"මට අවුරුදු තුනේදී කඩේ රස්සාවට ගියේ, දුම්කොළ කැපුවා. පුවක් කපන්න උදව් කළා..." - ප්‍රසන්නජිත් අබේසුරිය

ප්‍රසන්නජිත් අබේසුරිය කියන්නේ  දක්ෂ රංගන ශිල්පියෙක්. ඔහුගේ රංගන පරාසය වේදිකාව, විදි නාට්‍ය වගේම පුංචි තිරයේ සිනමාවේ ලැබුණා. මේ හැමදෙයක් එක්කම ඔහු දක්ෂ කථිකාචාර්යවරයෙක්. පුංචි කාලේ දුක් විදලා ජිවත් වුනු අතීතයේ සුන්දර තැන් ඔහු මේ විදිහට මතක් කරනවා.

මේ දවස්වල ප්‍රසන්නජිත් වැඩිය පුංචි තිරයෙන් දකින්න ලැබෙන්නෙ නැහැ. ඇයි ඒ?

ඔව්... මම මේ දවස්වල වැඩි කොටසක් සහ වැඩි කාලයක් ගත කරන්නෙ සෞන්දර්ය විශ්වවිද්‍යාලයේ වැඩ කටයුතුත් එක්කයි. වේදිකා නාට්‍ය නිෂ්පාදනයෙන්, වේදිකා නාට්‍ය රංගනයෙන් වේදිකාවත් එක්ක මගේ තිබුණු ගනුදෙනුවනම් තවමත් ඒ ආකාරයෙන්ම සිදුවෙනවා. නමුත් ඇත්තම කිව්වොත් කාලයක් තිස්සෙම ටෙලිනාට්‍යවලනම් මම රඟපෑවේ නෑ. රඟපෑම මගේ ජීවිතේ. ඒ ජීවිතෙන් ඇඟේ පණ තියෙනකම් මගෙන් අයින්වෙන එකක් නැහැ. මම විශ්වවිද්‍යාලයට ඇවිත් කථිකාචාර්යවරයෙක් වුණා කියලා ඒ රඟපෑමෙන් මම අයින් වුණේ නෑ. මේ ලැබෙන සීමිත ඉඩකඩෙන් හෝ හොඳ නිර්මාණයකට දායක වෙන්නයි මම උත්සාහ දැරුවේ. නමුත් අද යන මේ ටෙලිනාට්‍ය රැල්ලට මම කැමති නෑ. හිතට එකඟ නොවන ටෙලිනාට්‍යවලට සම්බන්ධවෙලා මේ දරුවන් ඉදිරියේ කොන්ද කෙළින් තියාගෙන කථිකාචාර්යවරයෙක් විදිහට මට වැඩ කරන්න බැහැ. ඒ නිසා ලැබුණු බොහෝ ආරාධනා මම ප්‍රතික්ෂේප කළා.

ඔබේ පවුලේ කලාවට සම්බන්ධකමක් තියෙනවද...?
නැහැ... මගේ පුවලේ කිසිම කෙනෙක් මේ ප්‍රසිද්ධ කලාවට සම්බන්ධකමක් තිබුණේ නැහැ. මගේ ගම වැල්ලම්පිටිය. අම්මගේ පුංචිඅම්මට දුවලා හයදෙනෙක් හිටියා. ඒ හයදෙනාම හය විදිහක්. ඒ අය නාට්‍ය බලන්න ගියා. කලාවට හරි ආදරෙයි. ඒ සමහරු සංගීතයට හරි කැමතියි. සංගීතය ඉගෙන ගත්තා. එක අක්කා කෙනෙක් ඉස්සර පත්තරවලට කවි ලිව්වා. මම නිතරම දැක්කේ මේ අක්කලා හයදෙනාගේ කලා හැකියාවන් තමයි. ඒ වගේම අපේ අම්මගේ පුංචිඅම්මගේ මහත්තයා හොඳ ජ්‍යොතිෂවේදියෙක් සහ හොඳ තොවිල් නැට්ටුවෙක්. අපිත් ඒ කාලේ ආච්චිලාගේ වත්තෙම ගෙයක් හදාගෙන තමයි හිටියෙ. ඉතින් මේ සුමනදාස සීයා මාසයකට දෙකක් ඔය ලොකු වත්තේ ලොකු තොවිල් නැටුවා. මම නොදැනුවත්වම කලාවට ආස කළේ එතැනින් කියලයි අද මම හිතන්නෙ. මම ඒ තොවිල් බලන්න ආස කළා. ඒවා බැලුවා. ඒවාට උදව් කළා. ඒවායින් මම ලොකු ආස්වාදයක් ලැබුවා. ඔය අතරේ පුංචිඅම්මගේ දරුවන් එක්ක නාට්‍ය බලන්න ගියා. චිත්‍රපට බලන්න ගියා. ඒවා බලලා අපි ඒවා ගැන කතාබහ කළා. ඒ ඇසුර මට මගේ නාට්‍ය ජීවිතය ආරම්භ කරන්න ලොකු හයියක් වුණා.

