ඒ සුන්දර කාලය මම ගතකළේ හරිම පරිස්සමින්

බෞද්ධයකු ලෙස බෞද්ධ දර්ශනයෙන් රොබින් තම ජීවිතයට එක් කරගත් ගුණාංග බොහොමයකි. කිසිවිටෙකත් ඔහු කාගෙවත් හිත නොරිදයි. රොබින්ගේ අසනීප තත්ත්වය නිසා කොපමණ ශාරීරික පීඩා ගෙනදුන්නද ඔහු තම බිරියට හෝ දරු මුණුපුරෙකුට හෝ වචනයකින්වත් සිත් රිදීමක් නොකරයි.

නිස්කලංකව සැනැසිල්ලේ ගලා යන ජීවිතය ඔහුට අස්වැසිල්ලකි. ඒ සියල්ල දෙස අද ඔහු බලා සිටින්නේ ද ජීවිතයේ සියලු සැපදුක විඳ දරාගන්නේ ද බොහොම උපේක්ෂා සහගතවය. ඒ අතර ගෙවී ගිය
අතීතයට මොහොතක් හැරී බලත්දී ඔහුට දැනෙන්නේ අපමණ සතුටකි. ඒ අතර දුක්වේදනා ද අනන්ත අප්‍රමාණ කැපකිරීම් ද නැතුවා නොවේ. දශක හයකට හතකට ආසන්න කාලයක් සිංහල සිනමාව තම දහදියෙන්, මහන්සියෙන්, කඳුළින්, ලෙයින් ගොඩනඟන්නට ඔහු ගත් වෙහෙස අපමණය.

රොබින් ප්‍රනාන්දු කවදත් සිනමාවට නැතිවම බැරි සොඳුරු සටන් නළුවා විය. 81 වැනි විය ගෙවුවද ඔහුගේ ප්‍රතාපවත් රූපකායෙහි, පෞරුෂයෙහි, කිසිදු අඩුවක් තවමත් දක්නට නැත. අද ඔහු නිස්කලංකව තම සැඳෑ සමය ගෙවමින් සිටියි. නාවින්නේ පිහිටි ඔහුගේ සොඳුරු කැදැල්ලට පසුගිය දිනෙක අපි ගොඩවැදුණේ රොබින් ප්‍රනාන්දු නම් සිංහල සිනමාවේ සටන් නළුවා ගේ නවතම තොරතුරු ඔබ වෙත ගෙන එන්නයි. දශක හත අටකට එපිට වූ ඒ සොඳුරු අතීත මතකය මගේ ඉල්ලීමට ඔහු මෙසේ ආවර්ජනය කරයි.

“මම කලා ලෝකෙට එක්වෙන්නේ අහම්බෙන්. සිනමාවේ මුල් අවදියේදී තමයි සිනමා නළුවෙක් විදිහට මම සිනමාවට ප්‍රවිශ්ඨ වෙන්නේ. රැකියාවක් කරමින් සිටි මම නළුවෙක් වුණු එක ගැන මට අද සතුටක් දැනෙනවා. රැකියාවෙන් ඉදිරියට ගියා නම් අද රොබින් ප්‍රනාන්දු චරිතය කලා ලෝකයේ නැහැ. කලාවට ප්‍රවිශ්ඨවීමට මට අත්වැලක් වුණේ මගේ පාසල කොටහේන සාන්ත බෙනඩික්ට් විද්‍යාලය හා මට සටන් කලාව ඉගැන්වූ ගුරුවරු.

මම පාසල් සමයේ හොඳ ජිම්නාස්ටික් ක්‍රීඩකයෙක්. සටන් කරන්න, ගිනි වළලු මතින් පනින්න, අඩි තිහ හතළිහක උසක සිට බිමට පනින්නට ඕනම හැකියාවක් මට තිබුණා. එනිසා සටන් නළුවෙක් විදිහට ඉතා කෙටි කලකින්ම සිනමාවේ නමක් හදාගන්න මට හැකිවුණා.” රොබින් තමා සිනමාවට එක්වූ ඒ අතීතය සිහිපත් කරන්නේ සතුටිනි. ඒ අතර අදටත් කලා ලෝකයෙන් රංගනය උදෙසා ඔහුට ඇරැයුම් ලැබේ.

