‘ස්මැක් මංජු’ ගෙ පෙම්වතිය මරන්න බන්ධනාගාරේ ඉඳන් ගහපු චිකාගෝ ප්ලෑන

වැලිකඩ බන්ධනාගාරයේ සිර මැදිරියක් තුළ පුංචි යුද්ධයක් හට ගැනුණි. එක් සිරකරුවකු තවත් සිරකරුවන් දෙදෙනකුට පෙරළාගෙන පහර දුන්නේය. මෙම ගැටුම අනෙක් සිරකරුවෝ බලාගෙන සිටියහ.

දැවැන්ත ගුටි පූජාවකින් මෙම ගැටුම අවසන් වූයේ බන්ධනාගාරගත නිලධාරීන්ගේ මැදිහත් වීමෙනි.
තනි සිරකරුවකු සිදු කළ මෙම පහරදීම ගැන
සිරකරුවන් බොහෝ දෙනකුගේ අවධානයට ලක් විය.

'දැන් ඉතිං අද ඉවරයි' බහුතරයක් වූ සිරකරුවන් ප්‍රකාශ කළේ එලෙසය.

ප්‍රබල පාතාල කල්ලි නායකයන් දෙදෙනකු වන මාකිලන්ගමුවේ සංජීව සහ කඩුවෙල ගොත අසංක එලෙස පහර කෑ නිසා සිරකරුවෝ එලෙස ප්‍රකාශ කළහ.

වැලිකඩ බන්ධනාගාරයම කලඹමින් ප්‍රධාන පෙළේ පාතාල නායකයන් දෙදෙනකුට මෙලෙස අභියෝගයක් වූයේ ස්මැක් මංජු නමැති දෙවැනි පෙළේ පාතාල නායකයෙකි.

ත්‍රිපුද්ගල ඝාතනයක් සහ හෙරොයින් ග්‍රෑම් 250ක් ළඟ තබා ගැනීමේ චෝදනාවන්ට වරදකරු වූ මංජු වසර තුනක පමණ කාලයක සිට ජීවත් වන්නේ වැලිකඩ සිරගෙදරය.
"උඹව මේකේ ඇතුළෙම මරනවා. නැත්නම් උඹේ ගෑනිව මරනවා" ගැටුම අහවර වනවාත් සමඟම මාකිලන්ගමුවේ සංජීව ස්මැක් මංජුට අනතුරු ඇඟෙව්වේය.

මෙම ගැටුම සිදුවූයේ මීට දෙසතියකට පමණ ඉහතදීය. මාකිලන්ගමුවේ සංජීව සහ ගොත අසංක නියෝජනය කරන්නේ වත්මන් පාතාලයේ ගෝඩ්ෆාදර් වන මාකඳුරේ මධූෂ්ගේ කල්ලියය.

කෙසේ නමුත් ගම්පහ ප්‍රදේශය කේන්ද්‍ර කරගත් පාතාලයේ ප්‍රබලයකු වන මාකිලන්ගමුවේ සංජීව සහ කඩුවෙල පාතාලයේ ප්‍රබලයකු වන ගොත අසංකට සිදු වූ මෙම ප්‍රහාරය ඔවුන්ගේ බල අධිකාරියට එල්ල වූ මරු පහරක් බව ඔවුහු කල්පනා කළහ.

තමන්ට ඇති වූ මෙම කැළල නැති කර ගැනීමේ මඟක් ඔවුන් දෙපළ කල්පනා කළහ. අවසානයේ ඔවුහු ඊට සැලසුමක් සකස් කළහ.

සැලැසුම ක්‍රියාත්මක කිරීම සඳහා ඔවුහු දින යොදා ගත්තේ ඉකුත් 13 වැනි සිකුරාදාය.

ස්මැක් මංජුගේ ගම මොරටුව, කටුබැද්දය. ඔහුට දරුවන්ද දෙදෙනකු සිටී. ඔහුගේ බිරිය ගැන සඳහනක් නැත.

එම නිසාම මංජු දැන් ආදරවන්තයෙකි. ඔහුගේ ආදරවන්තිය 22 හැවිරිදි වියෙහි පසුවන්නීය. දැනටමත් මංජු හතළිස් ඇඳිරියට පත්ව සිටී.

