ඒක තමයි මගේ ලොකුම හීනය – බොහෝ දුරට රංගනයෙන් දුරස්‌ වෙයි

ඉංජිනේරු පෙම්වතා රඟපාන්න එපා කිව්වද?
හුඟක්‌ අය ඔය ප්‍රශ්නය මගෙන් අහනවා

සදනි පතිරණ දැන් වැඩිය සද්ද බද්දයක්‌ නෑ. ඇත්තටම ඇයි සඳනි වැඩිය සද්ද බද්දයක්‌ නැත්තේ.
ඒක දන්නේ සඳනි තමයි. අපි එයාගෙන්ම අහලා බලමු.

මේ අවුරුද්දේ වැඩිය වැඩ භාර අරන් නෑ වගේ?

ඇත්තටම ඔව්. මේ අවුරුද්දේ මං වැඩිය වැඩ භාර ගත්තේ නෑ. ගිය අවුරුද්දේ භාර ගත්ත වැඩ කටයුතු ටික තමයි තවමත් මේ අවුරුද්දේ කරගෙන යන්නේ. ඒ වගේම නේබරයා ටෙලි නාට්‍යයේ වැඩ කටයුතු මේ දවස්‌වල කරගෙන යනවා. නීටා ප්‍රනාන්දු මහත්මියගේ ටෙලි නාට්‍යයක්‌ විකාශය වෙන්න තියෙනවා.

ඇයි ඒ?

පටන් ගත්ත වැඩ ටිකත් එක්‌ක තවත් වැඩ භාරගන්න පුළුවන්කමක්‌ තිබුණේ නෑ.

චිත්‍රපටවලට සම්බන්ධ වුණේ නැද්ද?

චිත්‍රපටවලට නං මට ඇත්තටම කතා කරනවා අඩුයි.

හේතුව?

සමහර විට මගේ පෙනුම නිසාද දන්නෙත් නෑ. මං හරියට හේතුවක්‌ දන්නේ නෑ ඉතිං.

වේදිකා නාට්‍යවලට සම්බන්ධ වුණේ නැද්ද?

තවම සම්බන්ධ වෙලා නැහැ. නමුත් ආසයි.

ඒ කියන්නේ ආරාධනාවක්‌ ලැබුණොත් භාර ගන්නවා?

ඔව්. අනිවාර්යයෙන්ම.

කොහොමද අධ්‍යාපන වැඩකටයුතු?

හෙමින් සැරේ කරගෙන යනවා. මේ දවස්‌ ටිකේ විවෘත විශ්වවිද්‍යාලයේ ප්‍රාථමික අධ්‍යාපනය පිළිබඳ ඩිප්ලෝමාව හදාරනවා. ඊට අමතරව බී. ඒ. එකත් පටන් ගත්තා. ඒ දේවල් තමයි ඉතිං.

ඇයි මේ ප්‍රාථමික අධ්‍යාපනය පිළිබඳ හැදෑරීමක්‌ කරන්න හිතුණේ?

මං ආසයි පුංචි දරුවන්ට උගන්වන්න. මං කොහොමත් පොඩි අයට හුඟක්‌ ආදරෙයි. ඉතිං හිතුණා මට සුදුසු මේ දේ තමයි කියලා.

මේ පුංචි කාලේ ඉඳන් තිබුණු බලාපොරොත්තුවක්‌ ද?

ඔව්. ඕනෙම කෙනෙක්‌ පුංචි කාලේ ඉඳන් එහෙම හිතං ඉන්නවනේ. ඩොක්‌ටර් කෙනෙන් වෙනවා, ඉංජිනියර් කෙනෙක්‌ වෙනවා කියලා වගේ. මං ආස වුණේ පුංචි කාලේ ඉඳන් ටීචර් කෙනෙක්‌ වෙන්න. ගොඩක්‌ අය වැඩිහිටියන් වෙද්දී ඔය බලාපොරොත්තු වෙනස්‌ වෙනවා. නමුත් මගේ හිතේ තිබුණු ආසාව එහෙමමයි.

ඉස්‌සරහට පෙර පාසලක්‌ කරන්නද බලාපොරොත්තුව?