ප්‍රසන්නජිත් පුංචි කාලේ දඟයිද..?
නැහැ. අපේ අම්මා කියන විදිහට අපේ ගෙදරින් කිසිම කරදරයක් නැති දඟ නැති එකා මමයි. මගේ පවුලේ නවදෙනෙක් ඉන්නවා. මම පවුලේ හයවැනියා.

ඉගෙන ගත්තෙ මොන පාසලේද...?
වැල්ලම්පිටිය විද්‍යාවීර විද්‍යාලයෙන් තමයි මම ඉගෙන ගත්තෙ. අපේ අම්මටයි තාත්තටයි වැල්ලම්පිටිය හන්දියේම පොඩි කඩයක් තිබුණා. ඒක තිබුණේ අපේ ඉස්කෝලෙ ඉස්සරහමයි. අම්මලාට අපි ගැන හිතන්න ලොකු වෙලාවක් තිබුණේ නෑ. ඒ දෙන්නම කඩේ වැඩ කළා. ඉතින් අපේ ජීවිතත් කඩෙත් එක්කම තමයි ගෙවුණේ. මට මතක විදිහට මම මුලින්ම මට අවුරුදු තුනේදී කඩේ රස්සාව කළා. දුම්කොළ කැපුවා. පුවක් කපන්න උදව් කළා. ඒවාත් එක්ක අපේ පුංචි කාලේ ගෙවුණා. ඒකට සමහරදාට තාත්තා පොඩි ලොසිංජරයක් දුන්නා. ඒකත් ලොකු දෙයක්නෙ. එහෙම නැතිව සුන්දර ළමා කාලයක් අපිට තිබුණේ නැහැ. දඟද කියලා බලන්නවත් දඟ කරන්න කාලයක් අපිට තිබුණේ නෑ. ඉස්කෝලෙන් කඩයට, කඩෙන් ඉස්කෝලෙට වගේ ගෙවුණු කාලයක් තමයි අපිට තිබුණේ. ඔය ඉඳලා හිටලා ඇඳිරිනීතිය කාලයේදී කඩේ වැහුවොත්නම් ගෙදර ඉන්න, වත්තෙ ඉන්න අයත් එක්ක දඟලන්න සෙල්ලම් කරන්න අවස්ථාව ලැබුණා.

ඉස්කෝලෙදීත් බාහිර ක්‍රියාකාරකම්වලට යොමුවුණේ නැද්ද...?
නැහැනෙ... ඉස්කෝලෙ තිබුණේ කඩේ ඉස්සරහමයි. ඉතින් උදේ කඩේ තිබුණු එළවළු එහෙම අස්කරමින් ඉඳිද්දී තමයි උදේට ඉස්කෝලෙ බෙල් එක වදිනවා ඇහෙන්නෙ. ඉතින් පයිප්පෙන් ආයෙත් පොඩ්ඩක් මූණ කට හෝදගෙන පොත් ටිකත් අරගෙන ඉස්කෝලෙ දිව්වා. ඉතින් සමහරදාට ඉස්කෝලෙ ඇරෙන්නත් කලින් තාත්තා ඉස්කෝලෙට ඇවිත් පන්තියෙ ඉන්න ටීචර්ලට කියලා කඩේ වැඩවලට ඇදගෙන ගියා. අපේ කඩේට එළවළු එහෙම ගෙනාවේ පිට පළාත්වලින්. ඉතින් වැස්ස කාලවලදී එළවළු විකුණගන්න බැරිවෙද්දී අපේ තාත්තා කරත්තෙක එළවළු ටික පටවාගෙන ගෙවල් ගාණේ ගිහින් එළවළු වික්කා. ඒ කාලේ කරත්තයක දවසක කුලිය රුපියල් දහයයි. ඉතින් සමහරදාට මටයි අයියා කෙනෙක්ටයි එළවළු පටවපු කරත්තෙ දීලා “මේ ටික විකුණගෙන එන්න” කියලා කියනවා. ඒ කාලේ ඉස්කෝලෙ ළමයි පවා අපි ගෙවල් ගාණේ කරත්තෙන් බඩු විකුණන්න යනවා දැක්කා. එළවළු ගොඩගහගෙන කඩේ ඉස්සරහ තිබුණු පයිප්පයෙන් හෝදනවා පවා ඒ ළමයි දැක්කා. හැබැයි ඒක ඒ අයට ගාණකුත් නෑ. අපිට ගාණකුත් නෑ. කවුරුවත් අපිට විහිළු කළෙත් නෑ. කවදාවත් අපිට ඒවා ලජ්ජා වුණෙත් නෑ. එහෙම වෙළෙදාම් කරලා පවා අපි අපේ අධ්‍යාපනයට අවශ්‍ය පොත්පත් සල්ලි දීලා ගත්තා. කවදාවත් අම්මට තාත්තට බරක් වුණේ නෑ. සමහරදාට අපේ අම්මා මට ලොකු අච්චාරු බේසමක් හදලා දුන්නා. ඉතින් ඉස්කෝලෙ ළඟ තියාගෙන කැන්ද කොළේට දාලා අපි ඒ අච්චාරු විකුණුවා. මගේ අක්කලා ඔය කැවිලි එහෙම හදලා දුන්නාම අපි ඒවාත් අපේ ඉස්කෝලෙ කැන්ටිමට දාලා විකුණුවා. පවුලේ නවදෙනෙක් ඉඳිද්දී අපි අපේ වියදම කොහොමහරි හොයාගත්තා.

