පුතාට හොඳට උගන්වන එක තමයි ජීවිතේ තියෙන ලොකුම බලාපොරොත්තුව

ලාංකේය කලා ක්ෂේත‍්‍රයේ ඔබ අප කවුරුත් ආදරය කරන කලාකරුවෙක් මෙවර  කතාබහකට එකතු කරගන්න හිතුවා.

ඒ තමයි රංගන ශිල්පී සම්පත් ජයවීර.

සම්පත් සහ ධනංජය කලා ක්ෂේත‍්‍රයේ කිහිපදෙනෙක් සමග එක්ව තවත් අලූත් වැඩකටයුත්තකට අතගහලා කියලාත් අපට ආරංචි වුණා. ඒ පිළිබඳවත්, ඔහුගේ කලා කටයුතු ගැනත් කතා කරන්නටයි මේ ඉඩකඩ වෙන් වූයේ.

මොකද්ද මේ අලූත්ම වැඩකටයුත්ත?

රංගන ක්ෂේත‍්‍රයට අවතීර්ණ වෙන නවකයින්ට
පාඨමාලාවක් ආරම්භ කළා. ‘ප‍්‍රාණ ඇක්ටින් ස්ටූඩියෝ’ නමින්. ඒ වැඩකටයුතුත්ත ආරම්භ කළේ මමත් ධනංජය සිරිවර්ධනත් එකතු වෙලා. රංගනය පිළිබඳ විධිමත් හැදෑරීමක්, පුහුණුවක් ලබා දෙන්න තමයි මෙමගින් බලාපොරොත්තු වෙන්නේ. ක්ෂේත‍්‍රයේ තව කීපදෙනෙකුත් එකතු කරගෙන තමයි මේ වැඩමුළුව කරගෙන යන්නේ.

ලස්සන, කැත, කෙට්ටු, මහත, කලූ, සුදු, තරුණ, වයස මේ හැම ස්වරූපයකම පිරිස් මේ වෙනුවෙන් සම්බන්ධ කරගෙන වැඩ කර ගෙන යන්නේ?

මෙහෙමයි, නළු නිළියෝ කියන හැමෝම කඩවසම්, මනා පෙනුමක් තියෙන, හොඳ රූ සපුවක් තියෙන අයම නෙමෙයිනෙ. අපි හිතාගෙන ඉන්නවා ඒක එහෙමයි කියලා. හොඳ පෙනුමක් තියෙන අයට විතරයි නළු නිළියො වෙන්න පුළුවන් කියලා අපි හිතාගෙන ඉන්නවා. නමුත් අපි නරඹන මෙගා ටෙලිනාට්‍ය ගත්තත්, සාමාන්‍ය ටෙලිනාට්‍ය ගත්තත් ඕනෑම නිර්මාණයක් රඳා පවතින්න ප‍්‍රධාන නළු නිළියෝ කියලා හිතනව නම් ඒක වැරදියි. ඒ වගේ ඉන්න අනුශාංගික රංගනශිල්පීන් නිසා තමයි නිර්මාණවල සාර්ථකත්වය රැුඳිලා තියෙන්නේ. ඉතින් රඟපාන්න ආසාවෙන් ඉන්න කට්ටිය ඉන්න පුළුවන්, මම උස නෑ. ලස්සන නෑ. කැතයි, මහතයි ඒවගේ හිතලා. නමුත් රඟපාන්න ගත්තම විවිධ විදියෙ චරිත තියෙනවනෙ. ටෙලිනාට්‍ය, වේදිකා නාට්‍ය, චිත‍්‍රපට මොනදේ ගත්තත් ඉතා කඩවසම්, මනා දැනුමක් තිබෙන, රූප ස්වාභාවයක් තියෙන, දිග කොණ්ඩයක්, ලස්සන ඇස් තියෙන නළු නිළියොම නෙමෙයි ඉන්නෙ මේ චරිතවල.

එමගින් බිහිවන ශිල්පීන්ගේ ඉදිරි ගමන් මඟත් ඔබ විසින්ම සකස් කර දෙනවාද?