මම කොහොමත් රංගනයට අමතරව ගුරුවරියක්‌ විදිහට කටයුතු කළා. මේ අධ්‍යාපන කටයුතු හින්දා තමයි ඒ දේවල් ටිකක්‌ නතර කරන්න වුණේ. නමුත් මගේම කියලා පෙර පාසලක්‌ ආරම්භ කරන්නයි බලාපොරොත්තුව. ඒක තමයි මගේ ලොකුම හීනය.

එතකොට රංගනයෙන් දුරස්‌ වෙන්න වෙයිනේ?

ඔව්… බොහෝ දුරට රංගනයෙන් දුරස්‌ වෙයි.

ඇයි රංගනයයි ගුරු වෘත්තියයි දෙකම එකට කරන්න බැරිද?

හැමෝම ඔය දේ කියනවා. නමුත් වෙලාව තිබුණත් ගුරු වෘත්තීය කියන දේට හානියක්‌ නොවන, ඒ වෘත්තියට ගැළපෙන දෙයක්‌ ලැබුණොත් කරනවා. මොකද ගුරුවරියක්‌ කියන කෙනා ළමයින්ට ආදර්ශවත් කෙනෙක්‌ වෙන්න ඕනෑනේ.

පෙර පාසලක්‌ පවත්වන්න හදන්නේ දිවා සුරැකුම් මධ්‍යස්‌ථානයකුත් එක්‌කද?

හුඟක්‌ අය මගෙන් ඔය ප්‍රශ්නය අහනවා. නමුත් මම නං ඒක එච්චර නිර්දේශ කරන දෙයක්‌ නෙමෙයි.

විවාහය ගැන දැන්ම හිතන්න අදහසක්‌ නැද්ද?

හිතන්න ඕනෑ. හැබැයි දැන්ම නෙමෙයි. තව අවුරුදු තුනක්‌ හතරක්‌ විතර ගිහිල්ලා. හැමදේම හෙමින් හෙමින් ලැස්‌ති කරගන්න ඕනෑ.

පෙම්වතා ගැන කියන්න අකැමැතිද?

අනේ නෑ. එයා ආතර් සී ක්‌ලාක්‌ මධ්‍යස්‌ථානයේ ඉංජිනේරුවරයෙක්‌ විදිහට කටයුතු කරනවා. දැනට ඒ ඇති නේද……

නම කියන්නේ නැද්ද?

නම දැන්ම කියන්න බෑනේ… ඒ විස්‌තර අපි තව අවුරුදු දෙකහමාරකින් විතර කියමු නේද.

ඔච්චර හංගන්න හේතුව මොකක්‌ද?

හංගන්න හේතුවක්‌ නැහැ. මම අපේ ෆොටෝස්‌ එහෙම ඉන්ස්‌ටර්ග්‍රෑම් දානවා.

විවාහයෙන් පස්‌සේ රංගනයෙන් ඉවත් වෙයිද?

ඔව්… විවාහයෙන් පස්‌සේ මං රංගනයෙන් ඈත් වෙයි.

පෙම්වතා ද කිව්වේ විවාහයෙන් පස්‌සේ රංගනයෙන් ඉවත් වෙන්න කියලා?

අනේ නැහැ….. එයාගෙන් මට ලොකු සහයෝගයක්‌ ලැබෙනවා මගේ වැඩ වලට. ඇත්තටම මට මොකක්‌ හරි පිටපතක්‌ ලැබුණත් අම්මගෙන් පස්‌සේ මම එයාට තමයි කියන්නේ. එයා කවදාවත් මට කිසිම දෙයක්‌ එපා කියලා නැහැ. අම්මිත් එක්‌ක කතා කරලා මට හොඳයි නං කරන්න කියලා තමයි එයා කියන්නේ.

එහෙනං ඇයි ඔබ රඟපෑමෙන් ඉවත් වෙන්න හිතුවේ?

මට වැඩ ගොඩක්‌ බදාගෙන කරන්න පුළුවන් කෙනෙක්‌ නෙමෙයි. ඉතිං වැඩ ගොඩකුත් බදාගෙන විවාහ ජීවිතයක්‌ කරගෙන යන්න බැහැ කියලා මට හිතෙනවා. ඒ හින්දා ගුරු වෘත්තීයත් කරගෙන විවාහ වුණාට පස්‌සේ රංගනයෙන් ඈත්වෙන්නයි හිතුවේ.

යුගන්ති යශෝධරා

gossip lanka