පාසලේදී කලාවට සම්බන්ධ වුණේම නැද්ද...?
පුංචිගේ දුවලා බලපු කොළඹ හැටේ දශකයේ ඉඳන් තිබුණු හොඳ වේදිකා නාට්‍ය සියල්ලම වගේ මට බලන්න අවස්ථාව ලැබුණා. මූදු පුත්තු, නරිබෑනා, ගජමන් පුවත, රතු හැට්ටකාරි, සුභ සහ යස වගේ ඒ කාලේ බිහිවෙච්ච හොඳ නිර්මාණවල මුල් නිෂ්පාදනම මම දැක්කා. මම මුලින්ම (නරිබෑනා) නාට්‍ය තමයි බැලුවේ. එතකොට මම අවුරුදු පහක විතර ළමයෙක්. පුංචි අම්මලාගේ තනියට තමයි මාව ඒ කාලේ අරගෙනත් ගියේ. ඊටපස්සෙ (මූදු පුත්තු) නාට්‍ය බැලුවා. ඒ රසිකත්වය ඒ ආසාව නිසාම මම පාසල් කාලෙදීත් ඔය එක එක විවිධ ප්‍රසංගවල රඟපෑවා. ගමේ තිබුණු වෙසක් නාට්‍යවල පවා මම රඟපෑවා. කේ. සැම්සන් අල්විස් වැනි වෙසක් නාට්‍යවේදීන්ගේ වෙසක් නාට්‍යවලට මමත් සම්බන්ධ වුණා. ඒ කාලේ ගමේ හැමෝම කැට එකතු කළා. පුවක් කොට කපලා හදපු වේදිකාවක තමයි අපි වේදිකා නාට්‍ය පෙන්නුවේ. ඒවා හරි සුන්දර අත්දැකීම්. ඔය කාලෙදී අන්තර් පාසල් නාට්‍ය තරගයේදී මම නාට්‍යයක් හදලා ඉදිරිපත් කළා. ඒ නාට්‍ය තරගයෙන් මම හොඳම නළුවා වුණා. ඔය නාට්‍ය නිසා මට සිරිතුංග පෙරේරා මහතාව මුණගැහුණා. ඔහු මට ඔහුගේ නාට්‍යවල වේදිකා පරිපාලක ලෙස කටයුතු කරන්න අවස්ථාව දුන්නා. එතකොට මගේ වයස අවුරුදු දොළහක් විතර ඇති. කාලයක් ගියාට පස්සෙ මම වීදි නාට්‍ය කණ්ඩායමකටත් එකතු වුණා. එතැනින් තමයි විනෝදයට, ආසාවට කලාව කරපු මට නාට්‍ය කලාව ඉගෙනගෙන හොඳින් යමක් කරන්න ඕනෙ කියලා ආසාව ඇතිවුණේ. ඒ වෙනකොට මම උසස් පෙළ හදාරන ශිෂ්‍යයෙක්. ඊටපස්සෙ මම නාට්‍ය කලාව ගැන බොහෝ දේවල් ඉගෙන ගත්තා.