“දැන්නම් ඉතින් කලා කටයුතු කෙරුවා ඇති. ටෙලිනාට්‍ය, චිත්‍රපට වගේම අනෙකුත් කලා කටයුතුවලට නිතරම මට ආරාධනා නොඑනවා නෙමෙයි. ඒ හැමදේම මම ඉතා ආදරයෙන් ප්‍රතික්ෂේප කරනවා. මට ඇත්තවශයෙන්ම කලා කටයුත්තක නිරතවෙන්න තරම් සනීපයක් නැහැ. ටෙලිනාට්‍යයකට වුණත් දායක වෙන්න අමාරුයි. (ඔයාටත් පෙනෙනවා ඇති මම කතාකරත්දි වුණත් වචන කැඩි කැඩී එන්නේ. රොබින් අයියා පවසයි) ඉතින් කලා නිර්මාණයක් කියන්නේ සමාජයට පෙන්වන දෙයක්. එනිසා එවැනි දේකට යොමුවීම අපහසුයි.” තමා අද මුහුණ පා සිටින අසනීප තත්ත්වය ගැන රොබින් පවසන්නේ එලෙසයි.

“දැන් මට අවුරුදු 81 ක් ඉවරයි.” නිරහංකාර සිනාවක් ඒ මුහුණ පුරා ඇඳී යයි.

“ගෙදරටම වෙලා ඉන්නවා ඇරෙන්න කිසිම දෙයක් කරන්නේ නැහැ. සටන් කරන්නට ගිහින් තැන තැන ඔළුව, අතපය වැදීමේ ප්‍රතිඵල තමයි මේ.” වෙව්ලන දෑත් පෙන්වමින් රොබින් පවසන්නේ තරමක වේදනාවකිනි.

“ඔළුව අතපය වැදීම නිසා ඇතිවුණු ස්නායු දුර්වලතාවයේ ගැටලුවක් හේතුවෙන් තමයි මට මේ අසනීප තත්ත්වය උදාවෙලා තියෙන්නේ. මට ප්‍රතිකාර කරන වෛද්‍යවරු පවසන්නේ එලෙසයි. ඒ කාලේ අඩි 40 ක් 50 ක් පමණ උඩ ඉඳලා සටන් ජවනිකාවකදී බිමට පණිනවා. ඒ හේතුවත්, සටන් කරන්න ගියහම ප්‍රතිවාදියාගෙන් වදින පහරවල් ඇඟට වැදීමත් තමයි ගොඩක් ස්නායු දුර්වලතාවයට බලපාලා තියෙන්නේ. අනෙක පැදගෙන යන වාහන වලින් පනිනවා. ඒ වගේ තාත්වික ත්‍රාසජනක දර්ශන තමයි එදා අපි රඟපෑවේ. ඒ වායේ ප්‍රතිඵල තමයි මේ.” ඔහු ඒ සියල්ල උපේක්ෂා සහගතව විඳගනිමින් මා දෙස බලා සිනාසෙයි.

සිනමාවේ සුන්දරතම සටන් නළුවා ඔබ. මොකද හිතන්නේ ඒ අතීතය ගැන. සිනමා දිවියේ සටන් නළු භූමිකාව දෙස ඔහු මොහොතක් හැරී බලන්නේ මගේ ඒ ඉල්ලීමට කන්දීය.

“හරිම සුන්දර කාලයක්. ඒත් ඒ සුන්දර කාලය මම හරිම පරිස්සමෙන් තමයි ගතකළේ. සමහර වෙලාවට මම රඟපාපු චිත්‍රපට නැවත නැවත නරඹත්දී මටම හිතෙනවා මගේ ඔලුව අතගාලා බලන්න අං තියෙනවද කියලා. එතරම්ම විශාල ත්‍රාසජනක දේවල් මම කළේ. මගේ ජීවිතය පරදුවට තියලා නේද කියා හිතෙනවා. තාක්ෂණයෙන්, මැෂින් එකෙන් කරන්න, වෙනත් උපක්‍රම තියෙත්දී එදා අපි රඟපාන්න ජීවිතය පරදුවට තිබ්බා. ඒ ගැන පුංචි පශ්චත්තාපයක් තිබුණත් විශාල ලෙස කණගාටුවෙන්න දෙයක් නැහැ කියලා හිතෙනවා. ඒ ගැන මම කාටවත් දොස් කියන්නෙත් නැහැ.” කලාවෙන් තරමක් ඈත්ව සිටීම ඔහුට දුකක් වුවද ඔහුට සමීප සහෝදර කලාකරුවන් නිතර පැමිණ ඔහු සමඟ කාලය ගත කිරීම රොබින්ට සතුටකි.

