gossip lanka

අයුතු යෝජනාත් මට ආවා – ඒ වුණාට මම කැමති වුණේ නැහැ

සිඳු නාට්‍යයට අමතරව මොනවද අලුත් වැඩ කටයුතු?
උත්තම පුරුෂ, කන්තෝරු මොරු කියන ටෙලි නාට්‍යවලට රංගනයෙන් දායක වෙනවා. ඊට අමතරව හිරු මෙගා ස්ටාර්වලට සම්බන්ධ වෙලා ඉන්නවා.

වසර කීයකට පස්සෙද ආපහු නටන්න ගත්තේ?
වසර පහළොවකට පස්සෙ තමයි ආපහු නටන්න ගියේ. ලොකු කාලයක් නර්තනයට විරාමයක් දීලා
හිටියා. දැන් ආපහු නටනවා. මොකද මම කලා ක්ෂේත්‍රයට එකතු වුණේ නර්තන ශිල්පිනියක් විදිහට. ආපහු ජීවිතේ මුලට ගියා වගේ දැනෙනවා.

කොහොමද සිඳු නාට්‍යයට ලැබෙන ප්‍රතිචාර?
එදා වගේම අදත් හොඳ ප්‍රතිචාර ලැබෙනවා. සිඳු හි මට ලැබුණේ වෙනස්ම චරිතයක්. මමත් ඒ චරිතයට ගොඩක් කැමැතියි.

දීර්ඝ ටෙලි නාට්‍යවලට රංගනයෙන් දායක වීම වෙහෙසකර නැද්ද?
මම වැඩ ගොඩක් භාරගෙන කරන කෙනෙක් ‍නෙවෙයි. දුවගේ වැඩත් එක්ක හැමදේම භාරගන්නෙ නැහැ. හැමදේම සමබරව කරගෙන යන්න තමයි බලන්නෙ. එක පැත්තකින් මෙගාවලට රංගනයෙන් දායක වීම ආර්ථික පැත්තෙන් වාසියි. සමහර වෙලාවට චරිතවලට ‍පොඩි හරි හානියක් වෙනවා කියලා හිතෙනවා.

සිනමාවේ දකින්න නොලැබෙන්නේ ආරාධනා නොලැබෙන නිසාද?
ළඟදි නම් සම්බන්ධ වුණේ නැහැ. චිත්‍රපට කිහිපයකට කතා කළා. ඒත් මට ගැළපෙන්නෙ නැති චරිත ලැබුණහම මම රඟපාන්න යන්නෙ නැහැ.

ලැබෙන හැම චරිතයක්ම භාරගන්නවාද?
නැහැ. ගොඩක් තෝරලා බේරලා තමයි මම චරිත භාරගන්නේ. වෘත්තියෙන් රංගන ශිල්පිනියක් තමයි. සල්ලිත් ඕන. ඒත් මම දුවෙක් ඉන්න අම්මා කෙනෙක් නිසා හැම චරිතයක්ම තෝරලා බේරලා තමයි රඟපාන්නේ.

රොෂානාගේ ජීවිතේ වෙනසක් වෙන්න යනවා කියන්නෙ ඇත්තද?
ඔව්. වෙනසක් වෙන්න යනවා. ඒ ගැන විස්තර පස්සෙ කියන්නම්.

ඒ කියන්නෙ ළඟදිම රොෂානා විවාහ වෙනවා කියන එකද?
තවම ඒ විස්තර කියන්න බැහැ. ඒත් ජීවිතේ ආපහු අලුත්වෙලා කියලා දැනෙනවා. හැමදාම තනියම ඉන්නත් බැහැනේ.

ජීවිතේ මගහැරුණු දේවල් ගැන මොකද හිතන්නේ?
කාලයක් හිතුණා ඇයි මටම මෙහෙම වෙන්නේ කියලා. ඒත් දැන් මට හිතෙනවා හැමදේම වෙන්නෙ හොඳට කියලා.
මොකද අද මම ගොඩක් සතුටින් ඉන්නවා.

වැඩිය මාධ්‍යයේ පේන්න නැත්තේ ඇයි?
මම ගොඩක් උත්සවවලට සහභාගි වෙන්නෙ නැහැ. ක්ෂේත්‍රයට ආපු දවසෙ ඉඳන්ම මම එහෙමයි. සාමාන්‍ය විදිහට ජීවත් වෙන කෙනෙක් නිසා මම කැමති ගෙදරට වෙලා ඉන්න.

විලාසිතා තෝරා බේරා ගන්නෙ කොහොමද?
ඉස්සර නම් ගොඩක් විලාසිතා කළා. කොටට ඇන්දා. දැන් දුව තමයි ඇඳුම් තෝරලා දෙන්නේ. මෝස්තර නිරූපිකාවක් ලෙස මම වැඩ කළා. දුව නිසා හොඳට තෝරලා බේරලා ඇඳුම් අඳින්නේ. මම කැමති මට පහසු විදිහට අඳින්න.

කලාවට දුවගේ තියෙන කැමැත්ත මොන වගේද?
දුව තමයි මගේ ලොකුම හයිය. එයා තමයි මගේ නිර්මාණවල ගුණදොස් කියන්නේ. මොකද ‍පොඩි කා‍ලේ ඉඳන්ම එයා මාත් එක්ක ගොඩක් දුක් වින්දා. ඒ කා‍ලේ අපට ගොඩක් ප්‍රශ්න තිබුණා. දුව කැමති නිවේදනයට, හඬ කැවීම් අංශයට.
නමුත් එයාගේ වැඩි නැඹුරුවක් තියෙන්නේ දේශපාලනයට.

දුවත් එක්ක තනියම ජීවත් වෙද්දි මොන වගේ අභියෝගයක්ද ආවේ?
මිනිස්සු නිතරම බලන්නෙ වැරදි විදිහට. අපි නිතරම හොඳට ඉන්නවා නම් අපිට ප්‍රශ්නයක් නැහැ. නිතරම මම කියන්නෙ කාටවත් ඇඟිල්ල දික් කරන්න බැරි විදිහට ඉන්න කියලා. ඒ විදිහට අපි ඉන්නවා. මැරෙනකම්ම ජීවිතය අභියෝගයක්. මම දුවට ගොඩක් ආදරෙයි. එයා තමයි මගේ ලෝකේ. නිතරම සතුටින් ඉන්නයි අපි උත්සාහ කරන්නේ.

දුකක් දැනුනහම මොකද කරන්නේ?
අඬනවා දුක නැතිවෙනකම්ම. දැන් නම් දුක දැනිලා දැනිලම ඒ දේ ගාණක් නැහැ.

විවාහ යෝජනා ආවා කියන්නෙ ඇත්තද?
ගොඩක් යෝජනා ආවා. ඒ වුණාට මම කැමති වුණේ නැහැ. අයුතු යෝජනාත් ඒ අතරේ මට ආවා. සමහර අය හිතන් ඉන්නේ සල්ලි පෙන්නුවහම අපි ඒ වගේ යෝජනාවලට කැමති වෙයි කියලා. තනියම ඉන්න ගැහැනු අයට ප්‍රශ්න වැඩියිනේ. රංගන ශිල්පිනියක් ලෙස ලංකාවේ ගොඩක් දෙනා බලන්නෙ වැරදි විදිහට. ඒක මේ ලංකාවෙ හැටි.

තිළිණි කරුණාරත්න


gossip lanka