ඔබ උසස් පෙළ හැදෑරුවේ විද්‍යා විෂයන්...?
ඔව්... ඒක ඇත්ත. හැබැයි නාට්‍යවල වැඩයි ඉස්කෝලෙ වැඩයි නිසාම උසස් පෙළ ඉහළින්ම සමත්වෙන්න මට අවස්ථාව ලැබුණේ නෑ. ඒ නිසා අපේ වීදි නාට්‍ය කණ්ඩායමේ හිටපු සරත් අමරවංශ කියන සාමාජිකයාගේ මාර්ගයෙන් ඇඟලුම් කර්මාන්ත ආයතනයක හොඳ වැටුපකට හොඳ රැකියාවක් කරන්න අවස්ථාව ලැබුණා. ඒ අතරේදීත් නාට්‍යවලට සම්බන්ධ වුණා.

රැකියාව කරන අතරතුරේදීමද ඔබේ පළමු වේදිකා නාට්‍ය නිෂ්පාදනය කරන්නෙ...?
එහි හොඳ වැටුපක් එක්ක හොඳ සුඛෝපභෝගී ජීවිතයක් ඒ කාලෙදී මට ගත කරන්න ලැබුණා. මේ නිසා මගේ පළමු නාට්‍ය නිෂ්පාදනය වුණු (දුග්ගන්නාරාළ) වේදිකා නාට්‍ය කළාට පස්සෙ බොහෝ සම්මාන හිමිවුණා. ඒ ලැබුණු ප්‍රතිචාරත්, මගේ ගුරුතුමී වූ සෝමලතා සුබසිංහ මහත්මියගේ මඟපෙන්වීමත් මත මට උපාධියක් ගන්න ඕනවුණා. ඒ නිසා ඒලෙවල් කරලා අවුරුදු දහතුනකට පස්සෙ මම රැකියාවෙනුත් අයින්වෙලා ආයෙමත් ඒලෙවල් කළා. මම උසස් පෙළ ඒ වතාවේ කළේ කලා විෂයෙනුයි. ඒකෙන් මට හොඳ ප්‍රතිඵල ලැබිලා විශ්වවිද්‍යාලයට තේරුණා.

ඒ වෙනකොට ඔබ විවාහවෙලයි හිටියෙ...?
ඔව්.. විවාහවෙලා විතරක් නෙමේ.. අපිට ලොකු පුතාත් හම්බවෙලයි හිටියෙ. දරුවා ලැබුණට පස්සෙ තමයි මම විශ්වවිද්‍යාලයට ගියේ. හැබැයි කිසිම ප්‍රශ්නයක් වුණේ නෑ. මම හිටපු නාට්‍යවල රඟපාපු මටත් වඩා වයසින් බාල, සමහර වෙලාවට මමත් උගන්වපු අයගෙන් පවා විශ්වවිද්‍යාලයට ආවට පස්සෙ මට ඉගෙන ගන්න සිද්ධවුණා. හැබැයි කවදාවත් ඒක මට ප්‍රශ්නයක් වුණේ නෑ. මට කැලණි විශ්වවිද්‍යාලයෙන් ඉගෙනගෙන මුලින්ම ඒ විශ්වවිද්‍යාලයේම උගන්වන්න ලැබුණා. ඊටපස්සෙ මම ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ නාට්‍ය හා රංග කලාව සම්බන්ධ ශාස්ත්‍රපති උපාධියත් ගත්තා. ඒවායේ ප්‍රතිඵලයක් විදිහට අද මම සෞන්දර්ය විශ්වවිද්‍යාලයේ කථිකාචාර්යවරයෙකු විදිහට කටයුතු කරනවා.

ප්‍රසන්නජිත්ගේ ජීවිතයට සම්බන්ධ වුණු ඇයත් කලාවට සම්බන්ධ කෙනෙක් නේද...?
ඔව්.. අපි දෙන්නා මුණගැහුණෙත් සංස්කෘතික දෙපාර්තමේන්තුවෙන් පවත්වපු පූර්ණකාලීන එක් අවුරුද්දක පාඨමාලාවකදීයි. නයනා ඇතුළු කණ්ඩායමක් ඒකෙ මුල් කණ්ඩායම විදිහට පත්වුණා. ඒ වෙද්දී මම ඇඟලුම් ක්ෂේත්‍රයේ රස්සාව කරන කාලේ. දෙවැනි කණ්ඩායමට මමත් එකතු වුණා. ඉතින් අපි දෙන්නම සෝමලතා මිස්ගෙ නාට්‍යවලටත් සම්බන්ධ වුණා. එතැනදී අපි දෙන්නා දැනහඳුනගත්තා. අපි විවාහ වුණා. අද අපි දරුවන් දෙන්නෙක්ගෙ මව්පියෝ. පුතාලා දෙන්නම හොඳට ඉගෙන ගත්තා වගේම කලාවට ආදරේ කරන දෙන්නෙක්.