“පසුගිය මාසෙක තමයි මගේ උපන්දිනය යෙදී තිබුණේ. එදා මගේ සමකාලීන සහෝදර නළු නිළියන් හැම දෙනාම වගේ මට සුබපතන්න මගේ නිවෙසට ආවා. රවීන්ද්‍ර, මාලනී, ක්ලීටස් නිතර ඇවිත් මගේ දුක සැප සොයා බලනවා. එය සතුටක්.” රොබින් තම සමකාලීන සහෝදර නළු නිළියන්ගෙන් ලැබෙන ආදරය ගැන එලෙස පවසයි. උදෑසනම අවධිවන රොබින් බුදුන් වඳින්නට අමතක නොකරයි. ඒ වගේම පින් දහම් කටයුතුවල නිරතවන්නටත් ඔහු කවදත් පෙරමුණ ගත් කලාකරුවෙකි. බුදු දහමට අනුව තම ජීවිතය හැඩගස්වා ගත් ඔහු සිදු කළ සහ සිදු කරන පුණ්‍යකර්ම පිළිබඳ අප අතින් ද ලියවුණු වාර අනන්තය. වසරක් පාසා දළදා හිමියනට දානයක් දෙන එකම සටන් නළුවා රොබින් විය හැකිය. පසුගිය මැයි මාසයේදීත් රොබින් තම පවුලේ සාමාජිකයින් හිතවතුන් මෙන්ම කලා ලොවේ සහෝදර නළු නිළියන් සමඟ මේ උතුම් පුණ්‍යකර්මයේ නිරත විය.

“කලාකාරයෙක් විදිහට නෙමෙයි බොදුණුවෙක් විදිහට මේ ලැබුණා වූ ජීවිතේ කුසල් වඩන්නට මම කැමැතියි. අවුරුදු 25 ක් පුරා දළදා හිමියන්ට මම දහවල් දානය පිරිනමනවා. මෙවරත් මට එය සාර්ථකව ඉටුකරන්නට හැකිවුණා. එය මම ලැබූ උතුම් පිනක්. භාග්‍යයක් ලෙසයි මට හිතෙන්නේ. ඒ වගේම මගේ ජීවිත කාලයේ මම පන්සල් හදන්න උපකාර කළා. ඒ වගේම බුදු පිළිම වහන්සේලා පිරිනැමුවා. මේ දේවල් මම හරිම භක්තියකින් ඉටු කළ දේවල්. ඒ වගේම මම පුංචි අවධියේ ‘දෙරකඩඅස්න’ කියෙව්වා. එයට මම මස් මාළු නොකා පේ වුණු හැටි අදටත් මතකයි.”

බෞද්ධයකු ලෙස බෞද්ධ දර්ශනයෙන් රොබින් තම ජීවිතයට එක් කරගත් ගුණාංග බොහොමයකි. කිසිවිටෙකත් ඔහු කාගෙවත් හිත නොරිදයි. රොබින්ගේ අසනීප තත්ත්වය නිසා කොපමණ ශාරීරික පීඩා ගෙනදුන්නද ඔහු තම බිරියට හෝ දරු මුණුපුරෙකුට හෝ වචනයකින්වත් සිත් රිදීමක් නොකරයි. ඒ බව අප සමඟ පැවැසුවේ රොබින්ගේ හෙවණැල්ල මෙන් සිටින ආදරණීය බිරියයි. ඒ ඔහු බොදුණුවෙකු ලෙස බුදු දහමෙන් ලැබූ ධර්මාවබෝධය නිසා යැයි සිතේ.

“මහත්තයා තවමත් ආසයි හවසට ඇවිදින්න යන්න. එයාව නිතරම වගේ බෙල්ලන්විල පන්සලට එක්කගෙන යනවා. මාසෙකට සැරයක් නම් අනිවාර්යයෙන්ම බෙල්ලන්විල යනවා.” ඈ පවසයි.

“අදටත් බෙල්ලන්විල පන්සලට ගියාම පංගුවක් රසිකයන් මාව වටකරගෙන කතා කරනවා. ඒ අතර සමහර උපාසක අම්මලා අතීතය මතක් කරනවා. මගේ ෆොටෝ ඒ අයගේ පොත්වල දාගෙන ඉඳල ගෙවල්වලින් ගුටිකාපු හැටිත් මට කියලා හිනාවෙනවා. ඒ වගේ සුන්දර කතා මට නිතර ඇහෙනවා.” රොබින් ද විටින් විට කතා බහට එක් වෙමින් පවසයි.

අපේ කතාබහ අතරතුරදී සටන් නළුවන් වෙනුවෙන් සංවිධානය කරන්නට යන සංගමය පිළිබඳව ද රොබින්ගෙන් මම විමසා සිටියා.

