අංක එකේ කුඩු ජාවාරම්කරු, නවුෆර්ගේ නම එල්ලන ලයිස්තුවේ නෑ… ලොක්කො නිදහස් වෙද්දී ගෝලයෝ එල්ලන්න යයි…

එල්ලුම් ගහ ක්‍රියාත්මක වුවද රටේ අංක එකේ මත්කුඩු ජාවාරම්කරු ලෙස ප්‍රසිද්ධියට පත්ව සිටින කුඩු නවුෆර් එල්ලුම් ගහෙන් බේරෙන බව කොළඹ විශ්වවිද්‍යාලයේ ජේ‍යෂ්ඨ කථිකාචාර්ය, හිටපු මානව හිමිකම් කොමසාරිස්, ආචාර්ය, නීතිඥ ප්‍රතිභා මහානාම හේවා මහතා  ප්‍රකාශ කළේය.

මත්කුඩු සම්බන්ධයෙන් මරණීය දණ්ඩනය නියම වී
සිරගතව සිටිමින් තවදුරටත් මත්කුඩු ව්‍යාපාරය මෙහෙයවනු ලබන සිරකරුවන්ට පමණක් මරණීය දණ්ඩණය ක්‍රියාත්මක කරන බව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ප්‍රකාශ කර තිබෙන බව ප්‍රතිභා මහානාම හේවා මහතා පෙන්වා දෙයි.

මත්කුඩු ජාවාරම්වලට එරෙහිව උපරිම දඬුවම් දෙන විනිශ්චයකාරවරයකු වශයෙන් හිටපු මහාධිකරණ විනිසුරු සරත් අඹේපිටිය මහතා ප්‍රසිද්ධියට පත්ව සිටි බවත් අඹේපිටිය මහතා ඝාතනය කිරීමට අනුබල දීම හා කුමන්ත්‍රණය කිරීමේ චෝදනාව යටතේ කුඩු නවුෆර්ට මරණීය දණ්ඩනය නියම වූ බවත් ප්‍රතිභා මහානාම හේවා මහතා ප්‍රකාශ කරයි.

මනුෂ්‍ය ඝාතනයක් සම්බන්ධයෙන් චෝදනා එල්ල වී සිටිනකුඩු නවුෆර් මේ අනුව එල්ලා මැරීමට සූදානම් වන ලැයිස්තුවට ඇතුළත් නොවන බවද ආචාර්ය ප්‍රතිභා මහානාම හේවා මහතා පෙන්වා දෙයි.

මීට අමතරව මත්කුඩු ජාවාරම් සම්බන්ධයෙන් මරණීය දණ්ඩනය නියම වී සිටින තිස් දෙනකු පමණ මේ වන විට අභියාචනා ගොනුකර තිබෙන නිසා ඔවුන්ගේ නම් එල්ලා මරණ ලැයිස්තුවට ඇතුළත් නොවන බවත් අභියාචනා ගොනු කිරීමට මුදල් නොමැති කිහිපදෙනකුගේ නම් පමණක් මෙම ලැයිස්තුවට ඇතුළත් වී තිබෙන බවත් ආචාර්ය ප්‍රතිභා මහානාම හේවා මහතා සඳහන් කරයි.

අභියාචනා ඉදිරිපත් කර ඇති සිරකරුවන් 30 දෙනකුගේ අභියාචනා විභාග කර අවසන් කිරීම සඳහා වසර 2025 වන තුරු බලා සිටීමට සිදුවන බවත් ඒ අනුව ඔවුන් එල්ලා මැරීමට නම් 2025 වනතුරු බලා සිටීමට සිදුව ඇති බවත් වැඩිදුරටත් අදහස් දැක්වූ ආචාර්ය ප්‍රතිභා මහානාම හේවා මහතා ප්‍රකාශ කළේය.

-මව්බිම


gossip lanka