ආදරවන්තිය සිය පෙම්වතාව බැලීම සඳහා සතියකට කිහිප වතාවක් වැලිකඩට පැමිණෙන්නීය. ඇයගේ බලාපොරොත්තුව ස්මැක් මංජු හිරෙන් නිදහස්ව පැමිණිදාට ඔහුව විවාහ කර ගැනීමටය.

මේ ආදර කතාව සංජීව සහ අසංක දනී. එම නිසා මංජුව නොමරා මැරිය හැක්කේ ඔහුගේ පෙම්වතියට කරදරයක් සිදු කොට බව ඔවුහු කල්පනා කළහ.

මාකිලන්ගමුවේ සංජීවගේ උපදෙස් පරිදි මෙහෙයුම සිදු කිරීමට භාර ගත්තේ ගොත අසංකය.

ගොත අසංක මෙම මෙහෙයුම සිදු කිරීමට කණ්ඩායම් දෙකක් තෝරා ගත්තේය. ඉන් එක කණ්ඩායමක් සිටින්නේ කඩුවෙල කේන්ද්‍ර කරගත් පාතාලයේය. අනෙක් කණ්ඩායම නියෝජනය කරනුයේ මට්ටක්කුලියේ පාතාලයය.

ගොත අසංකගේ සැලසුම මෙසේය.

පරම හතුරා වූ ස්මැක් මංජුගේ පෙම්වතිය ඔහුව බැලීමට වැලිකඩ බන්ධනාගාරයට සිකුරාදා (13දා) දින පැමිණෙයි. ඔහුව බලා නැවත ආපසු ඇය නිවෙස බලා යෑමට බන්ධනාගාරය තුළ සිට පිටතට යයි.

එත් සමයං කඩුවෙල තමාගේ ගෝලයන් බන්ධනාගාරය ඉදිරිපිටදී ඇයට කඩුවෙන් කොටා පලා යයි.

කඩුපහර එල්ල කර ගැනීමට නොහැකි වුවහොත් ඔවුහු ඇයට අත්බෝම්බ ප්‍රහාරයක් එල්ල කරයි.

එම උත්සාහයන් අසාර්ථක වුවහොත් මට්ටක්කුලියේ කල්ලිය ඇයව කපා කොටා ඝාතනය කොට පලා යයි.

වැලිකඩ බන්ධනාගාරය තුළ සිට ජංගම දුරකථන හරහා ගොත අසංක මෙම සැලසුම සිය ගෝලබාලයන්ට වටහා දුන්නේය.

සැලසුම ක්‍රියාත්මක වන දිනය උදාවිය. ගොත අසංක දුරකථනය හරහා සිය ගෝලබාලයන් මෙහෙයවන්නට පටන් ගත්තේය.

"සර්, වැලිකඩ බන්ධනාගාරය ඉස්සරහ කාන්තාවක් කඩුවකින් ගහලා මරන්නයි හදන්නේ. ඇතුළේ ඉන්න මංජුව බලන්න එන ඔහුගේ පෙම්වතිය මරන්නයි මේ හදන්නේ."
සංවිධානාත්මක අපරාධ කොට්ඨාසයේ ඉහළ නිලධාරියකු මේ පිළිබඳ පොලිස් විශේෂ කාර්ය බළකායේ අණදෙන නිලධාරි ජේ‍යෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති එම්.ආර්. ලතීෆ් දැනුවත් කළේය.

මෙරට තුළ සේම ජාත්‍යන්තරයේද වැඩි අවධානයක් දිනා ගනිමින් අමානුෂික ලෙස කාන්තාවන් ඝාතනය කිරීමට පාතාල කල්ලි ගන්නා සැලසුම ව්‍යර්ථ කිරීමට අණදෙන නිලධාරිවරයාද සැලසුමක් දියත් කළේය.

ගොත අසංකගේ සැලසුම සුනුවිසුනු කිරීමට අණදෙන නිලධාරිවරයා කඩිනමින් කණ්ඩායමක් පත් කළේය.