“සටන් නළුවන් වෙනුවෙන් යම් වැඩපිළවෙළක් සකස් කරන්නට අවශ්‍ය බව මම පැවැසුවේ මීට වසර පහළොවකට විස්සකට උඩදියි. ඒත් ඒකාලයේ මම කළ යෝජනාව කවුරුත් ගණන් ගත්තේ නැහැ. කාටවත් සටන් කලාව වෙනුවෙන් ඒ ශිල්පීන් වෙනුවෙන් යම් දියුණුවක් ඇති කරන්න ඕනාකමක් තිබ්බේ නැහැ. අද සටන් නළුවන් වෙනුවෙන් යමක් කරන්න කට්ටිය ඉදිරිපත් වෙලා. ඒත් මම කල්පනා කරන්නේ මේ අසනීප තත්ත්වයත් එක්ක කර්මාන්තය දියුණු කරන්න කොහොමද මම යන්නේ කියලයි. ඇත්තටම එදා සටන් නළුවන්ට ආරක්ෂාවක් කියලා දෙයක් තිබුණෙම නැහැ. සටන් කරන්න ගිහිල්ලා වැටිලා කොඳු බිඳගත්ත නළුවො අවුරුදු පහළොවක් විස්සක් තිස්සේ තවමත් එක්තැන්වෙලා ඉන්නවා. එය ඛේදවාචකයක්. මෙවැනි සටන් නළුවන් වෙනුවෙන් සංගමයක් ඇති වුණොත් එය සටන් නළුවන්ගේ ඉදිරිගමනට හොඳයි. ආරක්ෂිතයි.”

දශක ගණනක් පුරාවට සටන් නළුවකු ලෙස සිනමාව පෝෂණය කළ ඔහු තම වෘත්තිය සගයන් වෙනුවෙන් යෙදෙන අඩිතාලම ගැන වඩාත් සතුටින්  කතා කරයි.

“මම චිත්‍රපට සියයකට වැඩි ගණනක සටන් අධ්‍යක්ෂක ලෙස කටයුතු කළා. නළු නිළියන්ට සටන් කලාව ඉගැන්වුවා. ඒ අපිරිමිත සතුට අදටත් මම හදවතින් විඳිනවා. අනෙක් අතට සිනමාව නිසා තමයි මට මගෙ ජීවිතයේ බොහෝ දේ ලැබුණේ. විශේෂයෙන්ම යන යන තැන මට ලැබෙන මගේ රසිකයින් ගේ ආදරය. එය ලබන්නට මම හුඟක් වාසනාවන්ත විය යුතුයි.” රොබින් නිර්ව්‍යාජව පවසයි.

ඔබේ අසනීප තත්ත්වයට ප්‍රතිකාර සඳහා සැලැකියයුතු මුදලක් වැය වෙනවා ඇති. රටට සිනමා නළුවෙකු ලෙස දිවිපරදුවට තබා සේවය කළ ප්‍රවීණ කලාකරුවෙක් විදිහට ඔබට ආණ්ඩුවෙන් හෝ වගකිවයුතු ආයතනයකින් සහයෝගයක් ලැබෙන්නේ නැත්ද? මම ඇසූ ප්‍රශ්නයට රොබින් පිළිතුරු දුන්නේ තරමක් කල්පනාකරමින් සිටයි.

“ඒ වෙනුවෙන් සැලකියයුතු මුදලක් මාස්පතා වියදම් වෙනවා නම් තමයි. කලාකරුවන් වුණාම ගිහිල්ලා මට අසනීපයි කියා කියන්න බැහැ. එය සුදුසු නැහැ. නමුත් රටට සිනමාවට සේවයක් කළ කලාකරුවන් වෙනුවෙන් ඒ දේවල් සිදුකරන එක වගකිවයුත්තන්ගේ යුතුකමක්.” රොබින් කිසිවකුට ඇඟිල්ල දිගු නොකරයි.

“මගේ බිරිය, පුතා, දුව, ඔවුන්ගේ දරුවන් වගේම මගේ ඥාති පුතුන් මට සලකනවා. මගේ බිරිය එදා වගේම අදත් මගේ සෙවණැල්ල වගේ ළඟින්ම ඉන්නවා. අපි දෙදෙනා එකම වගේ. ප්‍රේම සබඳතාවයකින් විවාහ වුණේ. අදටත් ඒ ආදරේ වෙනසක් නැහැ. අපි දෙදෙනාම ලද දෙයින් සතුටු වෙලා බුදු දහමට අනුව ජීවිතයේ ඉතිරි කාලයත් ගෙවා දමන්නයි බලාපොරොත්තුව.”

අසූ එක්වැනි විය ගෙවුවද ඔහු තවමත් ප්‍රතාපවත්ය. ඒ දසුන කාගේත් නෙතට ප්‍රියය. ඔහුගේ සිනහව, පිළිවෙළකට පීරූ කොණ්ඩය, ගමන බිමන මේ හැම දෙයක්ම කියාපාන්නේ එදා අප දුටු සොඳුරුතම පෞර්ෂවත් සටන් නළුවා තවමත් ඔහු තුළ ජීවත්වන බවය.

චිරං ජයතු! සොඳුරු සටන් නළුවානෙනි.


gossip lanka