මෙහෙමයි, දක්ෂතා අනුව අපි හඳුන්වාදීම් කරනවා. රංගන වරම් තියෙනවා. නමුත් එය දක්ෂතා අනුව සිද්ධ වෙන්නෙ. අද අපිට දකින්න තියෙනවා ටෙලි නිර්මාණ සහ චිත‍්‍රපටවලට රංගන ශිල්පීන් තෝරාගන්නවා කියලා. ඒගොල්ලන්ගෙන්ම මුදල් අය කරන පුංචි පුංචි ජාවාරම් ඒ වගේ වෙළඳ දැන්වීම් පවා පුවත්පත්වල දකින්න තියෙනවා. කෙසේ නමුත් අපට පුළුවන් අශ්වයාව වතුර ළඟට ගෙනියන්න විතරයි. වතුර බොන එක තියෙන්නෙ අශ්වයා ළඟ.

මීට අමතරව මොනවද අලූත් වැඩකටයුතු?

සිරස නාළිකාවෙ විකාශය වන මෙඩි සිනා ,, හරහා දකින්න ඉන්නවා. ඊට අමතරව ජය ප‍්‍රකාශ් ශිවගුරුනාදන් මහත්මයාගේ රාජයෝගය ටෙලිනාට්‍යයෙත් හංස දඩයම ටෙලිනාට්‍යයේත්, සමන් කුමාර ලියනගේ මහත්මයාගේ පිච්ච මල සුවඳයි ටෙලිනාට්‍යයෙත් රංගනයෙන් දායක වෙනවා. ඒත් එක්කම මම රඟන චිත‍්‍රපට දෙකකුත් තිරගත වෙන්න නියමිතයි.

ඒ අතරින් විවිධාකාර චරිතවලින් ඔබ දකින්න ඉන්නවාද?

ඔව්. එකම රාමුවකට කොටුවෙලා නෑ. විවිධාකාර චරිතවලින් දකින්න ඉන්නවා.

අද ටෙලිනාට්‍ය ක්ෂේත‍්‍රය ගැන දකින විදිය ගැන කතා කළොත්?

අද නිර්මාණවල ලොකු අර්බුදයක් වෙලා තියෙනවා. මොකද නාළිකාවල ප‍්‍රමුඛ වෙලාවල විකාශය කෙරෙන්නේ ඉන්දියානු නාට්‍ය. මේ ඉන්දියාවෙ පුංචි කොදෙව්වක්ද කියලත් හිතෙනවා. මේක ඇත්තටම ලොකු ජාතික අර්බුදයක්. මේ වෙනුවෙන් ජාතික මට්ටමේ ප‍්‍රතිපත්තියක් මිසක් පිළියමක් යොදන්න බෑ. අපි සම්බන්ධ වුණු නිර්මාණත් ගොඩක් තියෙනවා. ඒත් මිනිස්සුන්ට ඒවා කොයි මොහොතෙ දකින් ලැබෙයිද කියලා දන්නෙ නෑ. මෙහි ක‍්‍රමවේදයක් හැදුවෙ නැත්නම් අපිට කලාවක් ඉතිරි වෙන එකක් නෑ.

මේ දිනවල වේදිකාවෙ වැඩ මොනවද?

වේදිකාවෙ නම් ‘ලෝරන්ස්ගේ මනමාලි’ හරහාත් මම අධ්‍යක්ෂණය කරපු ‘ජෝඩු ජෝඩු’ හරහාත් දකින්න ඉන්නවා.

මේ දේවල් එක්ක ජීවිතේ ගෙවෙන්නෙ කොහොමද?

ජීවිතේ සාමාන්‍ය අයුරින් ගතවෙනවා. ලොකු දේවල් නෑ. වැඩත් එක්ක කාර්යබහුලයි. මට පුතෙක් ඉන්නවා. පුතාට හොඳට උගන්වන එක තමයි ජීවිතේ තියෙන ලොකුම බලාපොරොත්තුව.

රටක් ආදරය කරන රංගනශිල්පියෙක් වීම ගැන මොකද හිතෙන්නෙ?

රංගනශිල්පියෙක් වීම ගැන සතුටුයි. රංගනය කියන විෂයට මැරෙනකම් ආදරය කරනවා. නමුත් මේ රටේ රංගන ක්ෂේත‍්‍රයට වෙලාතියෙන දේ ගැන නම් විශාල කලකිරීමක් තියෙනවා. මොකද මේ පිළිබඳ සුරක්ෂිතභාවයක් නෑ. රංගනශිල්පය කියන එක ස්ථීර රැකියාවක් විදියට පිළිගන්නෙ නෑ.

රංගනශිල්පියෙකුට බැංකුවකින් ලෝන් එකක් ගන්න අමාරුයි. ඒ වගේ අර්බුද නම් රාශියක් තියෙනවා. ඒ ගැන නම් ලොකු කණගාටුවක් තියෙන්නේ.