පොලිස් විශේෂ කාර්ය බළකායේ බුද්ධි අධ්‍යක්‍ෂ ශාන්ත රත්නපිටිය, සහකාර පොලිස් අධිකාරි ඩී.පී.යූ. කොඩිතුවක්කු, සංවිධානාත්මක අපරාධ මර්දන ඒකකයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක නදීක සිල්වා ඇතුළු පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරීන් විස්සක පමණ කණ්ඩායමක් මේ සඳහා යෙදවීමට අණදෙන නිලධාරි එම්.ආර්. ලතීෆ් කටයුතු කළේය. වැලිකඩ බන්ධනාගාර සිරකරුවන් බැලීමට අමුත්තන් එන වෙලාවද ආරම්භ විය.

පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරීන් වහාම ක්‍රියාත්මක වී ආයුධ සන්නද්ධව වැලිකඩ බන්ධනාගාරය අවට ක½දවුරු බැඳ ගත්හ.

මෙය ඉතා සූක්ෂම සහ රහසිගත මෙහෙයුමකි. එම නිසාම එල්.ටී.ටී.ඊ.යට පහර දුන් ආකාරයට නොව වෙනත් උපක්‍රම භාවිත කරමින් මෙම නිලධාරීහු ස්ථාන ගත වූහ.
ඉන් නිලධාරීන් බහුතරයක් සිටියේ සිවිල් ඇඳුමින්ය. වැලිකඩ බන්ධනාගාරය ආසන්නයේ ඇති සියලු බස් නැවතුම්පළවළ වෙළෙඳසල් සහ පාළු ස්ථාන කීපයක නිලධාරීහු රැකවල්ලා සිටියහ.

"අයියේ, මට ආයුධෙ දෙන්න. මම ගහන්නම්" වැලිකඩ බන්ධනාගාරය අසල වූ බස්නැවතුම්පොළේ සිටි අයකු දුරකථනය හරහා තවත් අයකුට පැවැසීය. මොවුන්ගේ පැමිණීම අපේක්‍ෂාවෙන් බස් නැවතුම්පොළෙහි උපාය දූතයකු ලෙස විශේෂ කාර්ය බළකා නිලධාරීහු ඔහුගේ එම දුරකථන සංවාදයට කන් දුන්හ.

මෙම ඝාතනයට පැමිණි එක් අයෙකු ඔහු බව නිලධාරීහු හඳුනා ගත්හ. ඒ හරහා ඉතා සූක්ෂම ලෙස පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරීන් ඔහුව වෑන් රථයකට දමා ගත්හ. ඔහු සන්තකයේ තිබී අත්බෝම්බයක් නිලධාරීන් විසින් සොයා ගැනිණි.

ඔහු කඩුවෙල පාතාලයට සම්බන්ධ ළහිරු ප්‍රමොද්‍ය පෙරේරා (22) ය. එම පාතාල සාමාජිකයා පදිංචිව සිටින්නේද කඩුවෙල, වැලිවිටය. "ස්මැක් මංජු" ගේ පෙම්වතිය බන්ධනාගාරයෙන් පිටතට පැමිණෙන වෙලාව ගැන ඔත්තු බලමින් සිටි සජිත් විදුරංග (23) ද විශේෂ කාර්ය බළකා නිලධාරීන් විසින් අත්අඩංගුවට ගනු ලැබීය. ඔහු මල්වාන දඹවාපිටියගම ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.
ග්‍රහණයට ගත් එම පාතාල සාමාජිකයන්ට සුපුරුදු ලෙසම දුරකථනයෙන් කතා කරන ලෙසට විශේෂ කාර්ය බළකා නිලධාරීන් උපදෙස් ලබා දුන්නා.

ගොත අසංක නැවත වාරයක් ළහිරු ඇමැතීය. රේල්්වේ ග්‍රවුන්ඩ් එක ගාව රතු පාට ත්‍රීවීල් එකක් ඇති. ඒකේ ආයුධ තියෙනවා. අරකි දැන් එළියට එයි. වැඩේ කරපන්.
එම දුරකථන සංවාදයත් සමඟ පොලිස් විශේෂ කාර්ය බළකා තවත් කණ්ඩායමක් දෙමටගොඩ දුම්රිය ක්‍රීඩාංගණය අසලට ගියහ. නිලධාරීන් ත්‍රිරෝද රථය ළඟා වෙනවාත් සමඟම ත්‍රිරෝද රථය එම ස්ථානයෙන් පලා යෑමට පටන් ගත්තේය.

