථය සර්විස් කිරීමට එහි තිබූ බඩු භාහිරාදිය ඉවත් කරන අවස්ථාවේදී පසුපස අසුනේ පිටුපස කොටසෙහි තිබී මෙම ගමන් මල්ල හමුවී තිබෙනවා. පසුව ඒ පිළිබඳ සිය බිරිඳටද දැනුම් දී බෑගය විවෘත කර බැලීමේදී ජංගම පරිගණකයක්, ගුවන් ගමන් බලපත්‍ර දෙකක් සහ රුපියල් ලක්‍ෂ පහකට ආසන්න මුදල් තිබෙන බව නිරීක්ෂණය කර තිබෙනවා.

ඉන් අනතුරුවයි පොලීසිය හරහා අදාල ගමන් මල්ල එහි හිමිකරුට භාර දීමට ඔහු පියවර ගෙන තිබුනේ. ඒ පිළිබඳව ත්‍රීරෝද රථයේ රියදුරු සෙල්වරාජ් මෙලෙස අදහස් දැක්වුවා.

මම චුට්ටක් කල්පනා කළා. මේ වගේ බෑග් එකක් අරගෙන කවුද ත්‍රීවීල් එකට නැග්ගේ කියලා. මට චුට්ටක් මතකයට ආවා මේ මහත්තයා තව නෝනා කෙනකුත් මහත්වරු දෙන්නෙකුත් කොල්ලුපිටිය පොලිසිය ළඟ ඉඳලා දෙහිවලට ගියා නේද කියලා. ඒත් ඒ මහත්තයා කොහේ පදිංචි එක්කෙනෙක්ද කියලා දැනගෙන හිටියේ නෑ.

ත්‍රිරෝද රථය සර්විස් කරන එක පස්සට කල් දාලා මම නෝනත් එක්කම කොල්ලුපිටිය පොලිසියට ගියා. උදේ හයයි කාලට විතර ඇති. ඇවිත් ලොකු මහත්තයාට විස්තරේ කියලා සියලුම දේවල් භාර දුන්නා.

පොලිසියේ ලොකු මහත්තයා මටයි නෝනටයි ස්තුති කරලා තේ පැන් සංග්‍රහයකුත් දුන්නා. මට කීවා සිකුරාදා (27දා) සවස පැමිණිල්ලක් ආවා මේ දේපළ ත්‍රිරෝද රථයක අමතක වෙලා දමා ගියා කියලා. පොඩ්ඩක් ඉන්න. පැමිණිල්ල දාපු මහත්තයා ගෙන්නන් නම් කියලා.

අටයි තිහ පමණ වනවිට ඒ මහත්තයා ආවා. පොලිසියේ ලොකු මහත්තයා මට කීවා ඔයාම බෑග් එක දෙන්න කියලා. මම බෑග් එක දීලා කිව්වා මහත්තයා හොඳට බලන්න මොනවාහරි අඩුද කියලා. එයා බලලා කිව්වා මොනවත් අඩු නැහැ එහෙම කියලා. ඒ මහත්තයා මට එම මුදල්වලින්ම රුපියල් පනස් දහසක් දෙන්න හැදුවත් මම ගත්තේ නැහැ. පස්සේ අපේ නෝනගේ අතට මුදල් දෙන්න හැදුවා. එයත් ගත්තේ නැහැ. මම ඒ මහත්තයාට කීවා මුදල් ඕන නැහැ මහත්තයා මනුස්සකම ඊට වඩා වටිනවා කියලා.