මේ කලා පවුලේ සාමාජිකයෝ හතරදෙනා ගෙදර එකතුවෙන වෙලාවට මොකද කරන්නෙ...?
හතරදෙනා එකතුවෙන වෙලාව තමයි හරි අඩු. හැබැයි එහෙම එකතුවෙන වෙලාවල් තියෙනවා. දැන් ළමයි ලොකුයිනෙ. අපි දැන් හරිම කාර්යබහුල ජීවිතනෙ ගෙවන්නෙ. මම ගෙදර ගියත් කැම්පස් එකේ වැඩම තමයි කරන්නෙ. මේ දරුවන්ගේ විභාගයක උත්තර පත්‍ර ගෙදර අරගෙන ගිහින් බලනවා. ඒ වැඩත් එක්ක විවේකය හරිම අඩුයි. හැබැයි අපි නාට්‍ය බලන්න යනවා. නයනායි මායි වුණත් හිටපු ගමන් හොඳ නාට්‍යයක් බලන්න යනවා. නයනාගේ ගම බණ්ඩාරගම. ඉතින්.. අපි නයනාගේ ගෙදරත් යනවා.

දොරදණ්ඩා වේදිකා නාට්‍යයෙන් පසුව ඔබ වේදිකා නාට්‍යයක් කරන්න කල් ගත්තා නේද..?
ඔව්... මම මුලින්ම කළේ දුග්ගන්නාරාළ වේදිකා නාට්‍යයයි. ඊටපස්සෙ 1995 (දොරදණ්ඩා) නාට්‍ය කළා. ඒ දෙකටම රාජ්‍ය සම්මාන ලැබුණා. වසරේ හොඳම නාට්‍ය දොරදණ්ඩා නාට්‍යයට හිමිවුණා. මෙහෙම නාට්‍ය කරන එක අමාරු නෑ. හැබැයි විශාල කලකිරීමක් එපාවීමක් මට ඇතිවුණා. නාට්‍යයක් අවුරුද්දක් තිස්සෙ මහන්සිවෙලා කරලා ලොකු මුදලක් යටකරලා අපි කාටද පෙන්වන්නෙ කියන ප්‍රශ්නය මගේ හිතේ හැමවෙලේම තිබුණා. ඉස්සර වගේ අද මිනිස්සු නාට්‍යකට කාලය කැප කරන්න කැමති නෑ. අද මිනිස්සු වේදිකා නාට්‍යකට මුදල් යටකරනවට වඩා බාල ටෙලිනාට්‍යයකට, අඩු මුදලකට ලැබෙන ඉන්දියානු ටෙලිනාට්‍යයකට යටකරන්න කැමතියි. අද මිනිස්සුන්ගේ වටිනාකම වෙනස් වෙලා. ඒ නිසා නාට්‍ය කරලා පෙන්වන්නෙ කාටද කියන ප්‍රශ්නයක් තියෙනවා. බැලුවොත්නම් හැම පැත්තෙම නාට්‍ය පෝස්ටර් ගහලා තියෙනවා. ඒත් ඒ බොහෝ නාට්‍යවල ගුණාත්මකභාවයක් ඇත්තෙම නෑ. මේ නිසා නාට්‍යයක් කරනවාට වඩා නාට්‍යයක් පවත්වාගෙන යාම හරි අමාරුයි. මේ නිසා කුවේණි නාට්‍ය අලුතින් නිෂ්පාදනය කළා. මේ නාට්‍යයේ මමත් ආචාර්ය මණ්ඩලයට සම්බන්ධ කිහිපදෙනෙක් සහ විශ්වවිද්‍යාල ශිෂ්‍ය ශිෂ්‍යාවන් රඟපානවා. එවැනි හොඳ නාට්‍යයක් හැම මිනිසෙකුම දැකිය යුතුයි. අපිව අද මේ දක්වා අරගෙන එන්නට තරම් ප්‍රබල රසිකත්වයක් අපිට දුන්නෙ කුවේණි, හුණුවටේ කතාව, රතු හැට්ටකාරි, මනමේ වගේ නාට්‍ය නිසයි. අපිට ලැබුණු ඒ රසය සහ දැනුම අද බිහිවෙන වේදිකා නාට්‍යවලින් ලැබෙනවද කියන එක ඇත්තටම ප්‍රශ්නයක්.


gossip lanka