විජයකලාගේ කතාවෙන් පසු හමුදා කඳවුරු 33ක් ඉවත් කිරීමේ සූදානමක් - සේරුවිල විහාරාධිපති හිමියන්ගෙන් ආන්දෝලනාත්මක හෙළිදරව්වක්!

මේ මස අවසන් වන විට උතුරු නැගෙනහිර ප්‍රදේශවල හමුදා කඳවුරු 33ක් ඉවත් කිරිමේ සුදානමක් ඇති බව සේරුවිල සංඝ සභාවේ සභාපති සේරුවිල මංගල රජමහා විහාරාධිපති මුංහේනේ මෙත්තාරාම  අමරපුර කල්‍යාණවංශ මහා නිකායේ  නැගෙනහිර තමන්කඩුව දෙපළාතේ ප්‍රධාන සංඝනායක හිමියෝ නිවේදනයක් නිකුත්කරමින් පවසයි.

එමෙන්ම හමුදා කඳවුරු ඉවත් කිරිම හා රාජ්‍ය
ඇමැතිනිය විජයකලා සිදුකර ඇති ප්‍රකාශය අතර සම්බන්ධයක් ඇතැයි සැකයක් පවතින බවද උන් වහන්සේ වැඩිදුරටත් සඳහන් කරයි.

එල්.ටි.ටි.ඊ සංවිධායන ඇති කිරිමේ  කිරිමේ අවශ්‍යතාවය රාජ්‍ය ඇමැතිනිය පෙන්වා දෙන අතරේ රාජ්‍ය හමුදා කඳවුරු  33 ක් ඉවත් කිරිම තුළින් එයට පසුබිම සකස් කර දෙන බවට සැකයක් පවතින බව පෙනී යන්නේ යැයි  සංඝ නායක හිමියෝ පැවසුහ.

නිවේදනයෙන් තවදුරටත් අදහස් දැක්වු ඒ හිමියෝ

‘‘උතුරු නැගෙනහිර පළාත් දැනට ඇති විහාරස්ථාන 50කට පමණ දානය සපයන්නේ මේ කඳවුරුයි. මේවා ඉවත් කිරිම තුළින් විහාරස්ථානවල හිමිවරුන්ට දානය නැතිවීම පමණක් නොවෙයි ප්‍රදේශයේ ආරක්ෂාවත් අනතුරට වැටෙනවා.

ඒ නිසා මේ හමුදා කඳවුරු 30 වැනි දාට ඉවත් කිරිමේ සැලසුම හකුලා ගන්නා ලෙස ජනාධිපතිවරයාට දැනුම් දුන්නා. ඒවගේම විජයකලා රාජ්‍ය ඇමැතිනියගේ ප්‍රකාශය දැඩි ලෙස හෙළා දකිනවා. මේ ප්‍රකාශය සැලසුම් සහගතව කළ ප්‍රකාශයක් නිසා මේ ඇමැතිනියට එරෙහිව දැඩි ක්‍රියාමාර්ග ගතයුතුයි‘‘ යැයිද  සඳහන් කළහ.