ත්‍රාසජනක චිත්‍රපටයක දසුනක් සේ වේගයෙන් පලා යන ත්‍රිරෝද රථය ලුහුබැඳීමට විශේෂ කාර්ය බළකාය පටන් ගත්හ. දෙමටගොඩ ගුවන් පාලම ආසන්නයේදී ත්‍රිරෝද රථය හරස් කොට නැවතූ නිලධාරීන් එහි සිටි තිදෙනකු අත්අඩංගුවට ගනු ලැබීය.

ත්‍රිරෝද රථයේ සඟවා තිබූ කඩුවද නිලධාරීන් විසින් සොයා ගන්නා ලදී.

ත්‍රිරෝද රථයේ තිබී හෙරොයින් ග්‍රෑම් 02 මිලිග්‍රෑම් 610ක් සොයා ගැනීමට පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරීහු සමත් වූහ.

ත්‍රිරෝද රථයේ රියැදුරු වූ ජොන්සන් අමිල (25)සහ ඝාතනයට පැමිණි කැලුම් කුමාර (24), වේළුපානි රවී (27) යන පාතාල සාමාජිකයන් පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරීන් විසින් අත්අඩංගුවට ගන්නා ලදී. ඔවුන් සියලු දෙනාම මට්ටක්කුලිය ප්‍රදේශයේ පදිංචිකරුවන්ය.

ඝාතනවලට යොදා ගත් ව්‍යාජ අංක තහඩු භාවිත කොට සකස් කළ යතුරුපැදියක්, ජංගම දුරකතන හයක් නිලධාරීහු භාරයට ගනු ලැබූහය.

චිකාගෝ ක්‍රමයට කපා කොටා ඝාතනය කිරීමට සූදානම් වූ ගොත අසංකගේ සිහිනය පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරීන් විසින් අවසානයේ සිහිනයක්ම කළහ.
ද්‍රවිඩ ත්‍රාසජනක චිත්‍රපටයකට සමාන කොටස් ඇතුළත් මෙම කතාන්දරය සැලසුම් කළේද වැලිකඩ බන්ධනාගාරයේ සිටින සිරකරුවකු විසිනි.

මෙරට සිදුවන අපරාධයන් රැසක් මෙහෙයවන්නේද වැලිකඩ තුළ සිට බව කියැවේ.

මෙයත් එවැනිම කතාවකි.

ජනාධිපතිතුමනි, මරණ දණ්ඩනය නැවත නැවතත් එම අපරාධයන් මෙහෙයවන සිරකරුවන් එල්ලා මැරීමට ප්‍රථමව බන්ධනාගාරය තුළට ජංගම දුරකථන රැගෙන ඒම වැළක්වීමට එහි සිටින දූෂණ නිලධාරීන් එල්ලා මැරිය යුතුය.

මන්ද අද වන විට පාතාල නායකයන් වැලිකඩ මහ උළුගෙය ඔවුන්ගේ සුවපහසු බෝඩිමක් කරගෙන හමාරය. සිරකරුවන් බෝඩිම්කරුවන් නොවන නියම වූ සිරකරුවන් කිරීමට හැකියාව ඇත්තේ බන්ධනාගාර නිලධාරීන්ට බවද මතක් කරදිය යුතුය.

නියපොත්තෙන් කැඩීමට ඇති දෙය පොරොවෙන් කඩා දැමීමට ඉඩ නොතබා මෙම ප්‍රශ්නයට විසඳුම් කඩිනමින් ගත යුතුව ඇත. එසේ වුවහොත් මේ රටේ සිදුවන අපරාධ රැල්ලෙන් හරි අඩක් අඩුවෙනු නිසැකය.

චාමර අමරසූරිය


- මවුබිම
gossip lanka